Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පහසුවෙන්ම මුහුණ පැහැපත් කරන ශීට් මාස්ක් සත්කාරය

අලුතින්ම පටන් ගන්නා කෙනෙක්ට ශීට් මාස්ක් (Sheet Mask) පාවිච්චියට උපදෙස්

තාක්ෂණයේ දියුණුව එක්ක රූපලාවණ්‍ය ක්ෂේත්‍රයත් ගොඩක් දියුණු වුණත් අපි ජීවත් වෙන්නේ කාර්මීකරණයත් සමඟ වඩාත් දූෂිත පරිසර තත්ත්වයන් යටතේ යි. නූතන පරිසරයේ විෂ දුම්, ආහාර වල රසායන ද්‍රව්‍ය අධිකව ඇති අතර ඕසෝන් වියන තුනීව ගොස් සූර්යයාගේ පාරජම්බුල (UV) කිරණ වැඩි වශයෙන් පොළොව මතට පතිත වෙනවා. එසේම අපේ සම නිතරම වායු සමීකරණ යන්ත්‍ර වලට නිරාවරණය වන නිසා සම වියළී යනවා. මෙවන් තත්ත්වයක් යටතේ සම පළුදු වීම්, වියළි යාම්, හා රැළි වැටීම් ආදිය සිදුවී ඉක්මණින්ම මහලු පෙනුමක් ලැබෙන්නට හේතු වෙනවා. මේ නිසා තමයි අපේ සම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුවී තිබෙනවා.

ශීට් මාස්ක් එක කියන්නේ මොකද්ද?

ශිට් මාස්ක් එකක් මුහුණට යොදා ඇති ආකාරය (mybeautifulflaws.com)

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දේවල් විද්‍යාවේ දියුණුවත් සමඟ ඉදිරියට යාමෙන් ක්‍රීම් වර්ග වැනි සම්ප්‍රදායික සම පෝෂණය කරන සත්කාරයන් වෙනුවට ශීට් මාස්ක් නමැති නව විසඳුම් බිහිවුණා. එහි ඇති පහසුව සහ ඉහළ ප්‍රතිඵල නිසා දැන් ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස ද ප්‍රකටව තිබෙනවා. සාමාන්‍ය ක්‍රීම් වර්ගයක් අලේප කළ පසු එහි අඩංගු සංඝටක විශාල ප්‍රමාණයක් වාෂ්ප වෙලා යන නිසා සමට උරා ගන්නේ ස්වල්ප ප්‍රමාණයක් පමණයි. එනමුත් ශීට් මාස්ක් එක මගින් පෝෂණ ද්‍රව්‍ය සම අභ්‍යන්තරයට කා වැදී සමේ ගැඹුරුම ස්ථර කරා ද පැතිරී යනවා. ඒ හරහා සමේ තුලනය රැක ගෙන වියපත් පෙනුම අවම කර ගන්නට ශීට් ෆේස් මාස්ක් හොඳ විසඳුමක්ව තිබෙනවා.

ශීට් මාස්ක් එක වෙනත් ඒවා මෙන් මැරුණ සෛල ඉවත් කිරීමට හා සම පිරිසිදු කිරීමට යොදා නොගැනෙන අතර මූලික වශයෙන්ම සම පෝෂණය කිරීමට භාවිත කරනවා. මෙයට අපේ අවශ්‍යතාවය අනුව ශාකසාර ආදී අමුද්‍රව්‍ය යොදා පෝෂණ පදාර්ථ සකසා ගත හැකියි. සමට දීප්තියක් ලබා දීමට, පාරිසරික සාධක හරහා සිදුවන හානි ප්‍රතිස්ථාපනය කරගැනීමට සහ සමේ තුලනාත්මක බව රැකගෙන වියපත් පෙනුම පාලනය කිරීමට කස්තුරි කහ වල ඇති කර්කියුමින් අඩංගු ෆේස් මාස්ක් එකක් යෙදිය හැකියි. සමේ තෙතමනයට කෝමාරිකා සාරය අඩංගු ෆේස් මාස්ක් එකකුත්, බිබිලි ඉවත් වීමට කොහොඹ ආදී විවිධ ඖෂධ පැලෑටි වල අඩංගු සංඝටක ඇතුලත් කළ හැකියි.

දියරමය සීරම් එක (Herbal serum)

සීරම් එක යොදන මාස්ක් එකේ නිමැවුම (ready-market.com)

සාමාන්‍ය ශීට් ෆේස් මාස්ක් එකක් කොටස් දෙකකින් සමන්විතයි. එහි ඇති දියර අඩංගු සීරම් එකෙහි ඖෂධීය සාරයන් අඩංගු වෙනවා. බොහෝ විට රුව රකින ශාකසාර ඖෂධ නවීන තාක්ෂණය හා මුසුකොට එහි ඇති වඩාම ප්‍රතිඵල දායක සංයෝග අධි මාත්‍රාවක් සමඟ සම පෝෂණය කරන විටමින් වර්ග ද එක් කිරීමෙන් මේ සීරම් එක සකසනු ලබනවා. අදාල ඖෂධයට සහ එහි අඩංගු පෝෂණ සංඝටකය මත ඉන් ලැබෙන ක්‍රියාකාරී ප්‍රතිඵලය වෙනස් වෙනවා. ශීට් මාස්ක් මිල දී ගැනීමේ දී කෝමාරිකා, කස්තුරි කහ, කොහොඹ, වෙනිවැල් ආදී ස්වාභාවික සාරයන් අඩංගු නිෂ්පාදන මිලට ගැනීම සුදුසු යි.

මෙම සීරම් එක සමට ලබා දෙන මාධ්‍යය තමයි ශීට් මාස්ක් එක. සීරම් එක වාෂ්ප වීමට ඉඩ නොදී, සමේ උෂ්ණත්වය වැඩි කොට රෝම කූප හැරලන්නට ශීට් එක සමත් වෙනවා. එය සැකසීමට නොවියන ලද ෆයිබර් (Non-woven fiber), කපු, හයිඩ්‍රොජෙල් හෝ ජෛව සෙලියුලෝස් යොදා ගන්නවා. ස්වාභාවිකව සම හා හොඳින් සබැඳෙන්නට මෙන්ම ඖෂධීය සාරය උරා ගන්නට හැකියාව ඇති ජෛව සෙලියුලෝස් තමයි මින් හොඳම විසඳුම වන්නේ. මේ නිසා මිල දී ගැනීමේ දී එ් පිළිබඳව සැලකිල්ලට ගැනීම වැදගත්.

ශීට් මාස්ක් එක වඩාත් කාර්යක්ෂම ඇයි?

ස්නානයට පෙර ශීට් මාස්ක් එක යෙදීම පහසුවක් (shefinds.com)

ශීට් මාස්ක් එක සම සහ වාතය අතර ඇති සීල් එකක් ලෙස ක්‍රියා කරනවා. එවිට ඖෂධ සාර වාෂ්ප වීමේ වේගය අඩු වෙනවා. ශීට් මාස්ක් එක මුහුණේ සමේ අලවා ස්වල්ප වෙලාවක් ඇතුලත සම මතුපිට උෂ්ණත්වය ඉහළට යන නිසා සමේ රෝම කූපයන් විවෘත වෙනවා. එම රෝම කූප අතරින් ඖෂධීය සාරයේ ඇති පෝෂ්‍ය පදාර්ථ පහසුවෙන් සම ඇතුලතට කිඳා බැස වඩාත් පැතිරුණු පෝෂණයක් සමේ අභ්‍යන්තර ස්ථර වලට ලබා දෙනවා.

ඒ වගේම සාමන්‍ය ෆේස් මාස්ක් වල ඇති සම වේලීමට ලක් කිරීම වගේ අයහපත් ප්‍රතිඵල කිසිවක් මෙහි නොමැති නිසා මෘදු සමට වඩාත් උචිතයි

ශීට් මාස්ක් එක පාවිච්චි කරන ආකාරය

ශීට් මාස්ක් එක නිසා සීරම් ගලා නොයන බැවින් එය පැළඳ ඕනෑම තැනක සිටිය හැකියි (thechrisellefactor.com)

පළමුවෙන්ම ෆේස් වොෂ් එකක් යොදා ඔබේ මුහුණ හොඳින් සෝදා පිරිසිඳු කර පිසදමන්න.

  • සැශේ පැකට් එකේ තිබෙන සීරම් එක ෆේස් මාස්ක් ඇසුරුමේ තිබෙන ටබ් එකට දමන්න.

පෙර සඳහන් කළ ආකාරයට මෙම ඖෂධීය සාරය සතුව සම පෝෂණය කිරීමට අවශ්‍ය සියළු පෝෂ්‍ය සාධක තිබෙන නිසා අසුරණයේ ඇති සම්පූර්ණ සාරයම මෙහිදී එක් කර ගැනීම යෝග්‍ය යි. එය ශීට් එකේ ඇති ටබ් එකට එක් කරගත යුතු යි.

  • සීරම් එක සම්පූර්ණයෙන්ම උරා ගන්නා තුරු රැඳෙන්න

සීරම් එක ශීට් එකට උරා ගැනීමට මඳ කාලයක් ගත වෙනවා. මෙම කාලය තුලදී ශීට් එකේ සෑම ස්ථානයක් කරාම ඖෂධ ගමන් කරමින් තැන්පත් වෙනවා. මෙය හොඳින් සිදුවන්නට ඉඩ හැරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබිය හැකියි.

  • ෆේස් මාස්ක් එක දිගහැර මුහුණට දමන්න.

සීරම් එකෙන් පොඟවා ගත් ශීට් මාස්ක් එක දිගහැර මුහුණ මත යොදන්න. එහිදී එය හොඳින් මුහුණේ සෑම පෙදෙසක්ම ආවරණය වන පරිද්දෙන් යෙදීම යෝග්‍ය යි.

  • විනාඩි 15 කින් පමණ ගලවා දමන්න.

ඖෂධ සාරය මුහුණේ සමට කා වැදීමට විනාඩි 15ක් ප්‍රමාණවත් වෙනවා. ශීට් එක නිසා ඒවා වාෂ්ප නොවන අතර එලෙස වැඩිපුර කොටසක් ඒ වන විටත් මුහුණේ රැඳී තිබෙනවා නම්, අවශ්‍ය නම් පිසදා හැරිය හැකියි. නැත්නම් ඒවා මුහුණට කාවදින තුරු තියාගන්නත් පුළුවන්.

ශීට් මාස්ක් යනු සාපේක්ෂව අනෙක් රූපලාවණ්‍ය සත්කාර එක්ක සැසඳීමේ දී කාර්යයක්ෂම සහ මිලෙන් අඩු සත්කාරයක්. රූපලාවණ්‍යවේදීන්ගේ නිර්දේශය අපේක්ෂිත ප්‍රතිඵල ලැබීමට නම් මෙය සතියකට දෙවරක්වත් යෙදිය යුතු බව යි. ඒ අවම ප්‍රමාණය වන අතර හොඳ වර්ගයේ ෆේස් මාස්ක් එකක් ඊට වැඩි වාර ගණනක් වුව පාවිච්චි කිරීම සමේ පැහැපත් බවට වැදගත් වෙනවා.

ශීට් මාස්ක් එකේ ඇති විශේෂ වාසියක් වන්නේ එය පැළඳගෙන වෙනත් වැඩ වල ද නිරත වීමේ හැකියාව යි. මේ නිසා ඔබේ වටිනා කාලය අපතේ නොයන අතර සම්පූර්ණ කටයුත්තටම ගත වන්නේ විනාඩි 15 ක් වැනි කාලයක්. මෙසේ යොදන මාස්ක් එකක් එක් වරක් පමණක් මුහුණේ තැවරිය යුතුයි. ඒ වගේම මුහුණේ කුරුලෑ තිබෙන අවස්ථාවල ශීට් මාස්ක් පාවිච්චිය නුසුදුසුයි. නමුත් කුරුලෑ සුව වූ පසු ශීට් මාස්ක් එක දාන්න පුළුවන්. ඉතින්, මේ ආකාරයට නිසි ආකාරව ශීට් මාස්ක් එක යෙදීමෙන් ඔබට කෙටි කාලයකින්ම හොඳ ප්‍රතිඵල ලබාගෙන තරුණ පෙනුම වැඩිකාලයක් රැකගන්නට හැකියාව ලැබේවි.

Related Articles