Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පසුගිය වසරේ කරලියට ආපු ශ්‍රී ලාංකික වයිරල් වීඩියෝ 5ක්

සෝෂල් මීඩියා ඇතුළු ඩිජිටල් ලෝකයේ අලුත්ම පෙරළිය බවට පත් වෙලා තියෙන්නේ වීඩියෝ කිව්වත් වැරැද්දක් නැහැ. ප්‍රසිද්ධම නෙට්වර්කින් ආයතනයක් වන Cisco එකේ වාර්තාවකට අනුව 2017 දී ඉන්ටර්නෙට් භාවිතයේදී පාවිච්චි වෙන ඩේටා වලින් 69%ක්ම යන්නේ වීඩියෝස් වලටලු.

2015 – 2016 කාලයේ දී ෆේස්බුක් එකේ වීඩියෝස් බලන ප්‍රමාණය 800%කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ එක අවුරුද්දක් ඇතුළත විව්ස් බිලියනයක ඉඳලා බිලියන 8ක් දක්වා වැඩි වීමක්. ඉතින් මාකටින් වලදීත් වීඩියෝස් වල තියෙන වැදගත්කම අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැනේ. සෝෂල් මීඩියා වල මාකටින් කරන එක ලංකාවේ හැම බ්‍රෑන්ඩ් එකකටම දැන් ගොඩක් වැදගත් වෙලා තියෙනවා විතරක් නෙවෙයි, කාලයට ගැළපෙන ට්‍රෙන්ඩ් ගැන දැනුවත් වෙලා නිර්මාණශීලීව මාකටින් කරේ නැත්නම් බිස්නස් එකේ ඉන්නත් අමාරු තත්වයක් තියෙන්නේ.

මෑතකදී ලංකාවේ අය වීඩියෝ බලන එක වැඩි වෙන්න එක හේතුවක් විදිහට පසුගිය අවුරුද්දේදී බිහි වුණු වයිරල් වීඩියෝස් හඳුන්වන්න පුළුවන්. දිනපතාම වීඩියෝ මිලියන ගණනින් හදලා ඉන්ටර්නෙට් එකට දැම්මත් වයිරල් මට්ටමට එන්නේ සමහරවිට මාසයකට එකක් වගේ විතරයි. වයිරල් වීඩියෝ එකක බොහෝ විට පොදු දේවල් කිහිපයක්ම තියෙනවා. සරල බව, හාස්‍යය, කාටත් වැටහෙන පණිවිඩයක් වගේ ලක්ෂණ බොහෝ වයිරල් වීඩියෝ වල දැක ගන්න පුළුවන්.

2016 අවුරුද්දේදී ශ්‍රී ලංකාව තුළ බිහිවුණු වීඩියෝස් වයිරල් තත්වයට ආපු අවස්ථා කවදාටත් වඩා දකින්න ලැබුණා. කාලයක් තිස්සේ ෆොටෝස් හරි, නැතිනම් ආකර්ෂණීය වචන තියෙන පෝස්ට් හරි දාපු ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් ගණනාවක් වගේම සෝෂල් මීඩියාවල ප්‍රසිද්ධ අය වැඩි දෙනෙක් නිර්මාණශීලී වීඩියෝස් හදන එක ගැන අවධානය යොමු කළා. වීඩියෝ කියන මාධ්‍යය කොහොමත් තමන්ගේ ෆෑන්ස්ලා එක්ක තියෙන සම්බන්ධය පහසුවෙන් ගොඩනගාගන්න ඉඩ සලසනවා. ඒ නිසාම තමයි බොහොම ආකර්ෂණීය, හිතට වදින පණිවිඩයක් ලබා දෙන වීඩියෝස් ලේසියෙන්ම වයිරල් තත්වයට පත් වුණේ.

සමහර වයිරල් වීඩියෝස් බිහි වුණේ කාලයට ගැළපෙන දේවල් ගැන හාස්‍යජනක විදිහට කතා කෙරෙන නිසා. සැබෑ ජීවිතයේ සිද්ධීන් පෙන්වන සමහර වීඩියෝස් ලීක් වෙලා හරි, උවමනාවෙන්ම අප්ලෝඩ් කරලා හරි ජනප්‍රිය වුණා. තවත් වීඩියෝස් අපි නිතර නොදකින දේවල් ගැන අවධානය යොමු කරවන්න තියෙන හැකියාව නිසා ජනප්‍රිය වුණා. සමාජයට පණිවිඩයක් දෙන, සමාජයට විනෝදයක් සපයන වීඩියෝස් එහෙමත් මේ විදිහට වයිරල් තත්වයට පත් වුණා.

ඉතින් අපි මේ ඔබට කියන්න යන්නේ 2016 බිහි වුණු ශ්‍රී ලාංකීය වයිරල් වීඩියෝස් අතරින් 5ක් ගැනයි.

1. Trail 2016 – Yamu TV

මහේල සහ සංගා එකතු වෙලා කරපු Trail 2016 ගැන හැමෝම දන්නවා ඇති. මේ කිලෝමීටර් 670ක අති දැවැන්ත පාගමන රට පුරාම කතා බහට ලක් වුණා. නමුත් එහි වැදගත්කම ගැන වැඩි දෙනෙක්ට තේරෙන්න ගත්තේ මේ වීඩියෝ එක දැක්කාට පස්සෙයි. Yamu TV එකෙන් Trail 2016 පා ගමන වෙනුවෙන් නිර්මාණය වුණු මේ වීඩියෝ එක මුළු ලංකාවම මේ වැඩේට එකමුතු කරවන්න සමත් වුණා.

මේ අවුරුද්දේ පැවැත්වුණු Trail පා ගමන ඩොලර් මිලියන 5ක්, නැතිනම් රුපියල් කෝටි 70කට වැඩි මුදලක් දින 28ක් වගේ සුළු කාලයක් ඇතුළත එකතු කරගන්න සමත් වුණා. උතුරේ ඉඳලා දකුණටම ආපු Trail 2016 ට මහේල ඇතුළුව තවත් රට පුරාම ගෞරවයට පාත්‍ර වුණු ව්‍යාපාරිකයන්, නළු නිලියන් ඇතුළු ප්‍රසිද්ධ පිරිස්වල සහභාගීත්වය ලැබුණා. Yamu TV නිර්මාණය කරපු වීඩියෝවේ දැක්වෙන්නේ 2011 අවුරුද්දේ යාපනයේ තෙල්ලිපිලෙයි රෝහලට පිළිකා ප්‍රතිකාර ඒකකයක් ලබා දෙන්න ගියපු පාගමනේ මතක සටහන් කිහිපයක්. දරුවන්, පාසල් ළමුන් වගේම නිවෙස් නැති මිනිසුන් පවා මේ උතුම් කාර්යයට සුළු මුදලකින් හරි දායක වෙන විදිහ පෙන්නුම් කරපු මේ වීඩියෝව විශාල පිරිසක් Trail 2016ට දායක වෙන්න දිරිමත් කළා.

විනාඩි තුනකටත් අඩු මේ වීඩියෝව ලංකාවේ ෆේස්බුක් එකේ ඉන්න බොහෝ දෙනෙක් අතර share වුණා. Yamu ෆේස්බුක් පේජ් එකේ විව්ස් 295,000කුත්, ඔවුන්ගේ යූටියුබ් අඩවියේ විව්ස් 3000කුත් ලබා ගත්තේ ඒ අනුවයි. හොඳ වැඩක් ගැන ෆේස්බුක් ඇතුළු සමාජ ජාල හරහා හරි විදිහට ප්‍රචාරණයක් ලබා දුන්නාම අපේ රටේ මිනිසුන් එකමුතු විදිහට මේක හොඳ උදාහරණයක්..

2. #FaceItFresh මියුසික් වීඩියෝව – CloseUp

මේ අවුරුද්දේ Social Media Video සම්මානය දිනා ගත්තේ CloseUp ආයතනය හදපු #FaceItFresh වීඩියෝ එකයි. ජනප්‍රිය වගේම හැකියාවක් තියෙන ආටිස්ට්ලා, හොඳ කෝරියෝග්‍රැෆි එකක් වගේම ලස්සන කතාවකුත් මේ වීඩියෝ එකේ දකින්න පුළුවන්. තරුණ කාටත් තමන් ගැන තියෙන විශ්වාසය වැඩිදියුණු වෙන විදිහට මේ වීඩියෝව නිර්මාණය වෙලා තියෙනවා. “Face it Fresh” (නැවුම්ව මුහුණ දෙන්න) කියන පණිවිඩය අද කාලේ කාටත් බොහොම වැදගත් එකක්. එදිනෙදා ජීවිතයේදී එන හැම චැලේන්ජ් එකකටම නැවුම්ව මුහුණ දෙන්න කියන දේ මේ වීඩියෝ එකේ නිර්මාණාත්මකව පෙන්නුම් කරනවා.

සෝෂල් මීඩියා ගැන දැනගෙන හදපු නිසා #FaceItFresh වීඩියෝ එක ඉක්මණින්ම ජනප්‍රිය වුණා. නොවැම්බර් මාසයේ පබ්ලිෂ් වෙච්ච මේක සති දෙකක් යන්නත් කලින් ලංකාවේ මිලියන දෙකක් බලලා! තවත් සති දෙකක් යනකොට විව්ස් ගණන මිලියන තුනක්. අපේ රටේ ජනගහණයත් එක්ක මේච්චර දෙනෙක් එකම වීඩියෝවක් නරඹපු එකම ලොකු පුදුමයක්.

ඒත් මේ CloseUp එක මේ වගේ ජයග්‍රහණයක් ලබපු පළවෙනි වතාව නෙවෙයි. මේ අවුරුද්දේ මුල් දවස් වල හදපු “Fresh Breath” වීඩියෝ එකත් ඒ දවස් වල ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙක් නරඹ ෆේස්බුක්පු වීඩියෝ එක බවට පත් වෙන්න සමත් වුණා. මේ වීඩියෝ දෙකම මේ තරම් හිට් වෙන්න ප්‍රධානම හේතුව වුණේ CloseUp ආයතනය සෝෂල් මීඩියා මාකටින් කියන දේ හොඳට තේරුම් ගත්තු එකයි.

3. Cultural Police in Action – චාමර සුමනපාල

සංස්කෘතික පොලීසියක් වෙන්න හදන සිකුරිටිලාගේ මේ වීඩියෝ එක ඔබට මතක ඇති. සමාජයේ අසාධාරණයට මුහුණ දෙන යුවලක් දැක්වෙන මේ වීඩියෝ එකත් ඔන්ලයින් ඉන්න පිරිස අවදි කරන්න සමත් වුණා. 2016 අවුරුද්දේ මාර්තු මාසයේ අප්ලෝඩ් වුණු මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ යුවලකට නිදහස් චතුරශ්‍රයෙන් ඉවත් වෙන්න කියලා බලකරපු දර්ශනයක්. ඒකට හේතුව විදිහට ලබා දීලා තිබුණේ ඔවුන් දෙන්නා පෙම්වතුන් යුවලක් වුණු එකයි. වීඩියෝව ඒ තරම් හොඳ කොලිටි නැති නිසා සද්දේ පැහැදිලිව ඇහෙන්නේ නැති වුණත් ඔවුන් දෙදෙනා කිසිම අනවශ්‍ය වැඩක් නොකරපු බව කාට වුණත් පැහැදිලි වෙනවා. ඔවුන්ට ඉවත් වෙන්න කියලා බල කරන්න තරම් සාධාරණ හේතුවක් කිසිම ආරක්ෂක නිලධාරියෙකුගෙන් ලැබුණේ නැහැ.

මේ වීඩියෝ එක දැකපු ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් බොහෝ දෙනෙක් තමනුත් මේ වගේම විඳපු හිරිහැර ගැන අදහස් දක්වමින් ඔවුන් දෙදෙනා ඒකට එරෙහිව කතා කරපු එක ගැන ප්‍රශංසා කරලා තිබුණා. ඔවුන් බොහෝ දෙනෙක් මේ වීඩියෝ එක share කරපු නිසාම රට පුරාමත් ඒ ගැන විශාල කතාබහක් ඇති වුණා. දින දෙකකට පස්සේ තරුණ පිරිසක් මේ සම්බන්ධයෙන් නිදහස් චතුරශ්‍රයේදී විරෝධතාවකුත් පැවැත්වුවා. ඔවුන් ඉල්ලා සිටියේ අසාධාරණ විදිහට පෙම්වතුන්ට සලකන එක නවත්වන්න කියලයි. කවුරුත් නිහඬව විඳපු හිරිහැරයක් අඩු වෙන්න මේක බොහෝ දුරට හේතු වෙන්න ඇති.

4. කීර්ති පැස්කුවල් මහතා රෝහල්ගත කළ දැරියක් වෙනුවෙන් ගැයූ ගීතය

තවත් බොහෝදෙනා අතර ජනප්‍රිය වුණු වීඩියෝ එකක් තමයි මේ. සැබෑ ලෝකයේ සිදු වුණු මේ සිදුවීම වයිරල් තත්වයට පත් වුණේ ඒ වීඩියෝ එක දැකපු කාගේත් හදවත උණු වුණු නිසයි. ලංකාවේ රෝහලක සිටි දැරියක් වෙනුවෙන් ඇය ආසම ගීතය ගායනා කරන කීර්ති පැස්කුවල් මහතා මේ වීඩියෝවෙන් දැක්වෙනවා.

මේ වීඩියෝව පිටුපස තිබුණේ හරිම දුක්බර කතාවක්. මේ පුංචි දැරිය රෝහල්ගත කරලා තිබුණේ වකුගඩු ආබාධයකට ප්‍රතිකාර ගන්නටයි. නමුත් රෝගය සුව කරන්න බැරි නිසා ඇය දිනෙන් දිනම දුර්වල වෙමින් හිටියේ. බොහෝ දොස්තරලාගේ මතය අනුව ඇය ගත කරමින් හිටියේ තමන්ගේ අවසාන දවස් කිහිපය. තමන්ට අත් වෙලා තියෙන ඉරණම වටහා ගත්තු මේ දැරියගේ අවසාන ඉල්ලීම වුණේ කීර්ති පැස්කුවල් මහතා ගායනා කරන “කඳුල ඉතින් සමාවෙයන්” ගීතය අහන්න ආසයි කියන එකයි. මේ ගැන දැනගත්තු කීර්ති මහත්මයා ඒ දැරිය මියයන්න කලින් ඇය අසලටම වෙලා මේ ගීතය ගායනා කළා. ඊට දින පහකට පසුව ඇය මිය ගියත් ඇගේ පුංචි හීනය සැබෑ වුණු එක ගැන ගොඩාක් සතුටින් අවසාන දවස් කිහිපය ගත කළාලු.

මේ සිදුවීමේ වීඩියෝ එක ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ ඇසට කඳුලක් ගෙන එන්න සමත් වුණා. කීර්ති පැස්කුවල් මහතාගේ කරුණාවන්ත බව ගැන මේ වීඩියෝව බලපු කවුරුත් ප්‍රශංසා කරන්න අමතක කළේ නැහැ.

5. මම සිල් බිඳ ගත්තේ, IRAJ

සිංහල භාෂාවට අලුත්ම වචන පේළියක් එකතු කරන්න සමත් වුණු මේ මියුසික් වීඩියෝව ගැන නම් නොදන්නා කෙනෙක් ඉන්න අමාරුයි. විවාහකයන්ට බාහිර පුද්ගලයන් සමග ඇති වෙන අසම්මත සම්බන්ධතා ගැන කලාකරුවන් බොහෝ දෙනෙක් එක එක විදිහට කතා කරලා තිබුණත් ලංකාවේ මියුසික් වීඩියෝ මාධ්‍යය හරහා සෘජුවම ඒ ගැන කතා බහට ලක්වුණේ මුල් වතාවටයි. ඊළඟට බිහි වුණු “ගිනියම් රෑ” වීඩියෝව තරමටම අපහාසයට ලක් නොවුණත් මේ වීඩියෝ එක ඉරාජ් ගැන ලොකු කතාබහක් ඇති කරන්න සමත් වුණා. 2016 ජනවාරි වල නිකුත් වුණු මේ වීඩියෝව දැනට මිලියන 5කටත් වඩා නරඹලා තියෙනවා.

මේ වීඩියෝ එකේ දැක්වෙන්නේ විවාහක කාන්තාවක් තවත් තරුණයෙක් එක්ක ඇති කර ගන්න සම්බන්ධතාවක් ගැනයි. අවසානයේ මේ සම්බන්ධය විවාහක සැමියාගේ අතටම අසු වෙනවා. මේ ගැන කතා කරන්න පාවිච්චි කරපු දර්ශන ගැන කාගේ අතරත් ලොකු සංවාදයක් ඇති වුණා. ලංකාවේ මියුසික් වීඩියෝ එකක තොල් සිප ගන්න දර්ශනයක් තිබුණේ පළවෙනි වතාවට.

කොහොම වුණත් මීට අවුරුදු ගාණකට කලින් මේක බිහි වුණා නම් ඇති වෙන්න තිබුණු විශාල විරෝධය තරම් මේකට ලොකු බලපෑමක් එල්ල වුණේ නැහැ. තරුණ වයසේ, විවෘත මනසකින් ලෝකය දකින බොහෝ දෙනෙක්ට මේ ගැන ලොකු විවේචනයක් තිබුණේ නැහැ. ටිකක් වයසින් වැඩි පිරිස් නිතර නරඹන රූපවාහිනියට වඩා යූටියුබ් ඇතුළු අන්තර්ජාල අඩවි වල නිතර සැරිසරන තරුණ පිරිස් මේ ගැන කතා කරපු එක හොඳයි කියලත් අදහස් දක්වලා තිබුණා.

කොහොම වුණත් හැම දේටම සෝෂල් මීඩියා තුළ ඉඩක් නැහැ. ඉරාජ් ඊළඟට හදපු “ගිනියම් රෑ” වීඩියෝව නම් සෑහෙන අපහාසයන්ට ලක් වුණා කියන්න පුළුවන්. ශර්මේන් විලිස්, ඉරාජ්, සහ කයිසර් ගායනා කරන මේ ගීතයේ මියුසික් වීඩියෝ එකේ සමලිංගික ක්‍රියාවන් වල යෙදෙන කාන්තාවන් දෙදෙනෙකුගේ දර්ශන ඇතුළත් වුණු එකට විශාල විරෝධතාවක් ඇති වුණා. මොන කෝණයකින් මේ දිහා බැලුවත් බැලුවත් ඉරාජ්ට වයිරල් වීඩියෝ සඳහා අවශ්‍ය දේ ගැන හොඳ දැනුමක් තියෙන බව නම් කියන්න පුළුවන්. 2015 දී ඔහුගේ “මනමාලී” ගීතය කා අතරත් ජනප්‍රිය වීම ඒකට හොඳ සාක්ෂියක්.

තවමත් ශ්‍රී ලංකාවේ රූපවාහිනී බලන පිරිස ඉන්ටර්නෙට් එකේ වීඩියෝ බලන පිරිසට වඩා අඩුයි කියන එක ගැන නම් තර්කයක් නැහැ. හැම බ්‍රෑන්ඩ් එකක්ම ඉස්සර වගේම විශාල මුදලක්, කාලයක් වය කරලා රූපවාහිනී දැන්වීම් නිර්මාණය කරන්නේ ඒ නිසාමයි. ඒත් පැහැදිලිවම දකින්න තියෙන්නේ රූපවාහිනී බලන පිරිසේ අඩු වීමක් සහ ඔන්ලයින් වීඩියෝ බලන පිරිසේ වැඩි වීමක්. රූපවාහිනියේ යන වැඩසටහන් පවා ඔන්ලයින් බලන එක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක.

එන්න එන්නම ඔන්ලයින් ඉන්න පිරිස වැඩි වෙන, ස්මාට් ඩිවයිසස් භාවිතය වැඩිවෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක හැම ආයතනයකටම තමන්ගේ මාකටින් පැත්ත ගැන අලුතෙන් හිතන්න සිද්ධ වෙලා. ඔන්ලයින් ඉන්න කට්ටිය දකින දේකට අවධානය යොමු කරන්නේ බොහොම සුළු කාලයකට විතරයි. නිකන්ම දර්ශන පෙළකින් වීඩියෝ පණිවිඩයක් දුන්නු තරමින් ඒක ජනප්‍රිය වෙන්නේ නැහැ. ඔවුන්ගෙන් සහයෝගයක් ගන්න නම් තමන්ගේ පණිවිඩය බොහොම නිර්මාණාත්මකව දෙන්න වෙනවා. දකින දෙයක් share කරන්න, ඒ ගැන සෝෂල් මීඩියා තුළ කතා කරන්න කවුරුත් පෙළඹෙන්නේ එතකොටයි.

2016 අවුරුද්දේ සාර්ථක වයිරල් වීඩියෝස් ගණනාවක්ම නිර්මාණය වුණු එකේ මේ අවුරුද්දෙත් විශාල වයිරල් වීඩියෝස් ගණනාවක්ම බිහි වේවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. අර්ථවත්, විනෝදාත්මක වගේම හොඳ පණිවිඩයක් දෙන වයිරල් වීඩියෝස් 2017දීත් බිහි වෙන තුරු ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් වගේම Roar අපිත් බලාගෙන ඉන්නවා.

මෙම ලිපිය පලකරන ලද්දේ Closeup සමග සහයෝගයෙනි.

Related Articles