Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියානු අහසේ දැවැන්තයා – Mil Mi-26

වරක්, හමුදා හා සිවිල් යන අංශයන් දෙකේම මෙහෙයුම් සඳහා ලෝකයේ විශාලම හෙලිකොප්ටරය නිෂ්පාදනය කිරීමට සෝවියට් දේශයට අවශ්‍ය වුණා. ඒ අනුව යි මේ ලිපියෙන් විස්තර කෙරෙන Mil Mi-26 හෙලිකොප්ටරය කරළියට පැමිණෙන්නේ.

සෝවියට් පාලන සමයේ, 1983 වසරේ දී Mil Moscow ගුවන් යානා සැලසුම් සමාගමෙන් සැලසුම් කරන ලද මෙම හෙලිකොප්ටරය සෝවියට් සංගමය වෙත හඳුන්වා දෙනවා. භට පිරිස් ප්‍රවාහනය, යුධ බිමේ දී අනතුරට පත් තුවාලකරුවන්, යුධ ටැංකි හා ට්‍රක් රථ ප්‍රවාහනය, අනතුරට පත් වෙනත් ගුවන් යානා ප්‍රවාහනය සඳහා ද මෙම හෙලිකොප්ටරය යොදා ගන්නවා. ඊට අමතරව ඉදිකිරීම් සහ කර්මාන්ත අංශයේ අමුද්‍රව්‍ය ප්‍රවාහනයටත්, ගිනි නිවීම් සඳහාත් මෙම යානා භාවිතා කෙරෙනවා.

Mil Mi-26 නිර්මාණය කිරීම

Mil Mi-26 (Military Factory)

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී කඳවුරත්, සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරත් අතර සීතල යුද්ධය හෙවත් නිරවි යුද්ධය ආරම්භ වෙනවා. මෙම කාල සමයේ දී දෙපාර්ශවය යුධ, අභ්‍යවකාශ, න්‍යෂ්ටික, හා වෛද්‍ය තාක්ෂණය අතින් එකිනෙකා පරයා යාමට උත්සාහ කරනවා.

මෙහිදී සෝවියට් සංගමය යුධ හා සිවිල් කටයුතු දෙකම සඳහා භාවිතා කිරීමේ අරමුණෙන් ලෝකයේ විශාලතම හෙලිකොප්ටරය නිර්මාණය කිරීමට තීරණය කරනවා. ඒ ඔස්සේ හමුදා භට හා උපකරණ ප්‍රවාහනය, හදීසි අවස්ථාවන්වල දී සිවිල් වැසියන් ප්‍රවාහනය කිරීම ද මේ මඟින් බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව මිල් මොස්කව් සමාගම Lotarev D-136 එන්ජින් දෙකක් සහිත මෙම නව හෙලිකොප්ටරය සෑදීම තවත් සමාගමක් හා එකතුව 1977 වසරේ දී ආරම්භ කරන අතර, 1985 වසරේ දී සෝවියට් දේශයේ ගුවන් හමුදාවට යානය හඳුන්වා දෙනවා. එසේ හඳුන්වා දුන් හෙලිකොප්ටරය වර්තමානය වන විටත් සේවයේ යොදවා ඇති අතර, රටවල් විශාල ගණනාවක් පුරා මේ හෙලිකොප්ටර් 276ක් අද වන විට මෙහෙයුම්වල නිරත වෙනවා. වර්තමානය වන විට Mil Mi-26හි උප විශේෂ 12ක් නිර්මාණය කිරීමට රුසියාව සමත් වී තිබෙනවා.

ඒවා විවිධ වර්ගයේ මෙහෙයුම් සඳහා යොදා ගන්නවා. මඟී ප්‍රවාහනය, හමුදාභට හා තුවාලකරුවන් ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, ගලවා ගැනීමේ මෙහෙයුම්වලට, ස්වභාවික විපත්වලින් අවතැන් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් හා ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා ද ඔබින හෙලිකොප්ටර් යානා වර්ග ඒ අතරට ඇතුළත් වෙනවා.

Mi-26හි විශේෂතා

යානයේ ඇතුළත (Wikimedia Commons)

යානයේ කාර්යයමණ්ඩලය ලෙස පස් දෙනෙකු අවශ්‍ය කෙරෙන අතර ඒ අතරට ගුවන් නියමුවන් දෙදෙනෙක් අයත් වෙනවා. ගුවන් යානයේ ධාරිතාව පිළිබඳව සළකා බැලීමේ දී එහි භටයන් 90ක් හෝ තුවාලකරුවන් 60ක් ඉතා පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි යි. භාණ්ඩ ප්‍රවාහනයේ දී කි.ග්‍රෑ 20 000ක් ගෙන යාමේ හැකියාව පවතිනවා.

යානයේ දිග මීටර් 40.025 වන අතර උස ලෙස සටහන් වන්නේ මීටර් 8.145ක්. හිස් හෙලිකොප්ටර් යානයේ බර කි.ග්‍රෑ 28 200ක් පමණ වෙනවා. යානයේ උපරිම වේගය පැයට කි.මී 295ක්. එහි සාමාන්‍ය වේගය පැයට කි.මී 255ක් ලෙස සටහන් වෙනවා. නැවත ඉන්ධන පිරවිමකින් තොරව මෙම යානයට කි.මී 1920ක දුරක් ගමන් කළ හැකි යි. ගුවන්ගත වූ පසු යානයට ගමන් කළ හැකි උපරිම උස මීටර් 4,600ක් පමණ වෙනවා.

විශේෂ මෙහෙයුම්

ට්‍රක් රථ ප්‍රවාහනය (www.b-domke.de)

සෝවියට් දේශය විසින් 1974 වසරේ දී ආරම්භ කළ බුරාන් අභ්‍යාවකාශ ෂටල ව්‍යාපෘතියේ දී එහි කොටස් ප්‍රවාහනය සඳහා Mi-26 යානා භාවිතා කරන්නට මුලින් යෝජනා වෙනවා. නමුත් එහි ඇති අධික අවදානම හේතුවෙන් ඒ අදහස පසුව අතහැර දැමීමට සෝවියට් අභ්‍යවකාශ ඉංජිනේරුවන් තීරණය කරනවා.

1986 වසරේ දී සෝවියට් දේශයේ සිදු වූ චර්නොබිල් න්‍යෂ්ටික අනතුරේ දී සිදුකළ ගුවන් මෙහෙයුම් සඳහා යොදා ගන්නේ ද Mi-26 හෙලිකොප්ටර් යානය යි. 1999 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී මෙම යානය අපූරු මෙහෙයුමක් සඳහා යොදා ගන්නවා. ඒ වසර 23000ක් පමණ පැරණි මැමත් සත්වයකුගේ හිමේ සැඟවී තිබූ ටොන් 25ක් බරැති මමියක් සයිබීරියාවේ විද්‍යාගාරයකට සාර්ථකව ප්‍රවාහනය කිරීම යි.

2002 වසරේ දී ඇෆ්ගනිස්ථානයේ අල්කයිඩා හා තලේබාන් සංවිධානවලට විරුද්ධව සටන් මෙහෙයවූ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් MH-47E Chinook යානා දෙකක් ඇෆ්ගනිස්ථාන් කඳුකර ප්‍රදේශයක අනතුරට ලක් වෙනවා. එම යානා දෙක එම ප්‍රදේශයෙන් ඉවත් කරන්නේ රුසියානු Mi-26 යානාවක් උපයෝගී කරගෙන යි.

මුහුණ දුන් අනතුරු

Tupolev Tu-134A-3 යානාවක් ප්‍රවාහනය (Tupolev Tu-134A-3)

2002 අගෝස්තු මාසයේ දී රුසියානු Mi-26 යානයකට චෙච්නියානු බෙදුම්වාදීන් විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යානය සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා. එය රුසියානු ගුවන් හමුදා ඉතිහාසයේ අතිශය ශෝකජනක සිදුවීමක් වූ අතර යානය විනාශ වීමෙන් එහි ගමන් කළ රුසියානු සොල්දාදුවන් 127 දෙනක් ජීවිතක්ෂයට පත්වෙනවා.

2009 වසරේ ජූලි මාසයේ දී ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සඳහා එක් වූ මෙම යානයක් කඩා වැටෙන අතර ඒ හේතුවෙන් එහි ගමන් කළ නේටෝ සාම සදහා හමුදාවේ යුක්රේන භටයන් හයදෙනෙකු මරණයට පත්වෙනවා.

2010 වසරේ දෙසැම්බර් මාසයේ දී ගුවන් නියමුවාගේ වරදින් ඉන්දියාවට අයත් Mi-26 හෙලිකොප්ටරයක් අනතුරට පත්වෙනවා. අනතුරට පත්වෙන විට එය, ජම්මු ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බව සඳහන්.

රුසියාවට අමතරව හෙලිකොප්ටරය භාවිතා කරන අනෙකුත් රටවල්

යුධ ටැංකි ප්‍රවාහනය (YouTube)

වර්තමානය වන විට ඇල්ජීරියාව, බෙලරුස්, චීනය, ඉන්දියාව, කසකස්ථානය, ජෝර්දානය, උතුරු කොරියාව, මෙක්සිකෝව, හා වෙනෙසියුලාව ඇතුළු තවත් රටවල් කිහිපයක් මෙම හෙලිකොප්ටරය හමුදා මෙහෙයුම් සඳහා යොදා ගන්නවා.

බෙල්ජියම හා චීනය වැනි තවත් රටවල් කිහිපයක් සිවිල් ගුවන් ප්‍රවාහනය සඳහා ද මෙම යානය භාවිතා කරනවා.

කවරයේ පින්තූරය - AVIONEWS

මූලාශ්‍රයයන් -

russianhelicopters.aero

milhelicopters.com

airforce-technology.com

militaryfactory.com

Related Articles