Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊජිප්තු දෙවිවරුන් ලෝකය මැවීමේ කතාව

අද මේ ඉදිරිපත් කරන ලිපිය, විධිමත් ලිපියකට වඩා කතාවක් ලෙස සලකන්න පුළුවන්. නමුත් මේ මාතෘකාව පිළිවෙලකට, අනු මාතෘකා යටතේ වර්ග කරලා විධිමත් ආකාරයට ලිවීමෙන් පාඨක ඔබට නීරස රචනාවක් ඉදිරිපත් කරනවාට වඩා, ඔබට මතක තියාගැනීමට වඩාත් පහසු කතාවක ස්වරූපයෙන්ම මෙය ලිවීම වඩා උචිතයි කියලා අප සිතුවා. ඇත්තෙන්ම මෙය කතාවක් තමයි. මහා ඊජිප්තු දෙවිවරුන් ලෝකය මැවූ ආකාරය පිළිබඳව කතාවයි මේ.

ආදි දෙවිවරු අටදෙනා (Ancient Origins)

වසර 5000කට කලින්, ශ්‍රේෂ්ඨ රජවරුන් නයිල් නිම්නයේ පිරමීඩ තනන්නටත් ප්‍රථම කාලයේ දී, දෙවිවරුන් පොළව මත නිවසෙන්නටත් පෙර කිසිවකුත් නොමැති මහා අන්ධකාරයක් පැවතුනා. “නුන්” නම් මහා ශුන්‍යතාවයේ සාගරයෙන් මෙම අන්ධකාරය පිරී පැවතිය අතර, මෙම ජලයේ “ඔග්ඩෝඩ්” නම් ආදිම දෙවිවරුන් අටදෙනා පිහිනමින් සිටියා. අවසානයක් නොමැති සාගරයේ දෙවියා සහ දෙවඟන වූ, “නු” සහ “නුනට්”, මහා අවකාශයේ දෙවි යුවළ වූ “හෙහු” සහ “හෙහුට්”, අන්ධකාරයේ දෙවියා සහ දෙවඟන වූ “කෙක්” සහ “කෙකෙට්” සහ විශ්‍රාමයේ දෙවි යුවළ වූ “අමුන්” සහ “අමුනෙට්” වන මේ අටදෙනා විසින් විශ්වයේ නිර්මාපකයා අඩංගු බිත්තරය ආරක්ෂා කරමින් ශුන්‍යතාවයේ මහා සාගරවල පිහිනමින් සිටියා.

මහ දෙවි රා (Getty Images)

දිනක් එක්වරම බිත්තරය පුපුරා ගියා. එය තුළින් මතුව අවසානයක් නැති අන්ධකාරයටත් වඩා ඉහළට ගොස් පිපුණේ නිල් පැහැති නෙළුමක්. ඒ තුළ මහ දෙවි “රා” නිදා සිටියා. නෙළුමේ පෙති එකිනෙක දිග හැරෙන විට මුළු විශ්වයේම අන්ධකාරය වහා නැති කරමින් රන්වන් පැහැ ආලෝකයක් පැතිරුණා. මහා හඬක් නිකුත් කරමින් රන් පැහැ ගිනි ජාලාවක් මැද නිර්මාපක හිරු දෙවි ‘රා’ නැගී සිටියා. ලෝකයට  නිකුත් වූ ඒ පළමු හඬෙන් අයිබිස් පක්ෂියෙකුගේ හිසක් සහිත “තොත්” නම් ප්‍රඥාවේ දෙවියා තමා විසින් තමාවම නිර්මාණය කරගත්තා.

තොත් – ප්‍රඥාවේ දෙවි (Ancient History Encyclopedia)

‘රා’ විසින් අවිනිශ්චිතත්වයේ මහා සාගරය මැද භූමියක් නිර්මාණය කළා. එම භූමියේ සිට අවට සිසාරා බැලූ ඔහුට තමා තනිව සිටින බව වැටහුණා. තනිව සිටීම අපහසුයි. ඔහු ගෙන ආ ආලෝකයෙන් පලක් නැහැ. එම නිසා ඔහු ආදි දෙවිවරුන් අටදෙනා ව්‍යාකූලත්වයෙන් මුදවා සංසුන්බවට පත්කළා. එම සංසුන්භාවය නිසා ලෝකය බිහිවුණා. රා විසින් ප්‍රඥාවේ බලයෙන් සිදුකළ මෙම ක්‍රියාවලීන් අතරේ තවත් දෙවි කෙනෙක් බිහිවුණා. “ටාහ්”, එනම් ලෝකය සහ ජීවීන් හැඩගස්වන්නා ප්‍රඥාවේ බලයෙන් නිර්මාණය වුණා.

ටාහ් (Ethan Miler)

අලුත් ලෝකය මත පළමුවෙන් බිහිවුණේ නීතියේ, සත්‍යයේ, සහ ද්විත්ව ස්වභාවයේ මහා දෙවඟන වූ “මාත්”.  සෑම ශක්තියකම ද්විත්ව ස්වරූපය විශ්වයේ මූලිකම නීතිය වූ නිසා ‘මාත්’ පළමුව නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. ප්‍රඥාවේ දෙවි ‘තොත්’ ඈව තම භාර්යාව කරගත්තා. ‘රා’ නැවතත් තනිවුණා.

මාත් (Pinterest)

දෙවනුව ‘රා’ විසින් තම සෙවනැල්ල සමඟ සංවාසය කර, ඉන් අනතුරුව කෙළ පිඬක් ගැසීමෙන් වායුවේ දෙවියා වූ  “ෂු” සහ තෙතමනයේ දෙවඟන වූ “ටෙෆ්නුට්” බිහිකරනු ලැබුවා. නමුත් ඔවුන් දෙදෙනා අන්ධකාර මහා සාගරයේ ඈතට ගමන් කළ නිසා ඔහු විසින් මැවූ භූමියේ ‘රා’ නැවතත් තනිවුණා. ඒ තනිකමෙන් විඩාවට පත් රා තමාගේම ඇස ගලවා, එය තම ශක්තියෙන් පිරවූවා. ඔහු මෙම ඇස තම දියණිය ලෙස සලකා ඈ “හා‍තෝර්” ලෙස නම්කළා. හා‍තෝර්, ආකාශයේ දෙවඟන, පිටත්කර හරිනු ලැබුවේ අන්ධකාර සාගරයේ ඈතට ඇදී ගිය ෂු සහ ටෙෆ්නුට් සොයාගැනීම සඳහායි.

ෂු සහ ටෙෆ්නුට් (Amentet Neferet)

හා‍තෝර් (MyGodPictures.com)

රා ගේ දරුවන් සොයා සාගරයන් මතින් ඉගිල ගිය හා‍තෝර්ගේ ආලෝකය සියළු අන්ධකාරයන් පසාරු කළා. ෂු සහ ටෙෆ්නුට් ඉක්මනින්ම සොයාගනු ලැබූ අතර ඔවුන්ව රා වෙත ඉදිරිපත් කෙරුණා. හා‍තෝර්ගේ සේවයට ත්‍යාගයක් ලෙස ඈව “යූරියස්” නම් ශ්‍රේෂ්ඨ සර්පයාගේ රූපාකාරයට පත්කරන රා, එය තම බැම මත පැළඳගත්තා. අනාගතයේ දී සියළු දෙවිවරුන් සහ මිනිසුන් ඇයට බිය වනු ඇති; රාගේ සතුරන්ට ද වඩා බලයක් ඇයට හිමිවෙනු ඇති. රාගේ වචනය විශ්වයේ නීතිය වුණා.

යූරියස් පළඳනාව (Crystalinks)

මේ අතර නැවත පැමිණි ෂු සහ ටෙෆ්නුට් එකිනෙකාට ආලය කරමින් සිටියා. මේ සම්බන්ධය නිසා ටෙෆ්නුට් ගැබ්ගෙන නිවුන් දරුවන් බිහි කළ අතර ඔවුන් “ගෙබ්”, එනම් ධරණීතලයේ දෙවියා, සහ “නුට්”, බවට නම්කරනු ලැබුවා. නුට් ට ප්‍රියකළ මහ දෙවි රා ඇයව විවාහ කරගත්තත්, ඇගේ කැමැත්ත තිබුණේ ඇගේ සොයුරා වූ භූමියේ දෙවි ගෙබ්ටයි. එනිසා ආකාශය භූමිය දෙසටම ආකර්ෂණය වී පැවතුණු අතර, ඔවුන්ගේ ආලය විශ්වයේ මහා වියවුලක් ඇතිකළා. රා විසින් ඇතිකරන ලද සන්සුන්බව නැතිව ගියා. මේ කිසිත් නොදන්නා රා දිනක් හදිසියේ පැමිණියේ මොවුන් දෙදෙනා මෙලෙස පෙමින් වෙලී සිටි අවස්ථාවකයි. නුට් ඔහුට වංචා කරලා! ඉතින් ගෙබ් සහ නුට් වෙන්කළ යුතු වුණා. රා විසින් ආකාශය පොළවෙන් ඉහළට තල්ලු කළා. ඔවුන් දෙදෙනා නැවත කිසිදා හමු නොවිය යුතුයි. ඔවුන් හමු නොවන බවට වගබලාගැනීමට වායුවේ දෙවි ෂු පත්කරනු ලැබුවා. ආකාශය හා භූමිය අතර වායුව පිහිටනු ලැබුවා.

ෂු විසින් නුට් සහ ගෙබ් වෙන්කරයි (Tumblr)

මේ වන විට මෙම සම්බන්ධය නිසා නුට් ගැබ්ගෙන සිටියා. රා තම බිරිය පිළිබඳව පසුවුණේ මහත් වෛරයකින්. ඔහු ඇයට ශාප කළා. වසරින් වසර ගත වුණත්, කිසිම මාසයක, කිසිම දිනෙක නුට් විසින් තම දරුවන්ට උපත ලබා නොදෙනු ඇති! ඈ ගැබ්ගෙනම සිටියාවේ. ඇගේ දරුවන් කිසිම දිනෙක ආලෝකය නොදැක්කාවේ. මහා දෙවි රාගේ වචනය අවසන් තීරණය වුණා.

නුට් මහත් වේදනාවට පත්වුණා. දැන් ඈට ඇගේ පෙම්වතා පමණක් නොව දරුවන් ද අහිමි වී ගිහින්. ඇගේ වේදනාව කොතරම් බලවත් වුණාද යත්, ප්‍රඥාවේ දෙවි තොත්ව එහි ගෙන්වීමට එය සමත්වුණා. ඇගේ කඳුළු පිස දැමූ තොත් මෙයට පිළියමක් කල්පනා කළා. විශ්වයේ නීතිය වන රා ගේ වචනය වෙනස් කළ නොහැකියි, ප්‍රඥාවේ දෙවියා දැන සිටියා. එම නිසා ප්‍රඥාවේ දෙවියාට වුවත් නුට්ට සහනයක් අත්කර දිය හැක්කේ ප්‍රයෝගයකින් පමණයි. හිරු දෙවි ප්‍රයෝගයකින් පරාජය කිරීම කළ නොහැක්කක්. ඉතින් ඔහු එකල හිරු තරමටම දීප්තියක් විහිදවූ සඳ දෙවි ඛොන්සු ට සූදු ක්‍රීඩාවකට අභියෝග කළා.

තොත් සහ නුට් (Fellowship of Isis Utah)

ඊජිප්තු දෙවිවරුන් ලෝකය මැවීමේ කතාව ඉතාමත් දිගයි. එනිසා මෙතනින් එය අවසන් කරන්නටයි වෙන්නේ. නමුත් කලබල වෙන්න එපා! දෙවිවරුන් තවමත් ඊජිප්තුව මවා නැත්නම් ඔවුන් ඊජිප්තු දෙවිවරුන් වන්නේ කොහොමද? නුට් විසින් ප්‍රයෝගයෙන් බිහිකරන දරුවන් ඊජිප්තුවේ පළමු රජුන් බවට පත් වන කතාව ඊළඟ ලිපියෙන් ඔබට ඉදිරිපත් කෙරෙනවා.

මූලාශ්‍ර: theologywebsite.com

ancient.eu

කවරයේ පින්තූරය:Pinterest

Related Articles