Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ රටේ ස්වභාවික පරිසරය සුරකින්න නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ගන්නා උත්සාහය ආදර්ශයක් කරගනිමු

අපේ මව්බිම වන ශ්‍රී ලංකාව ඉතා ඈත අතීතයේ ඉඳලාම හරිත පැහැයෙන් බැබළුණු, ස්වභාවික පරිසරය, සතා සිව්පාවුන් එක්ක සහයෝගයෙන් ජීවත් වුණු මිනිසුන් වාසය කළ රටක්. අදටත් දකුණු ආසියා කලාපයේ ජෛව විවිධත්වය අතින් ඉහළම ප්‍රදේශ ගණනාවක් ශ්‍රී ලංකාව සතුයි. කොහොම නමුත් මෑත කාලීනව අපේම අනිසි ක්‍රියාවන් නිසා පරිසරය ගැන, ජෛව විවිධත්වය ගැන අහන්න ලැබෙන්නේම අසුභදායක දේවල්.

අද කාලේ පරිසරය සුරැකීම වගේ දේවල් වලට එතරම් ලොකු ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. මෑත කාලයේ නිතර අලි ඇතුන් මිය ගිය හැටි අද අපට අමතක වෙලා. රට පුරාම කැලෑ එළි කිරීම, අසරණ වන සතුන් දඩයම් කිරීම දිගටම සිදු වෙනවා. අපේ රටේ මීට දශක කිහිපයකට කලින් 50% කටත් වඩා පැවතුණු වන වැස්ම අද 12% කට විතර අඩු වෙලා ගිහින්. නිසි සැලසුමක් නැතිව කෙරෙන ව්‍යාපෘති බොහෝ ශාක හා සත්ව ප්‍රජාවන්ගේ විනාශයට හේතු වෙලා. අද අපිට මුහුණ දෙන්න වෙලා තියන නියඟයට, භවබෝග විනාශයන්වලට, සහ දේශගුණික වෙනස්කම්වලට ඇත්තටම වගකියන්න ඕනේ අපිමයි.

දශක කිහිපයක් තුළ වන වැස්ම අඩු වූ ආකාරය. (pdn.ac.lk)

අපි මේ  පිළිබඳව කුමක් කළ යුතුද යන්න විමසා බලන, ඒ වෙනුවෙන් පියවරක් ගන්න උත්සාහ කරන, ආදර්ශයෙන් මග පෙන්වන අයත් අපේ රටේ සිටිනවා. අපේ රටේ ජෛව විවිධත්වය, වන වැස්ම, ස්වභාවික පරිසරයේ රැකවරණය වෙනුවෙන් ඵලදායී ව්‍යාපෘති ගණනාවකට වෙහෙස මහන්සි වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ගැන මේ විස්තර ටික අහලා ඒ ගැන අලුතෙන් හිතලා බලමු. මොකද පරිසරය රැකගැනීම කියන්නේ අවසානයේ අපි අපම රැක ගැනීමට ඉතාම වැදගත් දෙයක්.

කන්නෙලිය රක්ෂිතය යළිත් වන වගා කරන “Life” ව්‍යාපෘතිය.

යළි වන වගා කෙරෙන භූමියේ වර්තමාන තත්වය. (sundaytimes.lk)

අපි කවුරු කවුරුත් ස්වභාවික සම්පත් පාවිච්චි කරන්නේ අපේ තාවකාලික තෘප්තිය වෙනුවෙන්. දැන් පවතින තත්වයට අනුව පරිසරයට හානි කිරීම වැළැක්වීමෙන් පමණක් ප්‍රයෝජනයක් නැහැ. විනාශය ප්‍රකෘතිමත් කරන්නත් සක්‍රීයව දායක විය යුතුමයි. නේෂන්ස් ට්‍රස්ට් ආයතනය මේ කරුණ දැඩිව විශ්වාස කරනවා.

අපේ රටේ ජෛව විවිධත්වය වෙනුවෙන් අතිමහත් කාර්යභාරයක් සිදු කරන ආයතන අතර Biodiversity Sri Lanka, වන ජීවී දෙපාර්තමේන්තුව සහ IUCN හි ශ්‍රී ලංකා ශාඛාව සුවිශේෂ තැනක් ගන්නවා. විනාශයට ගිහින් තිබුණු කන්නෙලිය රක්ෂිතයට යාබද ඕපාත ‍ප්‍රදේශයේ  වන වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඔවුන් තීරණය කළේ රට පුරාම අලුතෙන් වන වගා කිරීමේ ව්‍යාපෘතිවලට ආදර්ශයක් සැපයීම අරමුණු කරගෙනයි.

අපේ රටේ ප්‍රධාන පෞද්ගලික ආයතන ගණනාවක් මෙයට එකතු වීම අපට ඇත්තටම සතුටු විය හැකි කරුණක්. හෙක්ටයාර් 10 ක ප්‍රමාණයක් නිසි ක්‍රමවේදයක් යටතේ වන වගා කෙරෙන මේ ව්‍යාපෘතියේ එක් හෙක්ටයාරයක් වන වගා කිරීමේ වගකීම මුළුමනින්ම භාර ගෙන තිබෙන්නේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවයි.

අපේම ක්‍රියාකාරකම් නිසා විනාශ වුණු වනාන්තරවලට කන්නෙලිය ඉතා හොඳ උදාහරණයක්. කැලේ ගස් කොළන් අඩුවීම පමණක් නෙවෙයි, ඒ අවට සත්ව ගහනයත් සැලකිය යුතු ලෙස අඩු වෙලා ගිහින්. මේ ව්‍යාපෘතියේ මුල් අදියරේදී වසර දෙකක් පුරා අදාළ භූමිය යළි වනාන්තරයක් විය හැකි තත්වයට සකස් කෙරෙනවා. කල් පැවැත්ම හා දරා ගැනීමේ ශක්තිය ඉහළ ශාක ප්‍රභේද වගාව, දිගු කාලීන නිරීක්ෂණ ක්‍රමවේද සකස් කිරීම, පැළෑටි මහා පරිමාණයෙන් නොකඩවා ලබා දිය හැකි තවාන් බිහි කිරීම ආදිය සිදු කෙරෙනවා. ඊළඟ අදියරේදී වසර තුනක් පුරාවටම සක්‍රීයව වන වගා කිරීමත්, ඒ තුළින් දරා ගැනීමේ ශක්තිය අඩු ශාක ප්‍රභේදවල පැවැත්ම තහවුරු කරන ජෛව සම්බන්ධතා ගොඩ නැගීමත්, ප්‍රදේශයට සත්ව ප්‍රජාවන් පැමිණීම දිරිමත් කිරීමටත්, අවසානයේ ස්වාභාවිකවම ව්‍යාප්ත විය හැකි තත්වයට ප්‍රදේශය සකස් කිරීමටත් කටයුතු සිදු වෙනවා.

රටේ මහා පරිමාණ ආයතන කිහිපයක්ම එකතු වෙලා වසර පහක් පුරාවට ගන්නා මේ උත්සාහයෙන් පැහැදිලිවම පෙනෙන්නේ අපි හරිම පහසුවෙන් විනාශ කර දමන වනාන්තරයක් යළි ගොඩ නංවන්න තියෙන අපහසුවයි. යන්ත්‍රෝපකරණ ගෙනැවිත් හෙක්ටයාර 10ක කැලෑවක් කපා දමන්න මහ ලොකු කාලයක් යන්නෙ නැහැ නේද? මේක ඒ ගැන බරපතලව හිතන්න අපි කාටත් හොඳ පෙළඹවීමක්. එයා ආදර්ශයට අරගෙන වනාන්තර රැක ගන්න පියවර ගැනීමෙන් ඇත්තටම සුරක්ෂිත වන්නේ අපිමයි.

ජෛව විවිධත්වය ගැන දැනුම පුළුල් කිරීම සහ පර්යේෂණ කටයුතු දිරිමත් කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්වීභාෂා පරිසර සඟරාව වන වාරණ/වාරණම් සඟරාව නේෂන්ස් ට්‍රස්ට් ප්‍රධාන විධායක නිලධාරිතුමිය වෙත පිළිගැන්වීම. (nationstrust.com)

අපේ රට තුළ පවතින ඉහළ ජෛව විවිධත්වය ගැන, එහි වටිනාකම ගැන, එය රැක ගත හැකි ආකාරයන් ගැන, අපිට නොදැනෙන ලෙස තර්ජනයට ලක් වී සිටින ප්‍රභේද ගැන සහ ඔවුන් සංරක්ෂණය කිරීම ගැන අපි අතර තියෙන නොදැනුවත් කම ඒවායේ විනාශයට ප්‍රබල හේතුවක්. ඉතින් අනිත් හැම දෙයක් වගේම පරිසරය ගැනත් පර්යේෂණ වැඩිපුර සිදු කරලා ඒ ගැන අපිට තියෙන දැනුම වැඩිකර ගැනීම අතිශයින්ම වැදගත්. නමුත් එවැනි දේට මුදල් යොදවන්න බොහෝ ආයතන උනන්දුවක් නෑ. නේෂන්ස් ට්‍රස්ට් ආයතනය වනසත්ව හා ස්වභාව ආරක්‍ෂක සංගමය (WNPS) ට සවිබලය දීම වැනි දේවල් අනිත් ආයතනත් ආදර්ශයට ගන්නවා නම් අපේ රටේ තත්වය මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබුණා.

WNPS මගින් පළ කෙරෙන ‘Loris’ සහ ‘වාරණ/වාරණම්’ සඟරා සඳහා වර්ෂ තුනක් පුරාවට පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ නේෂන්ස් ට්‍රස්ට්. ඒ නිසාම ශ්‍රී ලංකාවේ පළ කෙරෙන ප්‍රථම සහ එකම ද්වීභාෂා පරිසර සඟරාව වන ‘වරණ/වරනම්’ හි ඉලෙක්ට්‍රොනික පිටපත WNPS හි නිල වෙබ් අඩවිය හරහා අපේ රටේ ඕනෑම කෙනෙකුට නොමිලේම පරිශීලනය කරන්නත්, ඒ වටිනා දැනුම එක්රැස් කරගන්නත් අවස්ථාව තියෙනවා.

අපේ රටේ වැඩි අවධානයට යොමු වෙන්නෙ නැති වුණාට පරිසරය ආශ්‍රිත ප්‍රශ්න ඕන තරම්. ශ්‍රී ලංකාවේ බළල් කුලයේ සතුන් මුහුණ දී සිටින ගැටළු, දිනෙන් දින ඉහළ යන ශ්‍රී ලංකාවේ අලි මරණ, ඉන්දියන් සයුරෙහි කොරල් පර මුහුණ පා ඇති තර්ජන  වගේ පුළුල් වපසරියකට අයත් දේවල් ගැන ගැඹුරින් සංවාදයට ලක් කෙරෙන දේශන මාලාවක් මාසයකට වරක් පැවැත්වෙන්නේ ඒ ගැන යම් අවධානයක් හෝ ඇති කිරීමේ බලාපොරොත්තුවෙන්. මේ දේශන මාලාවටත් මූල්‍ය ශක්තිය සපයන්නේ නේෂන්ස් ට්‍රස්ට්.

මීට අමතරව, ගාල්ල වනජීවි සංරක්‍ෂණ සංගමය (WCS-G), ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලංකා ජෛව විවිධත්ව පීඨිකාව (Biodiversity Sri Lanka) ඇතුළු පිළිගත් සංවිධානවල පරිසරය ආශ්‍රිත පර්යේෂණ කටයුතු දිරිමත් කිරීමටත් නේෂන්ස් ට්‍රස්ට් දිගු කාලීනව ලබා දෙනවා.

බැංකුවේ දායකත්වයෙන් කරන ලද දීර්ඝ කාලීන පර්යේෂණ ඔස්සේ ලංකාවේ මිරිදිය මසුන් සම්බන්ධව (Sri Lankan Freshwater Fishes) සහ ලංකාවේ වානරයින් සම්බන්ධයෙන් (Primates of Sri Lanka) ග්‍රන්ථ දෙකක් මේ වන විට එළි දක්වා තිබෙනවා. මිරිදිය ආශ්‍රිත පර්යේෂණ තුළින් නව මත්ස්‍ය ප්‍රභේද 4කුත්, ලංකාවට ආවේණික මිරිදිය පැළෑටියකුත් සොයා ගන්නා ලද අතර මෙම පැළෑටිය ජාතික අධ්‍යාපනයේ පියා වන ගරු සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ට උපහාරයක් වශයෙන් Aponogeton Kannangarae ලෙස නම් කර තිබෙනවා.

බොහෝ ආයතන වැඩි සැලකිල්ලක් නොදක්වන මෙවැනි දේවල් ගැන ඔවුන්ගේ උනන්දුව පරිසරයට ආදරය කරන අපි කාටත් සැබවින්ම සතුටු විය හැකි කාරණයක්. නමුත් එයින් අපිට සැබෑ ප්‍රයෝජනයක් ලැබෙන්නේ අපි උනන්දුවෙන් ඒ දැනුම ලබාගෙන පරිසරය සුරැකීම සඳහා සක්‍රීය භාවිත කළොත් තමයි. පරිසරය රැක ගැනීම කියන්නේ අපේම අනාගතයේ රැකගැනීම කියන එක අමතක කරන්න එපා.

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ හියාරේ සංරක්ෂණ මධ්‍යස්ථානය

Tripadvisor.com

අපේ රෝහල්වල තියෙන අඩු පහසුකම් ගැන වද වෙන අපි අපේ ක්‍රියාවන් නිසාම විවිධ අනතුරුවලට ලක් වන සතුන්ගේ සුබසාධනය ගැන ඒ තරම් සිතන්නේ නැහැ නේද? නමුත් එවැනි ආයතනයක් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය (WCS-G) මගින් පවත්වාගෙන යනවා. එ් තමයි හියාරේ සංරක්ෂණ සහ අධ්‍යාපන මධ්‍යස්ථානය. 2008 වර්ෂයේ සිට වසර 10 ක් මුළුල්ලේ එයටත් මූල්‍ය ශක්තිය සපයන්නේ නේෂන්ස් ට්‍රස්ට්.

මෙරට ප්‍රථම සහ එකම වනජීවී රෝහල වන මෙහි සතුන් බේරා ගැනීමේ කටයුතු, ඔවුන්ට ප්‍රතිකාර කරමින් රැක බලා ගැනීමේ කටයුතු, පැමිණෙන්නන් දැනුවත් කිරීමේ කටයුතු වගේම වැඩිදුර පර්යේෂණ කටයුතු පවා සිදුවෙනවා. නමුත් සතුන්ගෙන් ඒ වෙනුවෙන් මුදල් අය කරන්න බැහැනේ. මේ සියලු වැඩ කටයුතුවලට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්න නේෂන්ස් ට්‍රස්ට් කටයුතු කළේ නැත්නම් මෙවැනි රෝහලක් ලංකාවේ පැවැත්වීම හීනයක් වේවි.

2017 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අවුරුද්දක කාලය තුලදී හියාරේ මධ්‍යස්ථානය පවත්වපු වැඩමුළු 6 ක් සහ අධ්‍යාපනික වැඩසටහන් 19 ක් හරහා එයට සහභාගී වූ 1163 දෙනෙකු දැනුවත් වී තිබෙනවා. මෙම කාලය තුළදී විවිධ හේතු නිසා තුවාල වූ, රෝගී වූ හෝ උගුල්වලට හසු වූ සතුන් 218 දෙනෙකු බේරා ගෙන ඔවුන්ගේ සත්ව රෝහල තුළ ප්‍රතිකාර කරන්න හැකි ඔවුන්ට හැකි වුණා. මේ වන විටත් ඉන් සතුන් 111 දෙනෙකුට සුවය ලබා දී යළිත් වනයට මුදා හරින්න සමත් වීම වන සතුන්ට ආදරය කරන අපි කාට වුණත් ඇත්තෙන්ම සතුටු වෙන්න පුළුවන් දෙයක්.

මේ සතුන් බේරා ගැනීම, ඔවුන්ට ප්‍රතිකාර කිරීම හා ඔවුන්ට ආහාර ලබා දී රැක බලා ගැනීම වගේම එහි නිලධාරීන් හා සහායකයන්ගේ වැටුප් ගෙවීමත්, මාසයකට 4 වරක් බැගින් පැමිණෙන පශු වෛද්‍යවරුන් දෙදෙනාගේ වෛද්‍ය ගාස්තු ගෙවීමත් සිදු කෙරෙන්නේ නේෂන්ස් ට්‍රස්ට් හරහා ලැබෙන ප්‍රතිපාදන තුළින්. 2017 මාර්තු මාසයේදී හියාරේ අධ්‍යාපන මධ්‍යස්ථානයේ නවීකරණය කිරීමත් නේෂන්ස් ට්‍රස්ට් අනුග්‍රහයෙන් සිදු කෙරුණා. එයට නේෂන්ස් ට්‍රස්ට්හි ප්‍රධාන විධායක නිලධාරීතුමියද ඇතුළුව ඉහළ කළමනාකාරීත්වය පවා ස්වේච්ඡාවෙන්ම දායක වී සිටියා. තවත් ආයතන, පුද්ගලයන් මේ වගේ කැපකිරීම් කරනවා නම් රටේ වන සතුන් රැකගැනීම මොන තරම් ලේසි වේවි ද?

බැංකු කටයුතුවලට කඩදාසි භාවිතය අවම කරන Frimi ඇප් එක (fb.com/frimi.lk)

මේ සියලු ව්‍යාපෘතීන්ට අමතරව නිරන්තරයෙන්ම පරිසර හිතකාමී විදිහට තම ව්‍යාපාරය පවත්වාගෙන යන්නත් නේෂන්ස් ට්‍රස්ට් උත්සුක වෙනවා. ඔවුන්ගේ Frimi ඇප් එක ඇතුළු තවත් බොහෝ නව්‍ය ව්‍යාපෘති හරහා කඩදාසි භාවිතය හැකි තරම් සීමා කරන්නත්, පරිසර හානිය අවම වන ව්‍යාපාර මාදිලි තෝරා ගන්නත්, ව්‍යාපාරික සහකරුවන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ පරිසර ආරක්ෂණ ක්‍රමවේද ගැන විශේෂයෙන් සලකා බලන්නත් නේෂන්ස් ට්‍රස්ට් කටයුතු කරනවා.

බලශක්තිය ඉතිරි කිරීමට ඉහළ තැනක් ලබා දෙන ඔවුන් විදුලිය ඉතිරි කරන LED බල්බ භාවිතය, විදුලි අවශ්‍යතාව අවම වන ලෙස ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය වැඩිපුර ලැබෙන සේ ගොඩනැගිලි සැලසුම් කිරීම සහ ජාතික ජාලයෙන් විදුලිය ලබා ගැනීම අවම කරන සූර්ය පනේල භාවිතය වැනි වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ආයතනයෙහි ප්‍රධාන සංකීර්ණ තුන ආශ්‍රිතව කාබන් කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් කටයුතු කරනවා.

සැබෑ උවමනාවක් තියෙනවා නම් අපිට අපේ පරිසරයේ රැකවරණය වෙනුවෙන් කළ හැකි දේවල් මොන තරම් තිබෙනවාද කියන එකට නේෂන්ස් ට්‍රස්ට් ඉතා හොඳ උදාහරණයක්. කෙටිකාලීනව ලොකු ප්‍රයෝජන ලැබුනේ නැතත් දිගුකාලීන වශයෙන් පරිසර ආරක්ෂාවට වගේම අපේම සුරක්ෂිතභාවයටත් මේ දේවල් හරිම වැදගත්.

කුඩා දරුවන්ට පරිසරයට ආදරය කිරීමට හුරු කිරීම අනාගතය වෙනුවෙන් කළ හැකි වටිනාම ආයෝජනයක්. (nationstrust.lk)

අනාගතය භාර ගන්නට සිටිනා කුඩා දරුවන් වෙනුවෙන් පරිසරය ගැන දැනුවත් කිරීමේ චාරිකා, චිත්‍ර තරඟ, අධ්‍යාපන වැඩසටහන් රාශියක් සංවිධානය කිරීම හරහා අනාගතයේ අපේ රට බාරගන්න ඉන්න පිරිස දැනුවත් කිරීමත් ඔවුන් සිදු කරනවා. පරිසරයට ආදරය කරන දරු පිරිසක් බිහි කිරීම අපේ පරිසරයේ අනාගත පැවැත්මට මොනතරම් වැදගත්ද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

අපේ රටේ ප්‍රධානතම මූල්‍ය ආයතනයක් විදිහටත්, වැදගත් ව්‍යාපාරයක් විදිහටත් නේෂන්ස් ට්‍රස්ට් ගෙන යන මේ වැඩපිළිවෙල ගැන අපි කාටත් ඇත්තටම සතුටු විය හැකියි. රටේ අනෙක් ප්‍රධාන ආයතන සහ ව්‍යාපාරත් ඔවුන්ගේ මේ වැඩකටයුතු ආදර්ශයට ගෙන පරිසරය සුරකින්න සක්‍රීයව දායක වෙනවා නම් අපේ රටේ දිනෙන් දින උග්‍ර වන පරිසර ගැටළුවලට පිළියම් සොයන එක අපහසු වෙන එකක් නැහැ. ඒ සඳහා හැකි පමණින් දායක වීම අපේත් වගකීමක් බව මතක තියා ගනිමු. මේ ලිපිය කියවීමට පමණක් සීමා නොවී අපි පරිසරයට ඉටු කළ යුතු යුතුකම් ඉටු කරන්න සැබෑවටම උත්සාහයක් ගන්නත් අමතක කරන්න එපා. අපි හැමෝම එකතුවෙලා අපේ පරිසරය සුරකින්න දායක වුණේ නැත්නම් ඉදිරි කාලයෙහි ඇතිවිය හැකි ගැටළුවල පීඩාවත් අපිටම බව මතක තබා ගැනීම හරිම වැදගත්.

කවරයේ රූපය : හියාරේ සංරක්ෂණ මධ්‍යස්ථානයේදී අසරණ සත්වයෙකුට ප්‍රතිකාර කෙරෙන අවස්ථාවක්. (fb.com/ilovesrilanka.lk)

Related Articles