Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොවිඩ්-19 එක්ක අපේ රටේ සාක්කුව රකින්නෙ කොහොමද?

2019 දෙසැම්බර් මාසයේ දී චීනයේ, හුබෙයි පළාතේ වුහාන් වැසියන් විශාල පිරිසකට නියුමෝනියාව වැලඳී ඇති බවට වුහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව වාර්තා කළා. අද වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රබල ම අභියෝගය වන නවතම කොරෝනා වෛරසයේ (SARS-CoV-2) ආරම්භය සිදුවුණේ එලෙසින්. ආරම්භයේ දී කිසිදු මරණයක් වාර්තා නොවූ අතර, නියුමෝනියා රෝගීන් පොකුරක් ලෙස යි මෙම වෛරසය හඳුනාගෙන තිබු⁣ණේ. රෝගීන් වාර්තා වූයේත් වුහාන් වෙතින් පමණ යි. මෙම වෛරසය චීන දේශ සීමාවෙන් ඔබ්බට පැතිරීමත් සමඟ ම, රෝගය වසංගතයක් බවට (Epidemic to Pandemic) ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනය කළා. 

2021 ජූලි 06 වනදා වන විට ලොව පුරා COVID – 19 රෝගීන් 184,939,383ක් වාර්තා වූ අතර, ඉන් 169,314,997ක් දෙනා සුවය ලැබූවත් ඒ වන විට වාර්තා වුණු මරණ 4,000,841ක්. පසුගිය ශතවර්ෂය තුළ ස්පැනිෂ් ෆ්ලූ (1918, වාර්තා වූ මරණ සංඛ්‍යාව මිලියන 50), ඒෂියන් ෆ්ලූ (1957, වාර්තා වූ මරණ සංඛ්‍යාව මිලියන 1.1) සහ සාර්ස් (2003, වාර්තා වූ මරණ සංඛ්‍යාව 774) යන වසංගත ඇතුළුව තවත් බොහෝ වසංගතවලින් මුළු මහත් ලෝකය ම පීඩා විඳ තිබුණා. 

කොවිඩ්-19 වසංගතය අපගේ ජීවිතවල තවත් එක් අභියෝගයක් 

ගෝලීය සෞඛ්‍ය වෘත්තිකයන් ‘සාර්ස්’ වෛරසයේ පැතිරීම, මෙවැනි තත්ත්වයන් හි දී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය වැඩි දියුණු කිරීම සඳහා සිහි කැඳවීමක් ලෙස හඳුනා ගත් අතර H1N1, ඉබෝලා සහ Zika කාර්යක්ෂම ව පාලනය කරගැනීම සඳහා සාර්ස් වෙතින් උගත් පාඩම් පලදායී ලෙස ක්‍රියාත්මක කළා. අත්දැකීම් සීමා සහිත වූවත් ස්පැනිෂ් ෆ්ලූ, බ්ලැක් ඩෙත්, A/H1N1 වැනි වසංගත ගැන අප අසා, කියවා තිබෙනවා. ඉබෝලා, කුරුළු උණ වැනි වසංගත ගැන පුවත් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ද වුණා මතක ඇති. එලෙස පොතපතින් දැන උගත්, රූපවාහිනියෙන් දුටු දේවල්වලින් ඔබ්බට ගොස් අද වන විට කොවිඩ්-19 වසංගතය අපගේ ජීවිතවල තවත් එක් අභියෝගයක් කරගෙන යි අප දැන් ජීවත් වෙන්නෙ.

කොවිඩ් සමයේ ශ්‍රී ලංකාවේ ගමනාගමනය – Transparency International

අපි දැන් මොහොතකට වසංගතයන්ගෙන් ඔබ්බට ගොස් පැරණි ආර්ථිකයන් ගැන සලකා බලමු. ස්වයංපෝෂිත ආර්ථිකයන් එසේ නැත්නම්, ‘ඔටාර්කි’ ගැන පුරාණ ඉතිහාසයේ සඳහන් වෙනවා. අප දැන් ජීවත් වන ලෝකයේ ‘ජාත්‍යන්තර ව්‍යාපාර’ යනු එදිනෙදා ජීවිතයේ තවත් එක් අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී හමාරයි. ආර්ථිකයක් සුමට ව තවදුරටත් ඉදිරියට යාමට නම් භාණ්ඩ, සේවා, තාක්‍ෂණය, ප්‍රාග්ධනය සහ දැනුම යන දෑ දේශසීමා ඉක්මවා ගොස් ගනුදෙනු කිරීම අත්‍යවශ්‍ය යි. මෙහි අවසාන ප්‍රතිඵලයක් ලෙස විවිධ ආර්ථික අතර ඊට ම ආවේණික අනන්‍යතා ගොඩනැගී තිබෙනවා. ආර්ථිකයන් වැඩි වැඩියෙන් ජාත්‍යන්තර ව්‍යාපාරවලින් සමන්විත වන විට මෙය වඩාත් කැපී පෙනෙනවා. මේ අනුව, එක් ආර්ථිකයක සුළු සිදුවීමක් පවා ඉක්මනින් ගෝලීය අර්බුදයකට පෙරළීමේ ඉඩකඩ ඉතාමත් වැඩි යි.

තරගකාරී නොවන වෙළඳ ස්ථාවරය

පසුගිය දශක දෙක තුළ තරගකාරී නොවන වෙළඳ ස්ථාවරය නිසා ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය අඛණ්ඩ ව ඍණාත්මක අගයක් ගත්තා. අපේ රටේ ප්‍රධාන අපනයන ගමනාන්ත යුගල වන යුරෝපා සංගමය සහ  අමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 පළමු රැල්ලට දැඩි ලෙස නිරාවරණය වීම නිසා, එය ශ්‍රී ලංකා ආර්ථිකයට අහිතකර ලෙස යි බලපෑවේ. අනෙක් රටවලට සාපේක්ෂ ව කොවිඩ්-19 පළමු රැල්ලට සාර්ථක ව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි වුණත්, රජය ගත් එම කඩිනම් පියවරත් සමඟ ම සංචාරක, නිෂ්පාදන සහ ප්‍රවාහනය ක්ෂේත්‍ර කෙරෙහි කිසියම් ඍණාත්මක බලපෑමක් ඇති වුණා. 

ගෝලීය ඉල්ලුම බිඳවැටීම නිසා ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයට ද යම් අහිතකර බලපෑම් එල්ල වුණා. 2020 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 3.6ක හැකිලීමක් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වෙනවා. අපනයන පහත වැටීමට සාපේක්ෂ ව ආනයන විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වාර්තාගත වෙළඳ හිඟයන් සාර්ථක ව අවම කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. සමුච්චිත පදනමක් මත, 2019 දී අමෙරිකානු ඩොලර් බිලියන 7.997ක් වූ වෙළඳ හිඟය, 2020 දී අමෙරිකානු ඩොලර් බිලියන 5.978ක් දක්වා අඩු වී තිබුණා.

Sri Lankan Health Care Professionals During Vaccination
සෞඛ්‍ය සේවා වෘත්තිකයින් කොවිඩ් එන්නත්කරණයේ යෙදෙන අවස්ථාවක්  – usnews.com 

උපාය මාර්ගික ව ජයගත යුතු අභියෝග කිහිපයක්

ස්වෛරී ජාතියක් සහ ආර්ථිකයක් වශයෙන් අප උපාය මාර්ගික ව ජයගත යුතු අභියෝග කිහිපයක් ලෙස; ‘තුන්වන රැල්ල’ හරහා ගමන් කළ ශ්‍රී ලංකාවට ‘හතරවන රැල්ලකට’ මුහුණ දීමට සිදුවෙයි ද? ශ්‍රී ලංකාවේ වර්තමාන ආනයන බාධක තවත් කොතරම් කාලයක් පවත්වා ගැනීමට ‍රජයට හැකි වෙයි ද? ගෝලීය වෙළඳාමේ පීඩනයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ උපාය මාර්ග මොනවාද? අපනයන හා සංචාරක කර්මාන්තය කෙතරම් පලදායී ලෙස ඉහළ නැංවීමට අපට හැකි වෙයි ද? වඩාත් ම වැදගත් දෙය නම්, ලෝකයේ ම පැසසුම්ලත් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ කොවිඩ්-19 ව්‍යාප්ති පාලනය තවදුරටත් පවත්වා ගන්නේ කෙසේ ද? ආදී කරුණු දැක්විය හැකි යි.

Sri Lankan Health Care Professionals taking a PCR sample
සෞඛ්‍ය සේවා වෘත්තිකයකු PCR සාම්පලයක් ලබා ගන්නා අවස්ථාවක් –www.xinhuanet.com

මෙම තීරණාත්මක හා අභියෝගාත්මක කාල පරිච්ඡේදය ජයගැනීමට පළමුවෙන් ම හා ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, සාමාන්‍ය ජනතාව හා එක්ව සහයෝගයෙන් ඉහළ යන කොවිඩ්-19 වක්‍රය පහළ ගෙන ඒමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු යි. අවශ්‍යතා සහිත සමාජ ඒකකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් එන්නත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩ ව පවත්වා ගෙනයාම මෙහි තවත් අත්‍යවශ්‍ය පියවරක්. වසංගතය සෞඛ්‍ය අංශවල පාලනයෙන් බැහැර වුවහොත්, වර්තමානයේ දී ඉන්දියාව පසු කර යාමට අරගල කරන ඛේදජනක අවධිය ශ්‍රී ලංකාවට ද අත්විඳීමට සිදුවෙනවා. දෙවනුව, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සම්පාදකයන් අපනයන හා සංචාරක කර්මාන්තවල ස්වාභාවික වාසියට වඩා තරගකාරී වාසියක් ලබාගැනීමට සුදුසු ප⁣රිදි ප්‍රතිපත්ති සැලසුම් කළ යුතු යි. 

හොඳ අභ්‍යන්තර ආස්තරණයක් නිර්මාණය 

අද ලෝකයේ ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගන්නා ජාතීන්, පාරිසරික විචලනයන්ට අනුව විවිධ ප්‍රවේශ අනුගමනය කරමින් ඔවුන්ගේ වෙළඳ ප්‍රතිපත්ති උපාය මාර්ගික කරගෙන තිබෙනවා. තෙවනුව, බාහිර කම්පනවලට මුහුණ දීම සහ අවදානම අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකාව හොඳ අභ්‍යන්තර ආස්තරණයක් නිර්මාණය කළ යුතු යි. දේශීය නිෂ්පාදනය හා ඉල්ලුම ශක්තිමත් කිරීමෙන්, යැපීමේ මට්ටම අවම කරගත හැකි අතර එමගින්, ජාත්‍යන්තර වෙළඳාමේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ රඳා පැවැත්ම අඩුකොට අන්තර් රඳා පැවැත්ම වැඩි දියුණු වෙනවා.

 ආනයන පාලන හා සම්බාධක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සම්පාදකයන් වර්තමාන ආනයන ව්‍යුහය හොඳින් විශ්ලේෂණාත්මක ව අධ්‍යයනය කරන අතර ම, තෝරාගත් ආනයන ආදේශනය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණාත්මක උපාය මාර්ගත් ඉදිරිපත් කළ යුතු වෙනවා. මේ අභියෝගාත්මක කාලච්ඡේදය තුළින් ගමන් කරන ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉරණම තීරණය කිරීමෙහිලා ඉහත ප්‍රශ්න හා විසඳුම් විශාල කාර්යභාරයක් ඉටුකරනවා.

 

මෙම ලිපියේ රචකයා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජාත්‍යන්තර ව්‍යාපාර අධ්‍යයන අංශය සහකාර කථිකාචාර්යවරයෙකි.

කවරයේ ඡායාරූපය: -- කොරෝනා වෛරසය හා පෘථිවිය  - BBC

මූලාශ්‍ර: 

worldbank.org

cbsl.gov.lk 

 

Related Articles