Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආනන්ද-නාලන්දා සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය

89 වන ආනන්ද-නාලන්දා සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය මෙවර කොළඹ SSC සමාජයේ දී මාර්තු මස 3 සහ 4 දෙදින පුරා පැවැත්වීමට නියමිත යි. මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මහා ක්‍රිකට් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කළ ප්‍රථම බෞද්ධ පාසල් දෙක ආනන්දය සහ නාලන්දාව යි. ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ටෙස්ට් ක්‍රීඩකයින් 31කට අධික සංඛ්‍යාවක් (ආනන්ද – 17, නාලන්දා 14) යොමුකිරීමට ද මේ පාසල් දෙකට හැකි වූ අතර එය ද වාර්තාවකි.

Daily News

ඉතිහාසය

මෙම පාසල් දෙක අතර ප්‍රථම වරට ක්‍රිකට් තරඟයක් පැවැත්වෙන්නේ 1924 වසරේ මාර්තු මස 28 සහ 29 දෙදින තුල යි. කෙසේ වෙතත් 1942, 1943, 1944, 1945 (දෙවන ලෝක යුද්ධය), සහ 1948 (බ්‍රිතාන්‍යය කිරීටයෙන් නිදහස් වීම) හේතුවෙන් එම වසර කීපය තුල දී සුලෝහිත සංග්‍රාමය පැවැත්වීමට නොහැකි විය. ප්‍රථම තරඟයේ දී නායකයින් ලෙස A.P. රාජකරුණා සහ B.S. පෙරේරා කටයුතු කළ අතර එම තරඟය ජය පරාජයකින් තොරව අවසන් විය. ඊට හේතුව වූයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා වීම නිස යි. ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩා කළ N.M. පෙරේරා පසු කලෙක මෙරට අමාත්‍යවරයෙක් ලෙසට ද තේරී පත් විය.

මේ පාසල් දෙක අතරින්, එවකට මෙරට ක්‍රිකට් කණ්ඩායම වූ “All-Ceylon” පිල නියෝජනය කළ ප්‍රථම ක්‍රීඩකයින් දෙදෙනාම නාලන්දීයයන් වීම විශේෂත්වයකි. මේ ක්‍රීඩකයින් දෙදෙනා  B.S. පෙරේරා සහ N.D. විජේසේකර වු අතර ඔවුන් 1932/33 ඉන්දියානු සංචාරය සඳහා සිලෝන් පිල නියෝජනය කරන ලදී.

Nalanda College Alumni

සුලෝහිත සංග්‍රාමයේ විශේෂ වාර්තා

කණ්ඩායමක් ඉනිමක රැස්කළ වැඩිම ලකුණු ගණන

ආනන්ද විද්‍යාලය – 329 – 2006 වසරේ දී

නාලන්දා විද්‍යාලය – 290 – 1954 වසරේ දී

ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ගණන

ආනන්ද විද්‍යාලය – තිලින කණ්ඩම්බි 144 – 1999 වසරේ දී

නාලන්දා විද්‍යාලය – ශාන්ත කලවිටිගොඩ 149 නොදැවී – 1997 වසරේ දී

ඉනිමක හොඳම පන්දු යැවීම

ආනන්ද විද්‍යාලය – P.W. පෙරේරා – 8/51 – 1940 වසරේ දී

නාලන්දා විද්‍යාලය – යොහාන් ගුණසේකර – 8/32 – 1976 වසරේ දී

ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ශතක 11ක් වාර්තා වී ඇති අතර අවසන් වරට සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ ශතකයක් වාර්තා කළ පිතිකරු වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් (100 නොදැවී) වේ. නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ශතක 13ක් වාර්තා වී ඇති අතර අවසන් ශතකලාභියා T. අත්තනායක (102) යි.

වර්තමාන ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් – Credit – AFP

අවසන් වරට ඉනිමක කඩුලු 5ක් දවාගත් ආනන්දීය පන්දු යවන්නා සචිත්‍ර පෙරේරා (6/36) වන අතර නාලන්දීය පන්දු යවන්නා R. කුරේ (5/54) වේ. දෙදෙනාම මේ දස්කම් දැක්වූයේ 2010 වසරේ දී වීම විශේෂත්වයකි.

ආනන්ද සහ නාලන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ සුවිශේෂී ක්‍රීඩකයින්

ආචාර්යය N.M.පෙරේරා – පසු කලෙක ලංකා සමසමාජ පක්ෂය පිහිටුවාගත් අතර ප්‍රථම සුලෝහිත සංග්‍රාමය නියෝජනය කළ ක්‍රීඩකයෙක් ද විය.

G.P. සුමනදාස  – ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ G.P. සුමනදාස පසුව මෙරට හොකී කණ්ඩායම නියෝජනය කරමින් 1935 වසරේ දී ඉන්දියාවට එරෙහිව තරඟ වැදනු අතර, CR&FC කණ්ඩායම නියෝජනය කළ දක්ෂ රග්බි ක්‍රීඩකයෙක් ද විය.

බන්දුල වර්ණපුර, මධුර වර්ණපුර, සහ මාධව වර්ණපුර – සුලෝහිත සංග්‍රාමයේ නාලන්දා විද්‍යාලයෙන් සුවිශේෂී වාර්තාවක් පිහිටුවා ඇත. ඒ, පියා සහ පුතුන් දෙදෙනෙක් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීම යි. එම වාර්තාව හිමිකර දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් නායක බන්දුල වර්ණපුර (1971) සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන මධුර වර්ණපුර (2004) සහ මාධව වර්ණපුර (2008) යි.

අර්ජුන රණතුංග – 1996 එක්දින ලෝක කුසලානය දිනූ නායකයා වන අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ සුවිශේෂී ක්‍රීඩකයෙකි. ඒ, ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරඟයට ද ක්‍රීඩා කළ නිසා යි. අර්ජුන ගේ සහෝදරයින් වූ ධම්මික, සංජිව, සහ නිශාන්ත ද සුලෝහිත සංග්‍රාමයේ ක්‍රීඩා කළ සහ පසුකලක ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වූහ.

මහේල ජයවර්ධන – ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දකුණත් පිතිකරුවෙකු විසින් රැස්කරගත් වැඩිම පෞද්ගලික ලකුණු ගණනේ වාර්තාවට හිමිකම් කියන පිතිකරුවා යි.

හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන – Credit – Associated Press

මාවන් අතපත්තු – වරක් ලොව හොඳම එක්දින නායකයා ලෙස ද පත් වූ මාවන් ටෙස්ට් ද්විත්ව ශතක 6කට හිමිකම් කියූ ක්‍රීඩකයෙකි.

රොෂාන් මහානාම – මෙරට ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂතම පන්දු රකින්නෙක් ලෙස නම් දරා සිටි රොෂාන් මහානාමගේ සොහොයුරු දේවක මහානාම ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් දස්කම් පෑ ක්‍රීඩකයෙකි. රොෂාන් සහ දේවක සොහොයුරන්ගේ පියා උපාලි මහානාම ද සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කර ඇත.

ආනන්ද-නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ තොරතුරු වාර්තා කරමින් 1960 වසරේ දී කරුණාරත්න අබේසේකර මහතා ගුවන්විදුලිය හරහා සිංහල බසින් පැයක කාලයක් විස්තර විචාරයක යෙදීන. ඉන් පසු වසර දෙකේ දී එවැන්නක් වාර්තා නොවුනත් 1963 වසරේ දී කරුණාරත්න අබේසේකර සමඟ පාලිත පෙරේරා එක්වෙමින් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සජීවී විස්තර විචාරයක යෙදෙමින් සුලෝහිත සංග්‍රාමය සුවිශේෂී සංධිස්ථානයකට ගෙන ඒමට සමත් වූහ.

පැවති සියලුම තරඟ සලකා බැලීමේදී ආනන්ද විද්‍යාලය ජයග්‍රහණ 14ක් ද නාලන්දා විද්‍යාලය ජයග්‍රහණ 5ක් සමඟ මෙවරත් කරට කර සටනක නිරත වනු ඇත. ආනන්ද විද්‍යාලය 2003 වසරේ දී අවසන් වරට පූර්ණ තරඟ ජයග්‍රහණයක් වාර්තා කළ අතර නාලන්දා විද්‍යාලයේ අවසන් පූර්ණ තරඟ ජයග්‍රහණය වාර්තා වෙන්නේ 1953 වසරේ දී ය.

මෙවර ආනන්ද විද්‍යාලයේ නායකයා ලෙස අසේල සිගේරා ද නාලන්දා විද්‍යාලයේ නායකයා ලෙස ලක්ෂිත රසාංජන ද කටයුතු කරනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ උපායශීලි බව, උද්යෝගිමත් බව, තරඟකාරීත්වය යන සියල්ලම පරීක්ෂණයට බඳුන් වන ආනන්ද සහ නාලන්දා සුලෝහිත සංග්‍රාමය පාසල් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සලකුණකි.

Cover – Facebook

මුලාශ්‍ර :

  1. Battleofthemaroons.lk
  2. The Janashakthi Book of Sri Lanka Cricket by S.S. Perera

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ MILO අනුග්‍රහයෙනි.

Related Articles