Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පර්සිගේ දිරියෙන් කැංගරුවන් මට්ටු කළ බ්‍රිස්බේන් ටෙස්ට් ගැටුම

පර්සි අබේසේකර යන නම ඇසුනු සැනින් අපට මතක් වන්නේ ජාතික කොඩිය අතින් ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කරන පුද්ගලයෙක්. ඒ, පර්සි අබේසේකර නම් ක්‍රිකට් ලෝලියා දශක ගණනාවක සිට අපේ ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් සහාය නිසා යි. 80 දශකය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ක්‍රිකට් පිටිය තුළ සිටි ප්‍රබල කණ්ඩායමක් නොවෙයි. එම නිසා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවල් අපට නිතරම කෙනෙහිලිකම් කළා. 1989 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා සංචාරය කළේ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහ ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියට සහභාගි වීම සඳහා යි. එම දීර්ඝ තරග සංචාරය යටතේ මුලින්ම ආරම්භ වීමට නියමිතව තිබුණේ බ්‍රිස්බේන් ටෙස්ට් තරගය යි. දෙසැම්බර් 8 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණු එම ටෙස්ට් තරගයට පෙර ලංකා කණ්ඩායමට කවදත් හිතවත් වුණු පර්සි අබේසේකර කෝපයට පත්වන ආකාරයේ දෙයක් ඔහුට නිරීක්ෂණය කරන්නට ලැබුණා. ඒ සිදුවීම හේතුවෙන් පර්සි එදා ලංකා කණ්ඩායමට දුන් දිරිය නිස බ්‍රිස්බේන් ටෙස්ට් තරගය නිමාවට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ගෞරව හිමිවෙමින්.

පර්සි ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරමින් (gettyimages)

පර්සි කෝපයට පත්වීමට හේතු වුණු සිදුවීම 

බ්‍රිස්බේන් ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර එය නැරැඹීම සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට ගිය පර්සිට දක්නට ලැබුණේ දින 5ක ක්‍රිකට් තරගය සඳහා දින 4කට පමණක් ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර තිබුණු බවයි. එසේම රිචී බෙනෝ, ටෝනි ග්‍රේග්, ඉයන් චැපල් වැනි විස්තර විචාරකයන් ද සිව්ව්න දිනයේ රාත්‍රියේ ඊළඟ ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව තිබුණු ටැස්මේනියාවේ හෝබාර්ට් නුවර බලා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කරගෙන තිබුණා. එලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා කණ්ඩායම හෑල්ලුවට පත්කර තිබෙන ආකාරය දුටු පර්සි කෙලින්ම ගියේ ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංග හමුවීමට යි.

ටෝනි ග්‍රේග් (gettyimages)

අර්ජුණ මුල්ම වරට ටෙස්ට් කණ්ඩායම මෙහෙයවයි   

රංජන් මඩුගල්ලේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු මුල්ම ටෙස්ට් තරගය මෙය යි. එනිසා බ්‍රිස්බේන් ටෙස්ට් තරගය අර්ජුණ රණතුංග ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන පළමු ටෙස්ට් තරගය වීමට නියමිතව තිබුණා. නමුත් තරගය ආරම්භ වීමට දින කිහිපයකට පෙර අර්ජුණගේ අතෙහි ආබාධයක් මතු වුණා. එම ආබාධය සඳහා ප්‍රතිකාර කළ ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන් පවසා තිබුණේ සති තුනක් යනතුරු ක්‍රිකට් පිත්තක් ඇල්ලීමෙන් වලකින ලෙස යි. නමුත් අර්ජුණ තුළ තිබුණු ධෛර්යවන්ත ගතිය නිසාම වෛද්‍යවරුන් දැමූ ප්ලාස්ටර් ගලවා දමා ලංකාවෙන් රැගෙන ගිය තෙල් වර්ගයක පිහිටෙන් අත සුවපත් කරගත්තා. ඒ හේතුවෙන් අර්ජුණ බ්‍රිස්බෙන් ටෙස්ට් තරගයට සහභාගි වීම සඳහා යහපත් මානසිකත්වයකින් පසු වුණා. 

අර්ජුණ රණතුංග (gettyimages)

පර්සි නායක අර්ජුණගෙන් කළ ඉල්ලීම 

අර්ජුණ ඕස්ට්‍රේලියානුවන් මට්ටු කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින අතරතුර පර්සි නම් ක්‍රිකට් ලෝලියා ඔහු හමුවට පැමිණියා. ඉන් පසුව පර්සි විසින් නායක අර්ජුණට පවසා සිටියේ ටෙස්ට් තරගය සඳහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට ගිය අවස්ථාවේ දී දක්නට ලැබුණු දේ පිළිබඳව යි. එදා පර්සි නම් ක්‍රිකට් ලෝලියා නායක  අර්ජුණගෙන් ඉල්ලා සිටියේ ඕස්ට්‍රේලියානුවන් දින තුනකින් හෝ හතරකින් තරගය නිමා කිරීමට සූදානමින් සිටින නිසා කෙසේ හෝ තරගය 5 වැනි දිනය දක්වා රැගෙන යන ලෙස යි. එහි දී අර්ජුණට උපදෙස් දීමෙන් නොනැවතුණු පර්සි, අරවින්ද ද සිල්වා ඇතුළු සෙසු ක්‍රීඩකයන්ව දිරිමත් කරමින් පවසා සිටියේ ලාංකිකයන්ගේ තරම ලෝකයට පෙන්වීමට හොඳම අවස්ථාවක් උදා වී ඇති බව යි. මේ ලාංකික ක්‍රිකට් ලෝලියා කළ දිරිමත් කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බ්‍රිස්බේන් ටෙස්ට් තරගයට අවතීර්ණ වුණේ කැංගරුවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීම සඳහා යි.

පළමු දිනයේ වැඩි ගෞරව කැංගරුවන්ට 

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ඕස්ට්‍රේලියානුවන්ට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළා. එම අවධිය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටි ප්‍රධානම වේග පන්දු යවන්නා වුණු රුමේෂ් රත්නායක මෙම තරගයට ක්‍රීඩා නොකිරීම බලවත් පාඩුවක් වුණා. නමුත් ඔහු නැති අඩුව මකා දැමූ චම්පක රාමනායක සහ ග්‍රැහැම් ලැබ්‍රෝයි ලකුණු 27ක් තුළ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගලය ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වා. ආරම්භක පිතිකරු යුගලය නික්මයාමෙන් පසුව පිටියේ එකතු වුණු නායක ඇලන් බෝඩර් සහ ටොම් මූඩි කැංගරු ඉනිම ගොඩනැගීම ආරම්භ කළා. එදා කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහරදුන් මූඩි සහ බෝඩර් දිනය නිමාවන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 178/2 දක්වා ඔසවා තැබුවා. එහි දී මනරම් ඉනිමක් ක්‍රීඩා කළ මූඩි නොදැවී ලකුණු 101ක් ලබාගෙන සිය මංගල ටෙස්ට් ශතකය ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් බෝඩර් නොදැවී ලකුණු 54ක් ලබාගැනීමට සමත් වුණා.

ටොම් මූඩි (gettyimages)

ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වෙයි 

දෙවන දිනයේ උදෑසන ගැබා තණතීරුවේ තිබුණු ජීවය උකහාගත් ලැබ්‍රෝයි තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වුණේ බෝඩර් සහ මූඩි යන පිතිකරුවන් දෙදෙනා පළමු පැය තුළ දවාගනිමින්. ඉන් නොනැවතුණු ලැබ්‍රෝයි කවදත් ලංකාවට බැට දෙන ඩීන් ජෝන්ස්ව ලකුණු 15කට දවාගත්තේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 210/5 බවට පත්කරමින්. නොසිතූ මොහොතක ඉක්මනින්ම කඩුලු 3ක් දැවියාමෙන් පසුව අඩපණ වුණු කැංගරු ඉනිමට යළි ජීවයක් දුන්නේ ස්ටීව් වෝ නම් පිතිකරුවා යි. එදා ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 60 නිසා ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 367දී නිමාව දුටුවා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ලැබ්‍රෝයි ලකුණු 133කට කඩුලු 5ක් දවාගත්තේ ඕස්ට්‍රේලියානු බිමේ දී ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාගත් මුල්ම පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙමින්. කැංගරුවන්ගේ පළමු ඉනිම නිමා වීමෙන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 81ක් ලබා සිටියා.

ග්‍රැහැම් ලැබ්‍රෝයි (gettyimages)

තරගය දෙපිලටම විවෘත වෙයි 

තෙවන දිනය ආරම්භයේ සිටම සිය කඩුලු ආරක්ෂා කරගනිමින් සුපරික්ෂාකාරීව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් අනවශ්‍ය පහරවල් කරා යාමට උත්සාහ කළේ නැහැ. එම නිසාම එක් අවස්ථාවක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 148/3 ලෙසින් දිස් වුණා. ඒ මොහොත වන විට සැදෑ රක්ෂක පිතිකරුවා ලෙසින් පිටියට පිවිස නොදැවී ලකුණු 22ක් ලබා සිටි අශෝක ද සිල්වා ඉතාමත් වගකීමෙන් ක්‍රීඩා කරමින් සිටියා. නමුත් එම තීරණාත්මක අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු අල්ඩර්මාන් ලකුණු 22ක් ලබා සිටි අශෝකව දවාගත්තත් ඉන් නොසැලුණු අර්ජුණ සහ අරවින්ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව 201/4 දක්වා ඔසවා තැබුවා. එලෙස ගොඩනැගුණු වටිනා සබඳතාවය නිමාව දකිමින් අර්ජුණ ලකුණු 25කට දැවීගියත් අරවින්ද සිය වගකීම ඉටු කළේ නොදැවී ලකුණු 75ක් ලබාගෙන දිනය නිමාවන තුරු කඩුල්ලේ රැඳී සිටිමින්. ඒ අනුව තරගයේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 275/6 ලෙසින් දිස් වුණා.

අරවින්දගෙන් දැකුම්කළු ඉනිමක් 

කඩුලු 6ක් දැවී ලකුණු 275ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 4 සිව්වන දිනයේ උදෑසනින්ම දවාගැනීම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ අරමුණ වුණා. නමුත් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන්ව තඹ දොයිතුවකට මායිම් නොකළ අරවින්ද ඔවුන්ට පුල් සහ හුක් පහරවල්වලින් සංග්‍රහ කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉදිරියට රැගෙන යමින්. එහි දී අනිත් අන්තයේ සිටි රවී රත්නායකත් අරවින්දට අනගි සහායක් ලබාදුන් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 382/6 ලෙසින් දිස් වුණා. එලෙස අරවින්ද සහ රවී අතර ගොඩනැගුණු ලකුණු 144ක අගනා සබඳතාවය නිමාව දුටුවේ රවී ලකුණු 56කට දැවීයාමත් සමගින්. රවීගේ නික්මයාමෙන් පසුව හුදෙකලා සටනක නිරත වුණු අරවින්ද අවසන් කඩුල්ල ලෙසින් දැවීගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 418 දී නිමාව දකිමින්. එදා ඉතාමත් දැකුම්කළු ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 167ක් ලබාගත්තේ ඕස්ට්‍රේලියානු බිමේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වෙමින්.

අරවින්ද ද සිල්වා (gettyimages)

තරගය ජය පැරදුමෙන් තොරව නිමාව දකියි 

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 51ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සිව්වන දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබා සිටියා. තරගයේ අවසන් දිනයේ දී ඉතාමත් මන්දගාමී අයුරින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවන් දිනය පුරාවටම පන්දුවට පහරදුන්නේ තරගය ජයග්‍රහණය කිරීමට කිසිදු අවස්ථාවක් නොතිබුණු නිසා යි. ඒ අනුව දිනය නිමාවන විට ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම සටහන් වුණේ 375/6ක් ලෙස යි. එහි දී කැංගරුවන් වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මාක් ටේලර් අගනා ලකුණු 164ක් ලබාගත්තේ හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් පිටිය පුරාම එල්ල කරමින්. ඊට අමතරව යළි පිත්තෙන් සාර්ථක වුණු ස්ටීව් වෝ ලකුණු 57ක් ලබාගැනීමට සමත් වුණා.

මාක් ටේලර් (gettyimages)

අරවින්දට තරගයේ වීරයා සම්මානය හිමි වෙයි 

1988-2020 කාල සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කැංගරු බිමේ දී ටෙස්ට් තරග 15ක් ක්‍රීඩා කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන් තරග 13ක් පරාජය ලබන විට ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබෙන්නේ තරග 2ක් පමණ යි. එම ටෙස්ට් තරග 15 සලකා බැලීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු පළමු ඉනිම අභිබවා ලකුණු ලබාගෙන තිබෙන්නේ 1989 බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ දී පමණ යි. මෙම ටෙස්ට් තරගයේ දී අරවින්ද දියත් කළ ඉනිම පිළිබඳවත් වචනයක් සඳහන් කළ යුතුම යි. එදා අරවින්ද පන්දුවට පහරදීමට පැමිණ සුළු වෙලාවකින් පන්දු යවමින් සිටි මර්ව් හියුස්ට උඩපන්දුවක් ලබාදුන්නත් ඔහු අතින් එය ගිලිහී ගියා. එම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජනගත් අරවින්ද අගනා ලකුණු 167ක් ලබාගත්තේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කලකට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කරමින්. එලෙස අරවින්දගේ පිත්තෙන් වාර්තා වුණු සුපිරි ඉනිම නිසා අවසානයේ දී තරගයේ වීරයා සම්මානය ද හිමි වුණා. එදා ඕස්ට්‍රේලියානුවන්ගේ කළ කෙනෙහිලිකම් ඉවසාගෙන ඔවුන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට හැකි වුණු නිසා 1989 බ්‍රිස්බේන් ටෙස්ට් තරගය ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන තරගයක් වනවාට කිසිදු සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- පර්සි 1982 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ගැටුමේ දී (Twitter)

මූලාශ්‍රයයන්- ලොව දිනූ ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග- සම්පත් බණ්ඩාර

Related Articles