Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොණ්ඩේ යන්නයි, තට්ටේ පෑදෙන්නයි හේතු වන කාරණා දැන ගනිමු

තරුණ වයසේ ජීවත් වෙන වැඩි දෙනෙක් තමන්ගේ හිසකෙස් ලස්සනට පවත්වාගෙන යන්න උනන්දු වෙනවා. කෙනෙක්ගේ මුහුණට අලංකාරය වගේම ආකර්ෂණීය බවකුත් එක් කරන්න හිසකෙස් වලින් ලැබෙන්නේ ලොකු උදව්වක්. අපි කාටත් උපතින්ම හිමි වන හිසකෙස් ආරක්ෂා කර ගන්නත්, ලස්සනට තියා ගන්නත් අපි මතක තබා ගත යුතුයි. නමුත් වැඩි දෙනා ලස්සන වෙන්න කියලා නිතර කරන දේවල් හිසකෙස්වල දිගුකාලීන පැවැත්මට ගොඩාක් හානිකර වෙන්න පුළුවන්. හිසකෙස්වලට හානි වීමේ ප්‍රධාන ප්‍රතිඵලය වෙන්නේ හිසකෙස් විශාල ලෙස ගැලවී ගිහින් තට්ටය පෑදීම ආරම්භ වෙන එකයි.

පිරිමි අයගෙන් සමහරුන්ට නම් තට්ටයක් තිබීම වඩාත් අලංකාර වෙන විදිහේ රූපයක් පිහිටා තිබෙනවා. ලංකාවේ වගේම ලොව පුරාම ඉන්න නළුවන්, ක්‍රීඩකයන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් බොහෝ දෙනෙක් හිතාමතාම හිසකෙස් සම්පූර්ණයෙන්ම කපා දැමීම ආකර්ෂණීය විලාසිතාවක් බවට පත් කරගෙනයි ඉන්නේ. ඒත් කාන්තාවන්ට නම් ඒ සහනය නැහැ. සාම්ප්‍රදායිකවම හොඳ කොණ්ඩයක් පැවතීම කාන්තාවකට අත්‍යාවශ්‍යයි කියලා පිළිගැනීමක් තියෙනවා.

තට්ටයකට සුදුසු නැති පෙනුමක් තිබෙන පිරිමි අයටත් තට්ටය පෑදීම ගැටළුවක්. තට්ටය සම්පූර්ණයෙන්ම පෑදීම විතරක් නෙවෙයි, හිසකෙස් තුනී වීම, හිසකෙස්වල වැස්ම අවම වීම, ඉක්මනින් කෙස් සුදු වීම ඇතුළු ගැටළු ගණනාවක් තියෙනවා. කාන්තාවන් බොහෝ දෙනෙක්ටත් නිතර කෙස් ගැලවී යාම, කෙස් ප්‍රමාණය අඩු වීම ඇතුළු හිසකෙස් ආශ්‍රිත ප්‍රශ්න බොහොමයි. ඇතැම් අවස්ථාවල හිසකෙස් සම්බන්ධ ගැටළු නිසා මානසික රෝග ඇති වන බවටත් සාක්ෂි තිබෙනවා.

තට්ටය තියෙන එක ලස්සන පිරිමි අයට නම් අවුලක් නෑ. (radaronline.com)

ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ හිසකෙස් ගැලවී යාමේ ගැටළුවට පවතින විසඳුම් ගැනයි.

හිස කෙස් ගැලවී යාමට ප්‍රධාන හේතු

සාමාන්‍යයෙන් අපි ආරය කියලා හඳුන්වන පාරම්පරික හේතූන් සහ විවිධ නරක පුරුදු තමයි හිසකෙස් ආශ්‍රිත ගැටළුවලට ප්‍රධානතම හේතු විදිහට සැලකෙන්නේ. (පාරම්පරිකව හිසකෙස් යාමේ ගැටළුවක් තිබීම Pattern Baldness කියලයි හඳුන්වෙන්නේ.) කාන්තාවන්ට නම් ගර්භණී සමයෙන් පසුව සති කිහිපයක් හිසකෙස් ගැලවීම වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම විවිධ රෝග සහ ආබාධ නිසාත් හිසකෙස්වල ගැටළු මතු වෙන්න පුළුවන්. මීට අමතරව වෙනත් රෝග සඳහා ලබා ගන්නා ප්‍රතිකාරවල අතුරු ආබාධයක් විදිහටත් හිසකෙස් ආශ්‍රිත ගැටළු හටගන්නවා.

මෑත කාලයේ පවතින තවත් ගැටළුවක් තමයි කාර්යබහුල ජීවන රටාව. බොහෝ දෙනා රාත්‍රී කාලයේ නෑමට පුරුදු වී සිටීම, ක්ලෝරීන් අධිකව යෙදූ නළ ජලය භාවිතය සහ රාත්‍රියේ සීතල නිසාම උණු වතුරෙන් නාන්නට පෙළඹීම ඒ අතරින් ප්‍රධානයි. සමහරුන්ට නම් දවස පුරාම අධික අව්වේ වැඩ කිරීම, හිස් පළඳනා බොහෝ වේලාවක් පැළඳ සිටීමට සිදු වීම වගේ ගැටළුත් තියෙන්න පුළුවන්. අනෙක් අතට දවස පුරාම වායු සමීකරණය කළ, කෘත්‍රීම අාලෝකය පමණක් අැති ස්ථානවල ඉන්න එකත් හිසකෙස්වලට ඒ තරම් හොඳ නැහැ.

ස්වභාවික ආලෝකය නොලැබෙන විජලනය වූ වාතයෙන් පිරුණු ඔෆිස් වල දවස ගෙවීම හිසකෙස්වලට හොඳම නෑ. (abc.net.au)

හිසකෙස් ආශ්‍රිත විලාසිතා සඳහා සහ හිසකෙස් අලංකාර කිරීම සඳහා පාවිච්චි කරන විවිධ ක්‍රම නිසාත් කෙස්වලට හානි සිදු වෙනවා. විවිධ ආලේපන වර්ග භාවිතය සහ ඒවා දිගු කාලයක් ඉවත් නොකර තබා ගැනීමත් මේකට හේතුවක්. ඊට අමතරව හිසකෙස් වර්ණ ගන්වන්න පාවිච්චි කරන ආලේපන, හිසකෙස්වල සැකැස්ම වෙනස් කරන අධිකව උණුසුම් කිරීමේ රූපලාවන්‍ය ක්‍රම, විවිධ විලාසිතා නිසා කොණ්ඩය ඇදීමට ලක් වීම වගේ දේවල් කෙස්වලට හානිදායකයි. මේ දේවල් කාලයකට සැරයක් කිරීම ගොඩක් වෙලාවට හානිදායක නොවුණත් නිතරම මේවා සිදු කිරීම නම් ඉතාම හානිදායකයි. විශේෂයෙන්ම තත්ත්වයෙන් බාල නිෂ්පාදන, හානිකර සංයෝග අඩංගු නිෂ්පාදන හා අනිසි ක්‍රම භාවිතයෙන් ප්‍රවේශම් වෙන්න. ඒ වගේ දේවල් නිසා සමහර විට එක් වරකින් පවා විශාල හානියක් සිදු වෙන්න පුළුවන්.

මේ සියලුම දේට අමතරව අප සමබල ආහාර වේලක් ගැනීමත් හිසකෙස්වල නීරෝගීභාවයට අත්‍යාවශ්‍ය බව මතක තියා ගන්න අවශ්‍යයි. හිසකෙස් වර්ධනය වෙන්නත්, හිස්කබලේ සම නීරෝගීව පවතින්නත් අවශ්‍ය පෝෂක නිසි ලෙස ලැබීම ඉතාම වැදගත්.

හිස කෙස් ආරක්ෂා කර ගැනීම

මේවා අතරින් අපිට ඍජුවම පිළියම් යොදන්න හැකියාවක් තියෙන්නේ වැරදි පුරුදු නිසා ඇති වන ගැටළුවලට සහ අපේ ජීවන චර්යාව නිසා ඇති වන රෝගවල ප්‍රතිඵලයක් විදිහට ඇති වන හිසකෙස් ආශ්‍රිත ගැටළුවලට විතරයි. ඒ වගේ වැරදි පුරුදුවලින් වැළකීමත්, සමහර අවස්ථාවල ප්‍රතිකාරවලට යොමු වීමත්, හිසකෙස් වැඩීමට අවශ්‍ය පෝෂක අඩංගු ආහාර පාන වැඩියෙන් ගැනීමත්, ඒ කිසිම දෙයක් හරි යන්නේ නැතිනම් හිස කෙස් අඩු වීම ආවරණය වෙන විදිහේ විලාසිතා භාවිතයටත් යොමු වෙන්න පුළුවන්. එහෙම නැති නම් අවසානයේ ඉතිරි වන්නේ ලැබුණු දේ කියලා තට්ටය පෑදීම ගැන හිත හදා ගන්න තමයි.

ඉතින් ඒ තත්වයට යන්න කලින් ප්‍රශ්නෙට විසඳුමක් සොයා ගන්න මුලින්ම අපිට හරිම පහසුවෙන් වෙනස් කර ගන්න පුළුවන් දේවල් ගැන බලමු. හිසකෙස්වලට හානි වෙන හේතු දිහා බැලුවා නම් ඇත්තටම ඒ දේවල්වලින් බොහොමයක් අපි උවමනාවෙන්ම කර ගන්න දේවල්. තමන්ගේ දින චර්යාව සහ පුරුදු හැඩගස්වා ගැනීම තුළින් ඒවා බොහොමයක් මග හරවා ගන්න පුළුවන්කම තිබෙනවා.

කොණ්ඩය ඉතා තදින් ඇදී පවතින කොණ්ඩ මෝස්තර, අධික උණුසුමක් යොදන සැකසුම් ක්‍රම හා වර්ණක නිතර පාවිච්චි කරන එක කොණ්ඩයට හානිකරයි. (huffingtonpost.com)

හැබැයි ඉතින් මේ වගේ කාරණාවලදී වැඩි දෙනා බලන්නේ තමන්ගේ ජීවන චර්යාව වෙනස් කර නොගෙන කරගන්න පුළුවන් ලේසි ප්‍රතිකර්මයක් තියෙනවාද කියලයි. හැබැයි ඒක ගොඩක් වෙලාවට ඒ තරම් සාර්ථක නැහැ. හිසකෙස්වලට හානි වෙන සාධක ඉවත් කර නොගෙන පිළියම් හොයන්න ගියාට තේරුමක් නැහැ.

අපිට පුරුදු ස්වභාවික දේ භාවිතය

ශ්‍රී ලාංකික අපි එදා ඉඳන්ම ස්වභාවික දේට හුරු වී සිටි පිරිසක්. ටික කාලයකට කලින් ඒවායින් යම් තරමකට දුරස් වුණත් අද වෙනකොට නැවතත් අපි ස්වභාවික දේට යොමු වෙන්න පටන් අරන්. පාරම්පරිකව පැවත එන ශාක ආශ්‍රිත බෙහෙත් ක්‍රමවලට හිනා වෙලා රසායනික ක්‍රමවලට හදපු බෙහෙත්වලට ලොකු පිළිගැනීමක් ලබා දුන්නු බටහිර විද්‍යාවත් අද ශාක සංයෝගවල වැදගත් බව තේරුම් ගන්න පටන් අරන්.

පොල් තෙල්

well-beingsecrets.com

හිසකෙස් ගැන බැලුවාම අපි කවුරුත් දන්නා සාර්ථකම විසඳුමක් තමයි පිරිසිදු පොල් තෙල් හිසේ ගලවන එක. මේක ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකය පුරාම පවතින ඝර්මකලාපීය රටවල හිරු කිරණවලින් කෙස් ආරක්ෂා කර ගන්න යොදා ගන්නා ක්‍රමයක්. අධික උෂ්ණ ප්‍රදේශවල වැවෙන ගසක් වන පොල්වල මදය වේලීම මගින් නිස්සාරණය කර ගන්නා පොල් තෙල් හිසකෙස් වර්ධනය උත්තේජනය කරන පෝෂකවලින් අනූනයි. අදටත් අපේ හිසකෙස් ආරක්ෂා කර ගන්නත්, හිසකෙස් වර්ධනය වැඩි කර ගන්නත් මීට වඩා හොඳ විසඳුමක් නැහැ.

කොහොම වුණත් මෙහිදී ඉතා පිරිසිදු පොල් තෙල් පාවිච්චි කළ යුතුයි. ඉස්සර ගමේදී නම් ගෙවල්වලම පොල් වේලලා, එහි ගැලවෙන මදය රත් කරලා තෙල් හිඳින්න පාවිච්චි කරනවා. අද කාලයේ වාණිජ පොල් තෙල් කර්මාන්තශාලාවල බිහි වෙන පොල්තෙල්වලින් එදා නිවසේදීම හිඳවා ගත් තෙල්වල තිබූ ගුණය ලැබෙනවාද කියන එක ගැටළුවක්.

උළුහාල්

herbazest.com

හිස කෙස් ගැන කියද්දී අමතක කරන්නම බැරි තවත් දෙයක් තමයි උළුහාල්. ඉතා ඈත කාලයක පටන් ආහාර රස ගන්වන්න යොදා ගන්න උළුහාල් හිසකෙස් වර්ධනය උත්තේජනය කරන පෝෂකවලින් අනූනයි. හිසට පොල් තෙල් දානකොට ඒකට උළුහාල් ටිකක් දමලා රත් කරලා ගන්න පුළුවන් නම් මෙහි අඩංගු පෝෂක කෙලින්ම හිසකෙස් වෙත ලබා ගන්න පුළුවන්. පිරිසිදු පොල් තෙල් උළුහාල්වල අඩංගු පෝෂක උරාගෙන හිසකෙස් වෙත නිදහස් කරන්න හොඳ මාධ්‍යයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා.

අම්ලා

stylecraze.com

අම්ලා කිව්වාම වැඩි දෙනෙක්ට මතක් වෙන්නේ ක්‍රිකට් ගහන හෂීම් අම්ලාව වෙන්න ඇති. මේ දවස්වල ක්‍රිකට් ලංකාවේ වැඩි දෙනාට ක්‍රිකට් එපා වෙලානේ ඉන්නේ. අනික අම්ලාට තියෙන්නෙත් තට්ටයක්. කොහොම නමුත් ඉන්දියාවෙන් අපට ලැබුණු කුඩා පැලෑටියක් වන අම්ලා ශාකයේ ගෙඩියේ තෙල් හිස කෙස්වලට ඉතා පෝෂ්‍යදායී බව පර්යේෂණ බොහොමයකින් පෙනී ගොස් තියෙනවා.

අම්ලා කියන්නෙ අැත්තටම නෙල්ලි වර්ගයක්. අම්ලා ගෙඩි ඉන්දියාවේ කාන්තාවන් කාලයක් තිස්සේ හිසකෙස් ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස පාවිච්චි කරලා තියෙනවා. අදටත් බිහි වන ෂැම්පු වර්ග බොහොමයක අම්ලා සාරය අඩංගු වෙන්නේ මේ ගෙඩිවල පවතින ගුණය පාරම්පරිකව ප්‍රසිද්ධ නිසාමයි.

හෙනා

organicfacts.com

හෙනා ගැන ගැහැණු ළමයි නම් හොඳින්ම දන්නවා. දැන් ලංකාවේ පවා ප්‍රචලිත වෙලා තියෙන මෙහෙන්දි රටා අඳින්න පාවිච්චි කරන්නේ හෙනා ශාකයේ පත්‍ර වේලා, පොඩි කර ලබා ගන්නා වර්ණකයයි. ආලේප කළාම පහසුවෙන් ඉවත් කරන්න බැරි වර්ණකය සුදු වුණු හිසකෙස් කළු කරන්නත් පාවිච්චි වුණා.

කොහොම නමුත් සුදු කෙස් කළු කරන්න යොදා ගත්තු හෙනා වර්ණකය ඇත්තෙන්ම හිසකෙස් වර්ධනයටත් හේතු වෙන බව පස්සේ කාටත් තේරුම් යන්න ගත්තා. නිතර හෙනා හිස කෙස්වල ගැල්වීමෙන් ඉතාම අලංකාර, ආකර්ෂණීය, දිගු කෙස් කළඹක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මුස්ලිම් රටවල් විශාල සංඛ්‍යාවක කාන්තාවන්ට ඉතා දිගු පිරිපුන් කෙස් කළඹක් තිබීම හා වසර 6000ක පමණ කාලයක් තිස්සේ ඔවුන් හෙනා හිස කෙස්වල ගැල්වීම අතර පැහැදිලි සම්බන්ධයක් පවතිනවා. හිජාබය මගින් හිසකෙස් ආවරණය කරන්නේත් මුස්ලිම් කාන්තාවන් සතු අලංකාර කෙස් කළඹට අනවශ්‍ය ආකර්ෂණයක් ඇති නොවීමට යැයි මතයක් තිබෙනවා.

කළුදුරු

greenmedinfo.com

නිරෝගී කෙස් කලඹකට අවශ්‍ය පෝෂක බොහෝමයක් අඩංගුව තවත් ශාකයක් තමයි කළුදුරු. විවිධ හේතූන් නිසා විජලනය වන අපේ කොණ්ඩයට තෙතමනය ලබා දීමත්, ස්වාභාවික තෙල් ආවරණය ආරක්ෂා කිරීමත්, හිස්හොරි ඇතුළු ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ප්‍රශ්න වලටත් විසඳුමක් ලබාදීමට කළුදුරුවල තෙල් සමත් වෙනවා.

මීට අමතරව හිසකෙස් කැඩීයාම වැළැක්වීමත්, කේශ මූලය ශක්තිමත් කිරීමත්, කෙස්ගසේ වර්ධනය උත්තේජනය කිරීමත්, අකලට පැසීම වැළැක්වීමත් කළුදුරු මගින් ලැබෙන ප්‍රයෝජනවලට අයත් වෙනවා. හිසකෙස්වල පවතින සියලු රෝග දුරු කිරීමට හොඳම ක්‍රමයක් විදිහට කළුදුරු භාවිතය හඳුන්වන්න පුළුවන්.

හිසකෙස් රැකගෙන සුන්දරත්වය පවත්වා ගනිමු.

ඉහත කිව්වේ හිසකෙස්වලට කෙලින්ම යෙදීම මගින් එහි වර්ධනයට සහ ආරක්ෂාවට හේතු වෙන දේවල් ගැනයි. මීට අමතරව ආහාර විදිහට ගැනීමෙන් හිස කෙස්වලට පෝෂණය ලබා දෙන ආහාර වර්ගත් ගණනාවක් තිබෙනවා. පේර, අලිගැට පේර, කෙසෙල් ආදී පලතුරුවලත්, නිවිති ඇතුළු පලා වර්ගවලත්, වට්ටක්කා වැනි කහ පැහැ එළවලුවලත් අඩංගු සින්ක් කෙස් වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂකයක්.

බොහෝ එළවළු පලතුරු හිසකෙස් වර්ධනයට උදව් වෙන පෝෂකවලින් පිරිලා (lifehack.org)

ඒ වගේම විවිධ පෝෂණ ඌණතාත් කෙස් වැඩීම දුර්වල කරන්න ඉඩ තියෙනවා. B කාණ්ඩයේ විටමින් අඩංගු ආහාර, ඔමේගා – 3 මේද අම්ලය අඩංගු ආහාර, විටමින් E අඩංගු ආහාර සහ බිත්තර නිතර ආහාරයට ගැනීමත් මෙවැනි හිස කෙස් වැඩීම දුර්වල කරන පෝෂක ඌණතා මග හරවා ගන්න සාර්ථක පිළියමක්.

ඉතින් ඔබත් තට්ටය ගැළපෙන පෙනුමක් ඇති කෙනෙක් නොවේ නම් හරි, කාන්තාවක් නම් හරි තමන්ගේ හිසකෙස් ආරක්ෂා කර ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න. කොණ්ඩයට හානිකර දේ කිරීම අඩු කරන අතරේ නිතරම පිරිපුන් ආහාර වේලක් ගන්න බලන්න. තරුණ පෙනුම රැකගෙන හැමදාමත් ලස්සනට ඉන්න ඒක ගොඩක් වැදගත් වේවි.

කවරයේ රූපය : (medicalnewstoday.com)

Related Articles