අපේ රටේ සමාජ ව්‍යවසායකයන් දිරි ගන්වන බලවේගය – ඇත් පවුර

අපේ රටට අද කාලේ වඩාත් අවශ්‍ය වෙලා තියෙන්නේ ව්‍යවසායකයන් කියන එක ගැන කිසිම තර්කයක් නෑ. පාසල් අධ්‍යාපනය හදාරලා, උසස් අධ්‍යාපනය ලබලා, තනි රැකියාවක් කරගෙන ජීවත් වෙන සාම්ප්‍රදායික මොඩල් එක අද කාලෙට ගැළපෙන්නේ හරිම කලාතුරකින්. අපේ අවශ්‍යතා සංකීර්ණ වීමත් එක්ක බොහෝ රැකියාවලින් ලබන වැටුප මූලික කියලා සලකන අවශ්‍යතා සපුරා ගන්නවත් ප්‍රමාණවත් නැති තරම්. රැකියා හොයා ගන්නත් ලේසි නැහැ, අවශ්‍ය සුදුසුකම් හදාගන්න වැය වන මුදල ආපසු ලබා ගන්නම අවුරුදු ගණන් ගත වෙනවා.

එකම විදිහේ වැඩක් හැමදාම කර කර ඉන්න සිද්ධ වෙන රැකියාවලට හිර වීම ගැනත් වැඩි දෙනා ඉන්නේ සතුටින් නෙවෙයි. ඒ වගේ තත්වයක් තියෙනකොට තමයි ව්‍යවසායකත්වය කියන දේ ඉතා වැදගත් වෙන්නේ. මේ අතරින් ශ්‍රී ලංකාව වගේ රටකට වඩාත් වැදගත් වෙන්නේ සමාජ ව්‍යවසායකයන්, මොකද අද අපේ රටේ ලාභය මූලික කරගෙන භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කිරීමට වඩා මිනිසුන්ට රැකියා සපයන, මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවන්න ඍජුවම උර දෙන ව්‍යාපාර තමයි කාලීන අවශ්‍යතාවක් වෙලා තියෙන්නේ.

සමාජ ව්‍යවසායකත්වයේ සැබෑ වැදගත්කම

මේ කුණුවලින් මුදල් මවන්න පුළුවන් නම්. (Flickr.com)

නිකමට හිතන්න සම්පූර්ණයෙන් යාන්ත්‍රික වුණු කර්මාන්තශාලාවක් ගැන. පිටරටින් ආනයනය කරන අමුද්‍රව්‍යවලින් තනිකරම යන්ත්‍ර භාවිතයෙන් නිමි භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් යම් ප්‍රදේශයක ආරම්භ කළා කියලා ඒ ප්‍රදේශයට හිමි වන ප්‍රතිලාභ ඉතාම අඩුයි. සමහරවිට ඒ වගේ ව්‍යාපාරයක් අවට මිනිසුන්ට ලොකු කරදරයක් වෙන්න පවා ඉඩ තියෙනවා. තනිකරම වගේ ලාභ ලැබීමේ අරමුණෙන් පිහිටුවන ඒ වගේ ව්‍යාපාරයක් කරන්න හිතන කෙනෙක් නිකන්ම ව්‍යවසායකයෙක් විතරයි.

නමුත් සමාජ ව්‍යවසායකයෙක් කියන්නේ ඊට වඩා බොහොම පුළුල්ව හිතන, ප්‍රදේශයේ සහ සමාජයේ කාටත් වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන්න හිතන කෙනෙක්ට. මේකෙන් අදහස් වෙන්නේ ආධාර ලබන NGO එකක් හරි, පුණ්‍ය ආයතනයක් හරි පවත්වාගෙන යන එක, සමාජ සේවයම පමණක් කරන එක වගේ දෙයක් නෙවෙයි. ව්‍යවසායකයෙක් විදිහට ලාභ ලැබිය හැකි, දියුණුවට පත් විය හැකි සාර්ථක ව්‍යාපාරයක් ගැන හිතන එක අත්‍යාවශ්‍යයි. ඒත් තනිකරම ලාභය, ආදායම සහ වෙළඳාම ගැන හිතනවාට වඩා රැකියා උත්පාදනය, සමාජයට වැඩදායී බව, පවතින ගැටළුවකට පිළියම් යෙදීම, ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම කියන පැති ගැනත් හිතලා ව්‍යාපාරික සංකල්පයක් ගොඩ නැගිය හැකි ව්‍යවසායකයෙකුට තමයි සමාජ ව්‍යවසායකයෙක් කියන්නේ.

“ඇත් පවුර” කියන්නේ මේ වගේ අය දිරි ගන්වන වැඩසටහනක්

අද ලෝකයේ විසඳන්න ප්‍රශ්න නම් ඕන තරම්. කුණු බැහැර කිරීම ගැන තියෙන ප්‍රශ්නය, ඩෙංගු රෝගය පැතිරීමේ ප්‍රශ්නය, අලි මිනිස් ගැටුම්, බලශක්තිය සපයා ගැනීමේ ගැටළු වගේ මේ දවස්වල නිතර අහන්න ලැබෙන දේවල්වල ඉඳලා ටිකක් ගැඹුරට හොයලා බැලුවොත් විසඳා ගන්න අවශ්‍ය දේවල් තව බොහෝමයි.

සමාජ අසාධාරණය, විරැකියාව, දරිද්‍රතාව, අවස්ථා අහිමි වීම, ජාති-ආගම් ගැටුම්, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, දුප්පත්කම, අධ්‍යාපන අවස්ථා නැතිකම, විරැකියාව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නානාවිධ ගැටළු, බුද්ධි ගලනය, වස-විස සහිත ආහාර, ජලය සපයා ගැනීමේ ප්‍රශ්න, විදුලිබල උත්පාදනය, අනාරක්ෂිත නිවාස, ස්වභාවික විපත්, දේශගුණ විපර්යාසය, සමාජ අසාධාරණය, වන විනාශය, සතුන් වඳ වීම, පරිසර දූෂණය, සමුද්‍ර දූෂණය, වායු දූෂණය, සත්ත්ව හිංසනය, වංචා හා දූෂණ, යහපාලනය නොමැති කම සහ ත්‍රස්තවාදය අැතුළු ගැටළු නිසා කී දෙනෙක් නම් පීඩා විඳිනවාද? නිකමට හිතලා බලන්න.

මේ වගේ යම් අංශයක තිබෙන ගැටළුවකට හොඳ විසඳුමක් සපයන අතරේ සාර්ථක ව්‍යාපාරික සංකල්පයක් ගොඩ නගන්න පුළුවන් නම් ඒක තමයි “ඇත් පවුර” වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ.

ඇත් පවුර වැඩසටහන ITN නාලිකාවේ ළඟදීම විකාශය වනු ඇත.

“ඇත් පවුර” කියන්නේ ඇත්තටම ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන්න නියමිත රියැලිටි වැඩසටහනක්. රියැලිටි කියන වචනය අහපු ගමන් වැඩි දෙනා මේක ගැන වැරදි විදිහේ වැටහීමක් ලබා ගන්නත් ඉඩක් තිබෙනවා. මේක අපි හැමදාම දකින විදිහේ මොකක් හරි හැකියාවක් වෙනුවෙන් ලොකු තෑග්ගක් දෙන ජාතියේ වැඩසටහනක් නම් නෙවෙයි. ඊට වඩා බොහෝ පුළුල් දැක්මක් සහිත, ජනප්‍රිය කෙනෙක් බිහි කරනවාට වඩා රටට සැබවින්ම වැඩදායී කෙනෙක් බිහි කරන්න කරන උත්සාහයක්.

එක එක හරබර වචන දාලා “අළුත්ම අත්දැකීමක්” ලබා දෙන්න කතා කරලා එක වගේම දේවල් කරන රියැලිටි වැඩසටහන්වලට “ඇත් පවුර” සැබෑවටම අළුත් ආදර්ශයක් වේවි.

වැඩසටහන ක්‍රියාත්මක වෙන විදිහ

වයස අවුරුදු 14ට වැඩි ඕනෑම කෙනෙකුට දැන්මම “ඇත් පවුර” වෙබ් අඩවියට ගිහින් තමන්ගේ නම, ඊමේල් එක සහ දුරකථන අංකයක් ලබා දීලා මේ තරඟයේ අයැදුම්පත ලබා ගන්න පුළුවන්. ජූලි 30 වැනිදාට පෙර ඒක නිසි පරිදි සම්පූර්ණ කර එවලා තරඟයට ඇතුළත් වෙන්න පුළුවන්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන් කැමති එකක් භාවිත කරන්න ඔබට නිදහස තිබෙනවා. ඉතින් ලංකාවේ පැවැත්වෙන බොහෝ ව්‍යාපාරික තරඟවලදී වගේ භාෂා හැකියාව මත ඔබේ අදහසේ වටිනාකම තීන්දු වේවි කියලා බය වෙන්න අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි දැනගෙන ඉන්න අවශ්‍යම නැහැ, මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නෙත් බොහෝ දුරට සිංහල භාෂාවෙන්මයි. (අවශ්‍ය තැන්වලදී දෙමළ සහ ඉංග්‍රීසි භාවිත වෙනවා)

Social Enterprise Lanka ආදි කතෘ එරන්ද ගිනිගේ මහතා තිරසාර සංවර්ධනය පිලිබඳ වැඩමුළුවක් කරමින්

ඒ විදිහට එවන අයැදුම්පත් අතරින් අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගැනෙන තරඟකරුවන් 100 දෙනෙක් තමයි මේ තරඟයට ඇතුළත් කර ගැනෙන්නේ. ඉන් පස්සේ කොළඹදී පැවැත්වෙන දෙදින වැඩමුළුවකට සහභාගී වෙලා තමන්ගේ අදහස ව්‍යාපාරයකට සුදුසු විදිහට ඔප මට්ටම් කරගන්නා හැටි ඉගෙන ගන්න පුළුවන්. ඒ දැනුමෙනුත් සන්නද්ධ වෙලා තමන්ගේ සමාජ ව්‍යාපාර සංකල්පය හැඩගස්වාගෙන ඉන් පස්සේ ආයෝජකයන් ඉදිරියේ එය පැහැදිලිව ඉදිරිපත් කරන්න අවශ්‍යයි.

ඔබේ අදහස, එහි ව්‍යාපාරික සාර්ථකත්වය වගේ කාරණා දිහා බලලා ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කරන්න ඔවුන් සූදානම්. එක්කෝ පොලී සහිත ණය මුදලක් විදිහට හරි, එහෙමත් නැතිනම් ඔබේ ව්‍යාපාරයේ කොටස් ප්‍රතිශතයක් හරි ඔවුන්ට ලබා දීලා හරි ඔවුන් පිරිනමන ප්‍රාග්ධනය ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්න ඔබට පුළුවන්. අවමය රුපියල් 250,000ක් හා උපරිමය 2,500,000ක් කියන සීමාවට යටත්ව සුදුසු ප්‍රාග්ධනයක් පිරිනමන්න ඔවුන් ඒ අනුව තීරණය කරාවි. මුදල් විතරක් නෙවෙයි, ඉතා සාර්ථකව ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය ගුරුකරුකම්, අත්දැකීම් වගේම ව්‍යාපාරික දැන හැඳුනුම්කම් ලබා ගන්නත් මෙය හොඳ අවස්ථාවක්.

හොඳට මතක තියා ගන්න මේක ලොකු උත්සවයක් තියලා සල්ලි හරි, වෙනත් තෑග්ගක් හරි දෙන වැඩසටහනක් නෙවෙයි. මේක ඔබට සාර්ථක, සමාජයට වැඩදායී ව්‍යාපාරයක් කරගෙන යන්න ආයෝජනයක් එක්ක ආරම්භය ලබා දෙන වැඩසටහනක්.

මුල් 100 දෙනා අතරට නොතේරුණු අයට පවා ආයෝජකයන් වෙත තම අදහස් ඉදිරිපත් කරන්න යම් අවස්ථාවක් ලබා දෙන්න සංවිධායකවරුන් කටයුතු කරනවා. අනාගතයේ පැවැත්වෙන අදියරවලට වඩාත් හොඳින් මුහුණ දෙන්න ඔබ ලබා ගන්න අත්දැකීම ඉවහල් වේවි.

සංවිධාන ශක්තිය සහ වැඩිදුර තොරතුරු

ඇත් පවුර සමාරම්භක කතාව ඉදිරිපත් කරන Lanka Impact Investing Network හි සභාපති චන්දුල අබේවික්‍රම මහතා. (dailynews.lk)

මේ වැඩසටහන සඳහා මූලිකත්වය අරගෙන සංවිධාන කටයුතු සිදු කරන්නේ ශ්‍රී ලංකා සමාජ ආයෝජකයන්ගේ ජාලය (Lanka Impact Investing Network) සහ ශ්‍රී ලංකා සමාජ ව්‍යවසායක ආයතනයයි. (Social Enterprise Lanka) ශ්‍රී ලංකාවේ අනාගතයට සමාජ ව්‍යවසායකයන්ගේ ඇති වැදගත්කම ගැන හොඳින්ම හඳුනන ආයතන දෙකක් විදිහට ඔවුන් අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. ස්වාධීන රූපවාහිනී සේවය (ITN නාලිකාව) තුළ රියැලිටි තරඟාවලියක් විදිහට පැවැත්වෙන මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ හැටන් නැෂනල් බැංකුව (HNB) සහ හොරයිසන් කැම්පස් එකයි. නිල සන්නිවේදන සහකරු විදිහට ඩයලොග් ආසියාටා ආයතනයත්, නිල මුද්‍රිත මාධ්‍යය විදිහට විජය ප්‍රවෘත්ති සමාගමත් එක්ව සිටිනවා.

ඔබට මේ තරඟාවලිය ගැන වැඩිදුර තොරතුරු දැනගන්න මෙතැනින් පුළුවන්. යම් ගැටළුවක් තිබෙනවා නම් මුලින්ම නිතර අසන ප්‍රශ්න ලැයිස්තුව කියවලා බලන්න. තවදුරටත් නොවිසඳුණු ගැටළුවක් තිබෙනවා නම් 0773-700777 දුරකථන අංකයෙන් හරි [email protected] ඊමේල් ලිපිනයෙන් හරි අහලා දැනගන්න පුළුවන්.

“ඇත් පවුර” වැඩසටහනේ ෆේස්බුක් පිටුව, ට්විටර් ගිණුම සහ යූටියුබ් නාලිකාව එක්කත් එකතු වෙලා මේ තරඟාවලිය ගැන අළුත්ම තොරතුරු ගැන අවධානයෙන් ඉන්නත් අමතක කරන්න එපා.

රටට සැබෑවටම වැඩදායක රියැලිටි තරඟයක්

හැමදාමත් රස්සා නැහැ කියලා ආණ්ඩුවට බනින අය වෙනුවට අනිත් අයටත් රැකියා ලබා දෙන්න හිතන, රටේ පවතින ගැටළුවලට නිර්මාණශීලී, සාර්ථක විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන්, හොඳ ව්‍යාපාරික සහ ව්‍යවසායක බුද්ධියක් තියෙන අය ඕනෑ තරම් ශ්‍රී ලංකාවේ ඉන්නවා. මේ තරඟයෙන් උත්සාහ කරන්නේ ඒ වගේ අයට ඉදිරියට එන්න අවස්ථාව සලසන එකයි. අපේ රටට සැබවින්ම අවශ්‍ය වෙන්නෙත් එවැන්නන්. හැමදාමත් ජනප්‍රිය අය බිහි කරන්න උත්සාහ කරන තරඟ අතරේ රටට ඵලදායී කෙනෙක් බිහි කරන “ඇත් පවුර” සුවිශේෂී එකක් වෙනවා නොඅනුමානයි.

Roar අපිත් මේ වටිනා උත්සාහය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ මේ තරඟයට ඉදිරිපත් වෙන්න කියලා අපේ පාඨකයන්ගෙන් ඉල්ලීමකුත් කරනවා. මේ ලිපිය වැදගත් වේ යැයි හිතෙන කාගේත් දැන ගැනීම සඳහා Share කරන්නත් අමතක කරන්න එපා.

කවරයේ රූපය : athpavura.com


Related Articles