Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොදැනුවත්කම නිසා සිදුවුණු “ගොයානියා විකිරණ අනතුර”

විදෙස් සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය දිනෙක කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්වුණා. දින ගණනක් පැවතුණු ගින්න නිසා විශාල පාරිසරික විනාශයක් සිදුව තිබෙනවා. නැවේ බහාලුම්වල ගබඩා කර තිබුණු රසායනික ද්‍රව්‍ය, අපද්‍රව්‍ය, ආහාර, සහ නෞකාවේ ඉන්ධන මීගමුව සහ ඒ අවට වෙරළ තීරයන්හි ගොඩගැසෙමින් පැවතෙනවා. නෞකාවේ වූ බහාලුම් කිහිපයක් මුහුදට වැටීමත් මීට හේතුවක්.

බහාලුම්වල තිබූ දෑ වෙරළ තීරය වෙත ගසාගෙන ඒමෙන්, අවට ප්‍රදේශවල ජනතාව ඒවා එකතුකොට රැගෙන යාම ඇරඹුනා. එම දර්ශන මාධ්‍ය මඟින් පවා ප්‍රදර්ශනය කළා. නැවේ ප්‍රවාහනය කළේ විවිධ රසායනිල ද්‍රව්‍ය වුවත්, ප්‍රදේශවාසීන් සමහරෙක් වෙරළේ තිබුණු ඇතැම් භාණ්ඩ සිය නිවෙස් වෙත ගෙන යන්නට පොරබැදුවා. මේ සියල්ල සිදුවුණේ වෙරළ තීරයෙන් ඈත්ව සිටින ලෙසත්, පාවී එන භාණ්ඩ ස්පර්ශ නොකළ යුතු බවත් බලධාරීන් සඳහන් කර තිබිය දී යි. මේ වන විට, වෙරළට ගසාගෙන පැමිණි ආහාර පරිභෝජනය කළ පිරිසකට විවිධ අසාත්මිකතා මතුවී ඇති බව වාර්තා වනවා. 

ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී, මිනිසුන්ගේ නොසැලකිල්ල නිසා මේ අයුරින්ම සිදුවූ අනතුරු කීපයක්ම දැකිය හැකියි. 1987 වසරේ බ්‍රසීලයෙන් වාර්තා වුණු ගොයානියා විකිරණ අනතුර ද එවැන්නක්. 

ගොයානියා විකිරණ චිකිත්සක ආයතනයේ ටෙලිතෙරපි යන්ත්‍රය

1970 දශකයේ මුල් භාගය පමණ වන විට බ්‍රසීලයේ ගොයානියා නගරයේ දියුණු මට්ටමේ පෞද්ගලික විකිරණ ආයතනයක් ක්‍රියාත්මක වුණා. 1977 වසරේ දී එහි සීසියම්-137 අඩංගු ටෙලිතෙරපි ප්‍රතිකාර යන්ත්‍රයක්  ස්ථාපනය කරනු ලැබුවා. ටෙලිතෙරපි ප්‍රතිකාර යන්ත්‍රයක් කියන්නේ පිළිකා දැනි රෝගවලට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයක්. එහි විකිරණ මූලාශ්‍රය ලෙස සීසියම්-137, කොබෝල්ට්-60, රේඩියම්-226 වැනි විකිරණශීලී මූලද්‍රව්‍යයක් ඒ තුළ අඩංගු වෙනවා.

නවීන ටෙලිතෙරපි ප්‍රතිකාර ඒකකයක් (TeamBest)

වසර 8කට පසුව, ගොඩනැගිල්ලේ හිමිකාරීත්වයේ වෙනසක් සිදුවූ බැවින් විකිරණ චිකිත්සක ආයතනය වෙනත් තැනකට ගෙනයාමට එහි අයිතිකරුවන් තීරණය කළා. එනිසා 1985 වසරේ දී ගොයානියා නගරයේ විකිරණ චිකිත්සාගාරය වසා දමනු ලැබුවා. විකිරණ චිකිත්සක ආයතනය වසා දමා යද්දී එහි තිබුණු කොබෝල්ට්-60 ටෙලිතෙරපි ප්‍රතිකාර යන්ත්‍රය  ඉවත්කර ගෙන ගියත්, සීසියම්-137 යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආයතනයේ අයිතිකරුවන්ට හැකිවුණේ නැහැ. 

විකිරණ චිකිත්සක ආයතනය මුලින් පැවති ස්ථානයෙන් ඉවත් කරගැනීමෙන් පසු පිළිබඳව ගොඩනැගිල්ලේ අයිතිකරුවන් සහ විකිරණ ප්‍රතිකාර ආයතනයේ අයිතිකරුවන් අතර ගැටුමක් මතුවුණා. 1986 සැප්තැම්බර් 11 වැනි දින එය උසාවියේ දී විභාගයට ගනු ලැබීමෙන් පසු, මුල් ගොඩනැගිල්ලේ තිබූ ලිසිදු භාණ්ඩයක් ඉවත්කරගෙන යෑම උසාවිය විසින් විකිරණ ප්‍රතිකාර ආයතනයේ අයිතිකරුවන්ට තහනම් කළා. අතහරින ලද ස්ථානයේ සීසියම් ටෙලිතෙරපි ප්‍රතිකාර යන්ත්‍රයක් අනාරක්ෂිතව තිබීම අනතුරුදායක බව ඔවුන් අධිකරණයට ප්‍රකාශ කර තිබූ නමුත් ඒ පිළිබඳව ගොයානියා අධිකරණය තැකීමක් කළේ නැහැ. ඔවුන් විකිරණ චිකිත්සක ආයතනය තිබූ පරිශ්‍රයේ පාලනය භාරව තිබුණේ ඉපාස්ගෝ නම් ආයතනයට යි. 

1987 වසරේ මැයි මාසයේ දී, විකිරණ චිකිස්තක ආයතනයේ හිමිකරුවන්ගෙන් අයෙකු වූ කාර්ලෝස් බෙසරිල් ටෙලිතෙරපි ප්‍රතිකාර යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළත් ඉපාස්ගෝ ආයතනයේ අධ්‍යක්ෂකයෙකු පොලීසිය කැඳවා එම ප්‍රයත්නය ව්‍යර්ථ කරනු ලැබුවා. විකිරණ චිකිත්සක ආයතනයේ හිමිකරුවන් බ්‍රසීලයේ ජාතික න්‍යෂ්ටික බලශක්ති කොමිෂන් සභාවට ලිපියක් ලියා අනාරක්ෂිත ටෙලිතෙරපි ප්‍රතිකාර ඒකකය  පිළිබඳව දන්වා සිටියත්, අධිකරණය නියෝගය හේතුවෙන් එම ආයතනයට ද අදාල යන්ත්‍රය ඉවත්කිරීම සඳහා බලයක් තිබුණේ නැහැ.

ටෙලිතෙරපි ප්‍රතිකාර ඒකකය සොරකම් කරයි 

1987 සැප්තැම්බර් මාසය වන විට විකිරණ චිකිත්සක ආයතනය තිබූ ගොඩනැගිල්ල සඳහා ආරක්ෂක නිලධාරියෙකු අධිකරණය විසින් යොදවා තිබුණා. ප්‍රදේශයේ නිතර සැරිසැරූ, ප්‍රදේශවාසී රොබර්ටෝ ඇල්වෙස් සහ වැග්නර් පෙරෙයිරා, ගොඩනැගිල්ලේ වටිනා කියන බඩුබාහිරාදිය ඇතැ යි යන අනුමානය ඇතිව, මේ ආරක්ෂක නිලධාරියා පිළිබඳව විමසිල්ලෙන් සිටියා. 1987 සැප්තැම්බර් 13 වැනිදා ආරක්ෂක නිලධාරියා පැමිණ සිටියේ නැහැ. රොබර්ටෝ සහ වැග්නර් ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළු වුණා.

විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු කැප්සියුලය (Wikipedia)

වසර දෙකක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබුණු ගොඩනැගිල්ල තුළ වූ බඩුබාහිරාදියෙන් ඔවුන් දෙදෙනාගේ නෙත ගැටුණේ ඉතිරිව තිබුණු ටෙලිතෙරපි ප්‍රතිකාර ඒකකය යි. එහි දිලිසෙන ක්‍රෝම් මතුපිට පෙනුම නිසා වටිනාකමක් ඇතැ යි සිතූ රොබර්ටෝ සහ වැග්නර් එහි හිස කොටස ගලවා, එය කැබලිකර විකිණීමේ චේතනාවෙන් අසල තිබුණු රෝද පුටුවක තබාගෙන රොබර්ටෝගේ නිවස වෙත රැගෙන ආවා.

ටෙලිතෙරපි ඒකකය පරීක්ෂා කරන්න ගිහින් වුණු ජරමරේ 

ටෙලිතෙරපි ප්‍රතිකාර යන්ත්‍රය නිවසට රැගෙන ඒමෙන් පසුව රොබර්ටෝ සහ වැග්නර් එහි කොටස් ගැලවීමට උත්සාහයක යෙදුනත්, එය සිතූ තරම් ලෙහෙසි පහසු වුණේ නැහැ. නමුත් ඔවුන් දෙදෙනා විවිධ උපකරණ භාවිතා කරමින් ටෙලිතෙරපි ඒකකය කොටස්වලට ගැලවීමේ කාර්යයෙහි නිරත වුණා. 

මේ අතරතුරේ දෙදෙනාටම තදබල ලෙස වමනය යන්නට පටන්ගැනුනා. කෑමක් අජීරණය වන්නට ඇතැ යි සිතූ ඔවුන් දෙදෙනා සිය කාර්යය දිගටම කරගෙන ගියා. පසුදින උදෑසන වැග්නර් හිස කරකැවිල්ල සහ පාචනය යන රෝගයන්ගෙන් පෙළෙන්නට වුණා. එසේම ඔහුගේ වම් අත අසාමාන්‍ය ලෙස ඉදිමෙන්නට පටන් ගත්තා. බියට පත්වුණු වැග්නර් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත ගියත් ඔහුගේ නිගමනය වූයේ ද මෙය අජීරණයක් විය යුතු බව යි. වෛද්‍යවරයා වැග්නර් ආපිට නිවෙස බලා පිටත්කළා. 

වැග්නර් වෛද්‍ය නිර්දේශය මත විවේක සුවයෙන් පසුවුණත් රොබර්ටෝ දිගින් දිගටම ටෙලිතෙරපි ඒකකය සමග ඔට්ටු වුණා. අවසානයේ දී ඔහු එය තුළ වූ විකිරණශීලී සීසියම්-137 අඩංගු වුණු කැප්සියුලය එළියට ගැනීමට සමත් වුණා. ඒ වන විට අඛණ්ඩව විකිරණවලට නිරාවරණය සිටීම හේතුවෙන් රොබර්ටෝගේ නළලත්, දකුණු අතත් වණ වී තිබුණා. නමුත් තුවාලය ඇතිවුණු ආකාරය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබුණේ නැහැ.

ඉස්කුරුප්පු නියනකින් සීසියම්-137 කැප්සියුලය විවෘත කිරීමට උත්සාහ කරමින් සිටි රොබර්ටෝ සාර්ථක වුණා. සීසියම් කැප්සියුලය සිදුරුවීමත් සමගම එය තුළ තිබුණු නිල් පාට ආලෝකයක් ඔහුට දැකගන්නට ලැබුණා. රොබාර්ටෝ ඉස්කුරුප්පු නියනේ ආධාරයෙන් කැප්සියුලය තුළ වූ දිලිසෙන ද්‍රව්‍යය පිටතට ගත්තා. ඔහු ඒවා වෙඩි බෙහෙත්යැ යි සිතා දල්වන්නට උත්සාහ කළත් කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. 

ඉතිහාසයේ සිදුවූ දරුණුම විකිරණ අනතුරක් එතැනින් ආරම්භ වුණා.

සීසියම් ලෝහය. (Wikipedia)

සීසියම් ගම පුරාම! 

මේ වන විට විකිරණශීලි ද්‍රව්‍යවල බලපෑම හේතුවෙන් රොබර්ටෝ දැඩි අසනීප තත්ත්වයෙන් පසුවුණත් ඔහු ඒ ගැන වැඩි තැකීමක් කළේ නැහැ. කෙසේ නමුත් දින කීපයකට පසු ඔහු ඒ සියල්ල අසල පිහිටි අබලි ද්‍රව්‍ය මිළට ගන්නා අයෙකු වූ අල්වේස් ෆෙරෙයිරාට විකුණුවා.

තමා මිළට ගත් අබලි යකඩ ගොඩින් රාත්‍රියේ දී නිල් පැහැ ආලෝකයක් දිස්වන බව ෆෙරෙයිරා නිරීක්ෂණය කළා. ඔහු නිල් පැහැ ආලෝකය විහිදුවන කුප්පිය සොයාගැනීමට සමත් වුණා. 

දින කීපයක් පුරාවට ෆෙරෙයිරාගේත්, ඔහුගේ පවුලේත් අවධානය සම්පූර්ණයෙන්ම යොමුව තිබුණේ සීසියම් කැප්සියුලයෙන් නිකුත් වුණු අරුම පුදුම නිල් ආලෝකයට යි. මෙය අධිස්වභාවික සිදුවීමක්‍යැ යි සිතූ ඔහු සිය අසල්වැසියන්ට සහ මිතුරන්ටත් තමාගේ සොයාගැනීම පිළිබඳව පවසා සිටියෙන්, බොහෝ පිරිසක් ෆෙරෙයිරාගේ වෙළඳසැලට පැමිණ අරුම පුදුම කුප්පිය දැකබලා ගත්තා. සීසියම් කැප්සියුලය තුළ තිබුණු විකිරණශීලි දිලිසෙන කුඩ සහ හාල් ඇට වැනි කොටස් එළියට ගත් ෆෙරෙයිරා, ඇතැම් හිතමිතුරන්ටත් ඒවා ලබාදුන්නා. ඔවුන් ඒවා සිය නිවෙස් වෙත රැගෙන ගියා.

විකිරණශීලී සීසියම් කුඩු නිවෙසට ගෙන ගිය එක් තැනැත්තෙකු ඒවා නිවසේ පොළවේ විසිරුවා තිබුණා. ඔහුගේ සය හැවිරිදි දියණිය ඒ මත පෙරලෙමින්, තමාගේ සිරුරේ තැවරුණු දිළිසෙන කුඩු දෙමාපියන්ට පෙන්වමින් විනෝද වී තිබුණා. ඈ ආහාර ගෙන තිබුණේ ද ගෙබිම සිට යි.

විශාල පිරිසක් අසනීප වෙයි 

දින කීපයක් තුළ දී ෆෙරෙයිරාගේ නිවසේ සියලුදෙනාත්, එම නිවෙස වෙත ගිය සියලුදෙනාත් පාචනය, වමනය වැනි ලක්ෂණ පෙන්වමින් අසනීප වුණා. ඔවුන් සියල්ලන්ටම එකම ආකාරයේ රෝග ලක්ෂණ මතුවුණා. නමුත් ඔවුන් අසනීපවීමට නිශ්චිත හේතුවක් දැන සිටියේ නැහැ.

වෛද්‍ය නිලධාරියෙක් පුද්ගලයෙකුගේ සිරුරේ විකිරණ මට්ටම පරීක්ෂා කරමින් (gettyimages)

සිදුවන්නේ කුමක්දැ යි කියා කිසිවෙකුට අවබෝධයක් නොතිබුණු මේ අවස්ථාවේ ෆෙරෙයිරාගේ බිරිද වුනු මාරියා එක් කරුණක් නිරීක්ෂණය කර තිබුණා. ඒ, අරුම පුදුම එළියක් විහිදුවන කුප්පිය එහි ගෙන ආ දා සිට ඔවුන් සියල්ලන්ම අසනීප වන බව යි. ඇය දිලිසෙන කුප්පියත් අසනීපත් අතර සම්බන්ධයක් ඇති බව සැක කළා.      

මාරියා සෞඛ්‍ය අංශ වෙත යයි 

සැප්තැම්බර් 28 වැනිදා, මාරියා සිය ස්වාමියාගේ සේවකයෙකු ලවා ටෙලිතෙරපි යන්ත්‍රයේ සියලු කොටස් මල්ලක දමවාගෙන රැගෙන ගොස් අසල පිහිටි රෝහලක වෛද්‍යවරයෙකු හමුවුණා. මල්ල ඔහුගේ මේසය මතින් තැබූ ඇය වෛද්‍යවරයාට පවසා තිබුණේ, “මේකෙන් මගේ පවුලෙ මිනිස්සු මැරෙනවා” කියා යි. කෙසේ නමුත් ඒ කුමක්දැ යි වෛද්‍යවරයා දැන සිටියේ නැහැ. කෙසේ නමුත් ඔහු එය රෝහලේ ගොඩනැගිලිවලට ඈතින් පිහිටි මිදුල මැදට ගෙනගොස් තැබුවා. මාරියා සහ සේවකයා වෙනත් රෝහලක් වෙත යැවුණා.

මේ රෝහලේ එක් වෛද්‍යවරයෙකු, මේ අයගේ තුවාල විකිරණ නිසා සිදුව ඇති බවට අනුමාන කළා. ඔහු අදාල බලධාරීන් වහා දැනුවත් කළා. පසුදා පළමු රෝහල වෙත ගිය ඔවුන් අදාල විකිරණශීලී මල්ල එතැනින් ඉවත්කර ගෙන ගියා. එයින් සිදුව තිබූ මහා හානිය අනාවරණය වුණේ එතැන් සිට යි.

ගොයානියා විකිරණ අනතුරෙන් සිදුවුණු හානිය 

ගොයානියා විකිරණ අනතුර නිසා පෙර කී සය හැවිරිදි දැරිය ද ඇතුළු 4 දෙනෙකු මරණයට පත්වුණා. 249 දෙනෙකුට මෙම සිදුවීම නිසා මාරාන්තික නොවන තුවාල ඇතිවුණා. ඊට අමතරව දහස් ගණනක් දෙනාගේ සිරුරුවලට විකිරණශීලි ද්‍රව්‍යය ඇතුළත් වී පිළිකා සෑදීමේ අවධානමට ගොදුරු වුණා. ඒවායේ වූ ඉහළ විකිරණ මට්ටම නිසා ෆෙරෙයිරාගේ නිවෙස ඇතුළු නිවෙස් කීපයක් කඩා විනාශකර දමන්නටත්, ගමේ තැනින් තැන මතුපිට පස් ආදීය ඉවත් කරන්නටත්, බොහෝ නිවෙස් ජීවත්වීමට සුදුසු ලෙස පිරිසිදු කරන්නටත් බලධාරීන්ට සිදුවුණා.

අනතුරෙන් මියගිය කෙනෙකුගේ ආදාහන උත්සවයක් (gettyimages)

ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දරුණුම විකිරණ අනතුරක් එරට රජයේ නොසැලකිල්ලත්, ප්‍රදේශවාසීන්ගේ නොදැනුවත්කමත් හේතුවෙන් මෙසේ සිදුවුණා. 

කවරයේ ඡායාරූපය- අනතුර නිසා රෝගී වුණු පුද්ගලයෙක් (gettyimages)

මූලාශ්‍රයයන්- spark.org

                        large.stanford.edu

                        The Radiological Accident in Goiania by IAEA, Vienna

Related Articles