මව් තාරකාවක් නොමැති ව ඉබාගාතේ ගමන් කරන ග්‍රහලෝක

විශ්වය තුළ අප ගේ සංකල්පවලට අභියෝග කරන වස්තූන් සහ සංසිද්ධි ඕනෑ තරම් තිබෙනවා. එවැනි දෙයක් හමු වූ විට අපට අලුත් දැනුමක් නිර්මාණය කර ගැනීමටත් සිදු වෙනවා.  ‘Rogue planets’ ලෙස හඳුන්වන ආකාශ වස්තු ද මිනිසා ගේ දැනුම සෙවිමේ නොසන්සිඳෙන ආශාව උත්ප්‍රේරණය කළ එක් අවස්ථාවක්.

තාරකා විද්‍යාවේ නවමු මාන විවෘත කර දීමට තරම් අතිශය ආගන්තුක අන්දමින් හැසිරෙන ආකාශ වස්තූන් ලෙස ‘Rogue planets’ හැඳින්විය හැකි යි.

අඳුරේ ම විශ්වය හරහා ගමන් කරන මේ අබිරහස් ආකාශ වස්තු දැනටමත් විද්‍යාඥයන්ට ගැටලු රැසක් මතු තර අවසන් – www.discovermagazine.com

මේ අමුතු ග්‍රහලෝක විශේෂය නිදහසේ පාවෙන, සංචාරක, අනාථභාවයට පත් වූ හෝ ඉබාගාතේ ගමන් කරන ග්‍රහලෝක ලෙසත් නම් කරන්න පුළුවන්. එහෙත්, විස්තර කිරීමේ පහසුව තකා සාමාන්‍ය භාවිතයේ තිබෙන “Rogue planets” යන නාමය ම ලිපිය උදෙසා භාවිත කිරීමට අප තීරණය කළා.

මොනවද මේ Rogue planets?

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තු සූර්යයා වටා පරිභ්‍රමණය වෙමින් කක්ෂීය චලිතයක යෙදෙන බව අප සාමාන්‍යයෙන් දන්නා කාරණයක්. මොහොතකට මේ සූර්යයා අපේ ග්‍රහ පද්ධතියෙන් ඉවත් කළොත් කුමක් සිදු වේවි ද?

සූර්යයා නොමැති වූ විට කක්ෂවල රැඳීමට තරම් ගුරුත්වාකර්ෂණයක් නොලැබෙන බැවින් ග්‍රහලෝක සිය කක්ෂීය චලිතයෙන් අපගමනය වීම ඇරඹෙනවා. අවසානයේ දී අභ්‍යවකාශය හරහා නිදැල්ලේ ගමන් කරන ආකාශ වස්තු බවට ඒවා පත්වනු ඇති. සරලව ම මෙවැනි තත්ත්වයක් යටතේ අපේ පෘථිවිය පවා ‘Rogue planet’ එකක් ලෙස හැඳින්විය හැකි යි!

විශ්වයේ කිසිදු තාරකාවකට ග්‍රහණය නොවූ, නිදහසේ ගමන් කරන ග්‍රහලෝක ‘Rogue planets’ යනුවෙන් හඳුන්වන බව ඔබට දැන් වැටහෙනවා ඇති.

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් කක්ෂීය චලිතයක යෙදෙන්නන් ලෙස විස්තර කළ හැකි යි. (සරල නිරූපණයක් පමණි. සැබෑ චලිත පථවලින් යුත් සෞරග්‍රහ මණ්ඩලයක් යනු මීට වඩා සංකීර්ණ චිත්‍රයක්!) – www.funkidslive.com

සෞරග්‍රහ මණ්ඩලය හැරුණු විට අප අයත් වන මන්දාකිණිය වන ක්ෂීරපථයේ තාරකා හා බැඳුණු ග්‍රහලෝක රාශියක් හඳුනා ගෙන තිබෙනවා. පොදුවේ මේවා ‘බහිර් ග්‍රහලෝක’ යනුවෙන් හැඳින්වෙන අතර, ක්ෂීරපථයේ පමණක් තාරකා බිලියන සියයක් පමණ ඇති බව යි පැවසෙන්නේ. ඒ අනුව තරුවක් වටා අව ම වශයෙන් එක් ග්‍රහලෝකයක්වත් ගමන් කරන්නේ නම් අප ගේ සෞරග්‍රහ මණ්ඩලය වැනි ග්‍රහ පද්ධති මිලියන ගණනක් ක්ෂීරපථය තුළින් අපේක්ෂා කළ හැකි යි. තාරකාවක් වෙත ආකර්ෂණය වූ ග්‍රහලෝක ක්ෂීරපථයේ ඉතා සුලබ බවත් මින් අදහස් වෙනවා.

එසේ නම්, Rogue planets’ යනු දුර්ලභ ග්‍රහලෝක වර්ගයක් ද?   

හඳුනා ගැනීම අභියෝගයක්

ප්‍රථමයෙන් “Rogue planets” හඳුනා ගැනීම ඉතා දුෂ්කර බව සඳහන් කළ යුතු යි. ඒවා නිශ්චිත පථයක ගමන් නොකරන ග්‍රහ වස්තු වන බැවින්, නිරීක්ෂණය කිරීමත් පහසු වන්නේ නැහැ. මව් තාරකාවක ආලෝකය නොලැබෙන ග්‍රහලෝක ලෙස ඒවායින් දීප්තියක් ද බලාපොරොත්තු විය නොහැකි යි. එහෙත්, ‘Rogue planets’වල අභ්‍යන්තර තාපයක් තිබිය හැකි අතර, ඒවා අධෝරක්ත කිරණ ආකාරයෙන් අනාවරණය කර ගැනීමේ හැකියාව පවතිනවා.

“Gravitational Microlensing” සංසිද්ධිය සිදුවන අයුරු. තවත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් වැඩිදුර කියවීමට පිවිසෙන්න – https://www.eurekalert.org/news-releases/920957

 බහිර් ග්‍රහලෝක හඳුනා ගැනීමේ වක්‍රාකාර ක්‍රම බොහෝමයක් “Rogue planets” හමුවේ අසාර්ථක වන්නේ එම ක්‍රමවේද මූලිකව ම අදාළ ග්‍රහලෝකයේ මව් තාරකාව මත පදනම් වන නිසා යි. මේ හේතුව නිසා තාරකා විද්‍යාඥයින් “Gravitational Microlensing” ක්‍රමවේදය “Rogue planet” එකක් හඳුනාගැනීමේ විශ්වාසනීය මාර්ගය ලෙස පිළිගැනීමට පෙළඹෙනවා. 

(“Gravitational microlensing” පිළිබඳ වැඩිදුර විස්තරයක් ඔබට මෙතැනින් කියවිය හැකි යි.)

දැනට සොයා ගෙන ඇති ‘Rogue planets’ ගණන සීමිත වුවත්, ක්ෂීරපථයේ පමණක් මෙවැනි ග්‍රහලෝක බිලියන ගණනක් ඇති බව විද්‍යාඥයන් අනුමාන කරනවා. ඒ අනුව මව් තාරකාවක් වටා කක්ෂගත ව පවතින ග්‍රහලෝකවල සුලබත්වය තරමට ම අනාථභාවයට පත් වූ ග්‍රහලෝකත් සුලබ බව සිතිය හැකි යි.

ප්‍රමාණය විවිධ යි

‘Rogue planets’වල පැවැත්ම සම්බන්ධයෙන් වූ විශ්වාසය 1990 දක්වා ඈතට විහිදෙනවා. 1990 ගණන්වල අගභාගයේ දී ජපන් තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් ආලෝක වර්ෂ පන්සියයක් ඈතින් පිහිටි Chamaeleon පොකුරේ උණුසුම්, ග්‍රහලෝක අන්දමේ ස්කන්ධ සොයා ගත් විට නිදහසේ සැරිසරන ග්‍රහලෝක පිළිබඳ පූර්ව නිරීක්ෂණ ඉස්මතු වුණා. ඉන්පසු වෙනත් පර්යේෂණ කණ්ඩායම් ද ‘Rogue planets’ ලෙස සැක කළ හැකි ස්කන්ධ අනාවරණය කිරීමට සමත් වුණා.

එතැන් පටන් අද දක්වා ‘Rogue planets’ ලක්ෂණ පෙන්වන ආකාශ වස්තු බොහෝමයක් නිරීක්ෂණය කර ඇති අතර, ඒවායේ විශාලත්වයේ විවිධත්වයත් ඉහළ යි. එනම්, ‘Rogue planets’වල ප්‍රමාණය කුඩා ග්‍රහලෝකවල සිට සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බ්‍රහස්පතිටත් වඩා විශාල වස්තු දක්වා වෙනස් වන්නට පුළුවන්.

රතු පැහැ කුඩා වෘත්තවලින් පෙන්නුම් කරන්නේ “Rogue planet යැයි සැක කරන ආකාශ වස්තූන් ය – www.space.com

උදාහරණයක් ලෙස නිදහසේ සැරිසරන ග්‍රහයෙක්යැ යි සැක කරන “OTS 44”, බ්‍රහස්පති ගේ ස්කන්ධය මෙන් 11 ගුණයක් පමණ වන අතර, එය ග්‍රහලෝකයක් ලෙස සැලකිය නොහැකි තරම් විශාල බවත් ඇතැමුන් සැක පහළ කරනවා. එබැවින්, ග්‍රහලෝකයකටත් වඩා දුඹුරු වාමනයකුට “OTS 44” සමාන වීමේ ඉඩකඩක් පවතිනවා.

දුඹුරු වාමනයෙක් යනු බ්‍රහස්පති වැනි වායු යෝධයන්ටත් වඩා විශාල එහෙත්, කුඩා තාරකාවකටත් වඩා ප්‍රමාණයෙන් අඩු ආකාශ වස්තුවක්. මේවාට සාමාන්‍ය තාරකාවක් මෙන් හයිඩ්‍රජන් විලයනය පවත්වා ගෙන යා නොහැකි බැවින්, අසමත් වූ තාරකා ලෙසත් හැඳින්වෙනවා.

“OGLE-2019-BLG-0551” යනු තවත් නිදහසේ සැරිසරනවායැ යි සැක කෙරෙන ග්‍රහලෝකයක්. එහි ප්‍රමාණය අපේ පෘථිවියට සමාන විය හැකි බව සඳහන් වෙනවා.

Rogue planets බිහි වන්නේ කෙසේ ද?

ඉහත ගැටලුව සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට තවමත් ඇත්තේ අනුමානිත පිළිතුරු පමණ යි. තාරකාවකට ආකර්ෂණය නොවූ ග්‍රහලෝක බිහිවීමේ ක්‍රියාවලිය කිසියම් ග්‍රහ පද්ධතියක් නිර්මාණය වූ අලුත ම සිදුවන බව ඔවුන් වඩාත් විශ්වාස කරනවා. නව ග්‍රහ මණ්ඩලයක් බිහි වීමේ දී ඇතැම් ග්‍රහලෝක සිය කක්ෂ ඔස්සේ මව් තාරකාව වටා පරිභ්‍රමණය වන ස්ථිර පදිංචිකරුවන් බවට පත්වන අතර, එම ග්‍රහයන් ගේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් ඔවුන් සමඟ සිටින සහෝදර ග්‍රහලෝක එකක් හෝ කිහිපයක් නිදහස් අභ්‍යවකාශය වෙත තල්ලු විය හැකි යි.  

මෙවැනි ග්‍රහලෝක උපදින ආකාරය සම්බන්ධයෙන් ඇත්තේ අනුමානිත පිළිතුරු පමණ යි – edition.cnn.com

තාරකා මෙන් ම ග්‍රහලෝක ද විශ්වයේ පවතින වායු සහ දූවිලි වලාකුළුවලින් නිර්මාණය විය හැකි යි. වලාකුළට තාරකාවක් සෑදීමට තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් නොමැති නමුත්, ග්‍රහලෝකයක් නිර්මාණය කිරීමට එම ස්කන්ධය ප්‍රමාණවත් වේ නම්, මෙම ක්‍රියාවලිය හරහාත් “Rogue planets” බිහි වීම සිදු වෙනවා. ඒ සඳහා ග්‍රහලෝකයට සිය මව් තාරකාව සමඟ ස්ථාවර වීමට තරම් ප්‍රමාණවත් ගුරුත්ව බලයක් නොතිබිය යුතු යි.

ජීවය පැවතිය හැකි ද?

පෘථිවියේ ප්‍රධාන ශක්ති ප්‍රභවය සූර්යයා බව අප දන්නා කාරණයක්. සූර්ය ශක්තිය නොමැතිව පෘථිවියේ ජීවය පවත්වා ගෙන යා නොහැකි යි. එසේ නම්, Rogue planets යනු ජීවයට කිසිසේත් සුදුසු නැති ග්‍රහලෝක බව අපට සිතෙන්නට පුළුවන්. විශ්වය හරහා නිදහසේ ගමන් කරන ග්‍රහ වස්තුවක් මුහුණ දෙන සාධක ගැන සිතන විට එය සාධාරණ සිතිවිල්ලක් වන්නේ නිරායාසයෙන්.

එහෙත්, විද්‍යාඥයන් එවැනි ග්‍රහලෝක සතු ව තිබෙන අභ්‍යන්තර තාපය කෙරෙහි යම් විශ්වාසයක් තබනවා.  Rogue planets, ජීවයෙන් තොර ග්‍රහලෝකයැ යි ඔවුන් එකහෙළා පවසන්නේ නැහැ. නමුත්, මෙවැනි ග්‍රහලෝකයක ජීවය තිබීමේ හැකියාව ඉතා අවම විය හැකි යි. ඔවුන් මෙය පැහැදිලි කරන ආකාරය අප දැන් සලකා බලමු.

යුරෝපා උපග්‍රහයා – www.esa.int

සෞරග්‍රහ මණ්ඩලයේ ඇතැම් උප ග්‍රහයන් සතුව අභ්‍යන්තර සාගර පවතින බව අනාවරණය වෙමින් තිබෙනවා. ඒවා සූර්යයා ගේ සිට ඉතා ඈතින් පිහිටන අතර, ඉතා ශීතල මතුපිටක් තමයි පවතින්නේ. මතුපිට ඝනකම් අයිස් ස්ථරයට යටින් ද්‍රව ජලය තිබීමේ ලක්ෂණ වඩාත් පෙන්නුම් කරන ප්‍රසිද්ධ උදාහරණය වන්නේ යුරෝපා චන්ද්‍රයා යි. එය බ්‍රහස්පතිට අයත් උප ග්‍රහයෙක්. එවැනි ග්‍රහ ස්කන්ධ සතු අභ්‍යන්තර තාපය, සාගරවලට ශක්ති ප්‍රභවයක් විය හැකි අතර, මතුපිටින් ඇති අයිස් ආවරණය බාහිර අහිතකර සාධකවලට එදිරි ව ක්‍රියා කරන පළිහක් විය හැකි යි. මතුපිට ජීවය නොමැති වුව ද මෙවැනි අභ්‍යන්තර සාගරික පරිසරවල ජීවය පැවතිය හැකි බව මින් අදහස් වෙනවා.

ශක්තිමත් සාධක ඉතා අවම යි

මෙම තත්ත්වය ‘Rogue planets’ සඳහාත් ආදේශ කළ හැකි බව යි විද්‍යාඥයන් ප්‍රකාශ කරනනේ. නමුත්, අභ්‍යන්තර ශක්තිය පමණක් ප්‍රමාණවත් ද යන ගැටලුව මෙහි දී ඉස්මතු වෙනවා. යුරෝපා වැනි ග්‍රහ වස්තු සූර්යයා ගෙන් ඉතා ඈත් ව පිහිටා තිබුණ ද ඒවා තවමත් සූර්යයා ගේ ග්‍රහණයට නතු වූ සහ යම් තරමකින් සූර්ය ශක්තිය ලැබෙන ස්ථාන යි. බ්‍රහස්පති නමැති වායු යෝධයා ගෙන් ද යුරෝපා වෙත යම් බලපෑමක් එල්ල වෙනවා. යුරෝපා චන්ද්‍රයාට සමාන පරිසරයක් තිබෙන අනෙකුත් උප ග්‍රහයන් සතු ව පවතින්නේත් මෙවැනි තත්ත්වයක්.

නිදහසේ සැරිසරන ග්‍රහ වස්තුවකට මෙම වාසිය පිහිටන්නේ නැහැ. ඔවුන් සම්පූර්ණයෙන් ම ශීතල ස්කන්ධ බවට පත් නොවී යම් දුරකට අභ්‍යන්තර තාපය හෝ ශක්තිය රඳවා ගැනීමට සමත් වුවත්, ජීවයට සහායක් වීම සඳහා එය ප්‍රමාණවත් නොවීමේ ඉඩකඩ ඉතා වැඩි යි.

ඉබාගාතේ යන ගැටලු ස්කන්ධයක්!

අනෙක් ප්‍රධාන ගැටලුව වන්නේ නිදහසේ සැරි සරන ග්‍රහලෝකයකට වායුගෝලයක් රඳවා ගැනීමට ඇති හැකියාව යි. එවැනි ග්‍රහලෝකයක් වායුගෝලයක් සහිත ව මව් ග්‍රහ පද්ධතියෙන් ඉවත් වූයේ නම්, අන්තර් තාරකා අවකාශයේ දී වායුගෝලය කැටි වී බිඳ වැටෙනු ඇති. නමුත්, එයටත් තර්කයක් ඉදිරිපත් කරන තාරකා විද්‍යාඥයන් සිටිනවා. ඔවුන් එම තර්කය ගෙන එන්නේ නැවතත් යුරෝපා වැනි ශීතල, එහෙත්, අභ්‍යන්තර සාගරික ලක්ෂණ පවතින ග්‍රහ වස්තු මූලික කර ගනිමින්.

යුරෝපාවල තත්ත්වය “Rogue planet” එකක් සඳහා ආදේශ කළ ද එය පූර්ණ සත්‍යයක් ලෙස ප්‍රකාශ කළ නොහැකි යි – www.thesun.co.uk

එවැනි උප ග්‍රහයන්ටත් පවතින්නේ සාපේක්ෂ ව තුනී වායුගෝලයක්. අනෙක් අතට, මව් ග්‍රහ පද්ධතියෙන් ඉවතට විසි වීමේ දී ‘Rogue planet’ එකක් සතුව අතිශය ඝන හයිඩ්‍රජන් වායුගෝලයක් තිබුණේ නම්, අන්තර් තාරකා අවකාශයේ දී එම හයිඩ්‍රජන් කැටි වීමට ලක් නොවී තාපය රඳවා ගත් ප්‍රතිරෝධි ආවරණයක් විය හැකි බව ඔවුන් පවසනවා. මේ සියල්ල යථාර්ථයක් වීමේ ඉතා අවම හැකියාවක් සහිත සංසිද්ධීන් බවත් අප තේරුම් ගත යුතු යි.

තාරකා විද්‍යාවට නව ගැටලු සහ අභියෝග රැසක් ඉතිරි කරමින් මේ අබිරහස් ග්‍රහලෝක තවදුරටත් නිදහස් ක්ෂීරපථයේ සහ ඉන් එපිටට ගමන් කරමින් සිටීවි.

කවරයේ ඡායාරූපය: "Rogue palnet" ලෙස හඳුන්වන ආකාශ වස්තුවක් නිර්මාණකරුවෙකු ගේ ඇසින්.
https://www.space.com/rogue-exoplanets-record-breaking-haul

මූලාශ්‍ර:
https://www.sciencefocus.com/space/what-would-happen-to-earths-orbit-if-the-sun-vanished/
https://solarsystem.nasa.gov/solar-system/beyond/overview/#:~:text=Our%20Milky%20Way%20galaxy%20is,least%20one%20planet%20orbiting%20it.
https://starchild.gsfc.nasa.gov/docs/StarChild/questions/question62.html
https://www.universetoday.com/152785/rogue-planets-could-be-habitable/
https://www.nationalgeographic.com/science/article/a-guide-to-lonely-planets-in-the-galaxy
https://www.discovery.com/space/the-best-planets-are-rogue-planets
https://www.space.com/rogue-exoplanets-record-breaking-haul

Related Articles