Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ආහාර සැපයුම සුරක්ෂිත කරන ‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’

නෝර්වේ රාජ්‍යයට අයත් විශාලතම දූපත ලෙස සැලකෙන ස්පිට්ස්බර්ගන් හි ලොන්ග්ඉයර්බයන් නිම්නයේ බටහිර වෙරළ තීරයට යාබද ව උත්තර ධ්‍රැවයට කිලෝමීටර් 1,300 ක් පමණ දුරින් සුදෝසුදු හිම කඳු මධ්‍යයේ රීදි පැහැයෙන් බැබළෙන පෙට්ටියක හැඩය ගත් හුදෙකලා ගොඩනැගිල්ලක් දැක ගැනීමට ලැබෙනවා. එය භාවිතා කරන්නේ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් ලෝකයේ මොන ම ආකාරයේ හෝ වගාවක් විනාශ වී ගියහොත් එය නැවත වගා කිරීමට අවශ්‍ය වන බීජ ලබා ගත හැකි රහසිගත බීජ බැංකුවක් ලෙස යි.

මේ වන විට ලොව පුරා ආහාර සුරක්ෂිත කිරීමේ අරමුණෙන් බීජ වර්ග එකතු කරන ලද ‘ජාන බැංකු’ (gene banks) 1,700 ක් පමණ පැවතුණ ද ඒවා වැඩි ප්‍රමාණයක් ස්වභාවික ව්‍යසනයන්ට, යුද සංග්‍රාමයන්ට පමණක් නොව අරමුදල් හිඟතාවය සහ දුර්වල කළමනාකරණය වැනි පහසුවෙන් මග හැරිය හැකි ආපදාවන්ට පවා නිරාවරණය වෙනවා. ඇතැම් විටෙක නිසි ලෙස ක්‍රියා නොකරන ශීතකරණ පද්ධතියක් හේතුවෙන් සමස්ත බීජ එකතුව ම විනාශ වී යා හැකි යි. මේ හේතුවෙන් නිසි ලෙස කළමනාකරණය වන ස්වභාවික සහ වෙනත් ආපදාවන්ට මුහුණ දිය හැකි බීජ බැංකුවක අවශ්‍යතාවය පැන නැගීමේ පුදුමයක් නැහැ.

© Junge, Heiko, Stringer / Getty Images

2008 පෙබරවාරි මාසයේ දී නෝර්වේ රජය විසින් ‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’ ආරම්භ කරන්නේ එයට පිළියමක් ලෙස යි. ලෝකයේ නොයෙක් දෙසින් ලබා ගන්නා බීජ වර්ග, දිගු කල් පැවැත්ම සඳහා වියළි සහ අධික ශීතලෙන් යුතු සුරක්ෂිතාගාර තුළ තැන්පත් කිරීම එහි දී සිදු වෙනවා. වර්තමානයේ දී ‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’ කළමනාකරණය කිරීම සිදු කරන්නේ නෝර්වේ රජය, ගෝලීය බෝග විවිධත්වය භාරය (Global Crop Diversity Trust) සහ NordGen හෙවත් නෝඩික ජාන සම්පත් මධ්‍යස්ථානය (Nordic Genetic Resource Center) මගින්. එය ගොඩ නැංවීම සඳහා නෝර්වේ රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.8 ක් වැය කර ඇති අතර මේ වන විට එය පවත්වාගෙන යාම සඳහා විවිධ පාර්ශවයන්, ඇමෙරිකානු ඩොලර් මිලියන 440 ක් පරිත්‍යාග කර ඇති බව යි වාර්තා වන්නේ.

නෝවාගේ නැව හා සම ආහාර නැවක්

© Global Crop Diversity Trust

වර්තමානයේ දී ‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’ සතු ව ශාක විශේෂ 5,000 ක අයත් නියැදි 930,000 ක් පමණ පවතින බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා. නමුත් සත්‍ය වශයෙන් ම එය නිර්මාණය කර ඇත්තේ ශාක විශේෂ මිලියන 4.5 ක් තැන්පත් කර හැකි ආකාරයට යි. ඒ අනුව එක් ශාක විශේෂයකින් බීජ 500 ක් තැන්පත් කළහොත් සමස්තයක් ලෙස බීජ බිලියන 2.5 ක ප්‍රමාණයක් ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන ඉඩකඩ ‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’ සතු වෙනවා. ආහාරයට ගත හැකි බෝග වර්ග පමණක් ගබඩා කිරීම සිදු කරන එහි වඳ වී යන ශාක විශේෂ එහි ගබඩා කිරීම සිදු වන්නේ නැහැ.

බීජ ගබඩා කිරීමේ ප්‍රථමයෙන් ම ඒවා ස්තර ත්‍රිත්වයකින් යුතු ලෝපත් (foil) කවරයක බහාලන අතර ඉන් අනතුරු ව එය ප්ලාස්ටික් බඳුනක තැන්පත් කරනවා. මෙසේ දවටන ලද බීජ තැන්පත් කරන්නේ − 18 °C (− 0.4 °F) ක උෂ්ණත්වයක් සහිත කාමරයක යි. අඩු උෂ්ණත්වයක් සහ සීමා කරන ලද ඔක්සිජන් සැපයුමක් සහිත සුරක්ෂිතාගාරයක් තුළ බීජ තැන්පත් කිරීමේ අරමුණ වන්නේ පරිවෘත්තීය ක්‍රියා අවම කිරීම මගින් බීජ පැරණි වීම ප්‍රමාද කිරීම යි. යම් හෙයකින් විදුලි බල සැපයුම අඩාළ වුවහොත් බීජ සඳහා අවැසි උෂ්ණත්වය නියත ව පවත්වාගෙන යාම සඳහා ‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’ වටා ඇති නිත්‍ය තුහින (permafrost) වටපිටාව උපකාරී වෙනවා.

© Global Crop Diversity Trust

පිටස්තරයින්ට තහනම්!

සාමාන්‍යයෙන් ‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’ සතු වන්නේ ලොව අනෙක් ජාන බැංකු තුළ තැන්පත් කරන ලද බීජ නියැදිවල අනුපිටපත් බව පැවසීම වැරදි නැහැ. මේ නිසා කිසිම පාර්ශවයකට ඍජු ව ම එහි තැන්පත් කර ඇති බීජ ලබා ගැනීමේ අවස්ථාවක් නොලැබෙන අතර බීජ ලබා ගැනීමට අවැසි අයෙක් පළමු ව මුල්වරට බීජ තැන්පත් කරන ලද ජාන බැංකුව හරහා ඉල්ලීමක් සිදු කළ යුතු වෙනවා. අදාළ බීජ විශේෂය ඔවුන් සතු ව පැවතුණහොත් ‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’ සතු බීජ ලබා ගැනීම සිදු කරන්නේ නැහැ. එසේ ම එයින් බීජ ලබා ගැනීමට සිදු වන අවස්ථාවක දී කටයුතු කළ යුත්තේ දැනට රටවල් 118 ක් අත්සන් කර ඇති ආහාර සහ කෘෂිකර්මය සඳහා වන ශාක ජාන සම්පත් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසු‍මේ (International Treaty on Plant Genetic Resources for Food and Agriculture) දක්වා ඇති කොන්දේසි අනුව යි.

© Global Crop Diversity Trust

‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’ ආරම්භ කිරීම සඳහා අවැසි යටිතල පහසුකම් සලසා දුන්න ද එහි අයිතිය, නෝර්වේ රජය සතු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් බීජ තැන්පත් කිරීම සිදු කළ පුද්ගලයා හෝ ආයතනය සතු ව එම බීජ විශේෂය පිළිබඳ අයිතිය පවතින අතර වෙනත් කිසිම පුද්ගලයෙකුට තවත් අයෙකුගේ බීජ ලබා ගැනීම සම්පූර්ණයෙන් ම තහනම් කර තිබෙනවා. බීජ තැන්පත්කරුවන්ගේ දත්ත කළමනාකරණය කිරීම සිදු කරන්නේ නෝඩික ජාන සම්පත් මධ්‍යස්ථානය මගින්. එසේ ම මෙහි ලෝකයේ සෑම රටකින් ම පාහේ ලබා ගන්නා ලද බීජ ගබඩා කර ඇති නිසාවෙන් ම එහි සේවය කරන විද්‍යාඥයින්ට සහ ආරක්ෂක නිලධාරීන් හැරුණු විට වෙනත් කිසිම අයෙක්ට එහි ඇතුළු වීමට අවසර නැහැ.

කවරයේ පින්තූරය : © Global Crop Diversity Trust

Related Articles