Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හවායි දූපත් හි පර්ල් වරාය

හවායි යනුවෙන් හඳුන්වනු ලබන්නේ ශාන්තිකර සාගරයේ පිහිටි දූපත් සමූහයක් මෙන් ම ඇමරිකා එක්සත් ජනපදයේ එක් ජනපදයක්. සත්‍ය වශයෙන් ම එම දූපත් සෑදී ඇත්තේ පාදමේ සිට සළකන කල ලොව උසම කඳු පන්තිය ලෙස ගැනෙන කඳු පන්තියෙන්. මෙම දූපත් සමූහය සැතපුම් 1,523 ක් පමණ දුරකට විහිදෙන අතරම මේ මඟින් ලෝකයේ පිහිටි දිගම දූපත් දම්වැල නිර්මාණය කිරීම සිදු කරනු ලබනවා. වර්ෂ 1959 අගෝස්තු මස 21 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ 50 වන ජනපදය බවට පත් වූ හවායි මෙතරම් ලොව ප්‍රසිද්ධ වීම සඳහා එහි සුන්දරත්වය මෙන්ම දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රහාර වලට ලක් වූ පර්ල් වරාය සිදුවීම ද හේතු වනවා. හවායි හි පිහිටි පර්ල් වරාය සම්බන්ධයෙන් මෙන්ම එයට සිදු වූ යුධමය වාතාවරණය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට අප අදහස් කළා.

පිහිටීම  

simplyknowledge.com

පැසිෆික් සාගරයේ මධ්‍යයේ හවායි ජනපදයේ ඔආහු (Oahu)  නමැති දූපතේ පිහිටි පර්ල් හාබර්, හොනලුලු ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයට වන්නට පිහිටා තිබෙනවා.

පර්ල් වරාය පිහිටි ප්‍රදේශය හවායි ස්වදේශීය ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ Wai Momi යනුවෙනි. එහි අරුත වන්නේ Water of Pearl යන්නයි. මීට අමතරව Puʻuloa යනුවෙන්ද මෙය හඳුන්වනු ලැබුවා. මෙම පර්ල් වරාය ශාර්ක් නමැති දෙව්දුවට මෙන්ම ඔහුගේ සහෝදරයා වන Kahiʻuka ට වාසස්ථාන ලෙස හැඳින්වෙනවා. කපිතාන් ජේමිස් කුක් මෙම ප්‍රදේශයට පැමිණිය ද වරායක් ලෙස එය සුදුසු යයි සැලකුවේ නැහැ. මෙයට හේතුවන්නේ වරායට ඇතුළු වන ස්ථානයේ කොරල් පර අවහිර කිරීම හේතුවෙනි.

ජේම්ස් කුක් (pocketmags.com)

19 වන සියවසයේ මුල් භාගය ආරම්භයේ දී පමණ එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය විසින් නාවික කටයුතු සඳහා පහසු ස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය හඳුනාගනු ලැබුවා. කෙසේ නමුත් නොගැඹුරු ජලය සහ ගල්පරය මඟින් එහි පටු ඇතුල්වීම අවහිර කරනු ලැබූ හෙයින් දූපතේ අනිකුත් ස්ථාන පරික්ෂා කිරීමට එය හේතු පාදක වුණා.

වරායක් ලෙස ස්ථාපිත වීම

ප්‍රහාරයට පෙර (visitpearlharbor.org)

වර්ෂ 1873 දී හොනලුලු හි වාණිජ මණ්ඩලය විසින් ලුනාලිලෝ රජතුමා වෙත පෙත්සම් කරනු ලැබුවා. එනම් එක්සත් ජනපදය හා සමඟ අන්‍යෝන්‍ය ගිවිසුමක් සම්බන්ධයෙන් කතිකා කර ගැනීමටයි. මෙම පෙළඹවීමත් සමඟ රජතුමා පර්ල් වරායට ඇමරිකානුවන්ට ඇතුළු වීමට අවසර දීමට කටයුතු කළා. කෙසේ නමුත් ලුනාලිලෝගේ ව්‍යවස්ථාදායකය විසින් මෙම ගිවිසුම අනුමත නොකළ අතර, මේ හේතුවෙන් මෙම ගිවිසුම වර්ෂ 1875 දී ලුනාලිලෝගේ අනුප්‍රාප්තිකයා වන කලකුවා රජතුමා විසින් අවසන් කරනු ලැබුවා. ඒ අනුව​ ගල් අඟුරු ගබඩාවක් සහ නැව් අලුත් වැඩියා කරන ස්ථානයක් ලෙස පර්ල් වරාය යොදා ගැනීමට එක්සත් ජනපද​ය​ට අවසර ලබා දෙනු ලැබුණා.

වර්ෂ 1887 මෙම ජාතීන් දෙකේම සනාථ කිරීම මඟින් සම්මුතිය එක්සත් ජනපද​ය​ට පර්ල් වරායට ඇතුලත් වීමට ආදී අයිතිවාසිකම් බොහෝමයක් හිමි කර දීම ස්ථිර වුණා.

කෙසේ නමුත් පර්ල් වරාය අත්පත් කර ගැනීම බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ විවේචන වලට ලක් වුණා. වර්ෂ 1843 දී දූපතට තරඟ නොකරන බවට එකඟ වෙමින් ගිවිසුමක් අත්සන් කර තිබීම මෙයට හේතු වුණා. කෙසේ නමුත් විරෝධයන් නොසලකා හැරි එක්සත් ජනපදය 1887 නොවැම්බර් මස 9 වන දින වරාය තම අයිතියට ගත්තා.

ස්පාඤ්ඤ​-ඇමරිකානු යුද්ධයෙන් පසුව හවායි හි නාවික කඳවුරක් ඉදි කිරීමේ කටයුතු ඇරඹුණා. මේ අනුව 1899 දී නාවික හමුදා කඳවුර පිහිටුවනු ලැබුණා

වර්ෂ 1908 දී කොංග්‍රසය පර්ල් වරායේ නව නාවික පර්යන්තයක් සෑදීම බලය ලබා දුන්නා. ඒ අනුව කාලතුවක්කු නිවාස සඳහා ස්කෝෆීල්ඩ් බැරැක්ක ඉදිකළ අතර අශ්වාරෝහක සහ පාබල හමුදා මඟින් එවකට විශාලතම හමුදා මුරපල බවට පත් වුණා.

පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරය හා එහි බලපෑම

japantimes.co.jp

ජපානය විසින් පර්ල් වරායට එල්ල කරන ලද ප්‍රහාරය ඇමරිකානුවන් පුදුමයට පත් කළා. වර්ෂ 1941 දෙසැම්බර් මස 07 වන දින එනම් ඉරිදා දිනයක, උදෑසන 8 උදා වීමට මොහොතකට පමණ පෙරාතුව ප්‍රහාරය එල්ල වුණා. මීට ඉහතදී සඳහන් කලාක් මෙන් හවායි හි පර්ල් වරාය පැසිෆිස් සාගරය මධ්‍ය වන්නට ආසන්නයේ පිහිටා තිබෙනවා. දළ වශයෙන් දක්වන්නේ නම් එක්සත් ජනපද ප්‍රධාන භූමි ප්‍රදේශයේ සිට සැතපුම් 2,000 ක් දුරින්ද, ජපානයේ සිට සැතපුම් 4,000 පමණ දුරින්ද පිහිටා තිබෙනවා. මේ හේතුවෙන් ජපානය මෙතරම් දුරස්ථව පිහිටි හවායි දූපතට ප්‍රහාරයක් එල්ල කොට යුද්ධයක් ආරම්භ කරන බවට විශ්වාස කිරීම පහසු වූයේ නැහැ. එමෙන්ම ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් සතු වූ විශ්වාසයක් වූයේ ජපාන ප්‍රහාර දකුණු පැසිෆික් හි අවට යුරෝපීය යටත් විජිත වලට එල්ල වනු ඇතැයි කියායි. මේ ආකාරයේ හේතූන් මත ඇමරිකානු හමුදා නායකයින් මෙවැනි ප්‍රහාරයක් බලාපොරොත්තු වුණේ නැහැ. කෙසේ නමුත් මෙවැනි කාරණා මත පර්ල් වරායට ප්‍රහාර එල්ල කිරීම ජපානයට සාපේක්ෂව පහසු වුණා.

ජපානයේ සැලැස්ම වූයේ පැසිෆික් නාවික බලඇණිය විනාශ කිරීමයි. මසක පමණ සැලැස්මෙන් හා පුහුණුවෙන් අනතුරුව දෙසැම්බර් මස 7 වන දින මොවුන් සැලැස්ම දියත් කරමින් ප්‍රහාරය එල්ල කරනු ලැබුවා. උදෑසන 8.10 ට පමණ ඇරිසෝනා නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් නැව පිපිරීමට ලක් වූ අතර නැව ගිලී ගොස් නාවිකයන් 1,177 ක් මරණයට පත් වුණා.

මෙම පර්ල් වරාය ප්‍රහාරය මඟින් ඇමරිකානු නැව් 20 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ අතර, ගුවන් යානා 300 කට වඩා විනාශ වුණා. සමුද්‍ර යාත්‍රිකයන්, සොල්දාදුවන් හා සිවිල් වැසියන් 2400 කට වඩා මිය ගිය අතර 1,000 පමණ තුවාල ලැබුවා.

කෙසේ නමුත් පැසිෆික් නාවික සේනාංකයේ ප්‍රධාන නෞකා කිහිපයක් ම මෙම ප්‍රහාරය වෙද්දී හවායිවලින් ඉවත රැඳී සිටි හෙයින්, ජපනුන් බලාපොරොත්තු වූ තරම් එම ප්‍රහාරය සාර්ථක වූයේ නැහැ. මින් පසු කාලීනව ජපානයට එරෙහිව ඇමරිකානුවන් විසින් සිදු කරන ලද යුධ ව්‍යාපාරයේදී හවායි හි පර්ල් හාබර් ප්‍රධාන වශයෙන් වැදගත් නාවික කඳවුරක් බවට පත් වුණා.

Cover Image: allisonhawryliw.com

Related Articles