තමන්ගේ පුද්ගලික දියුණුව, යහපත ගැන හිතලා ජීවත් වන මිනිසුන් පිරිසක් එකට එකතු වී ජීවත් වීමෙන් සමාජයක් බිහි වීම තමයි සාමාන්‍යයෙන් ස්වභාවිකව සිදු වෙන්නේ. මොකද විද්‍යාවෙන් පිළිගන්නා ආකාරයට මිනිසා කියන්නේ පරිණාමනය නිසා ඇති වූ තවත් ජීවී කොටසක්. අපේ ආදී මුතුන් මිත්තන් වුණු වානරයන් වගේම ඊටත් ප්‍රථමව බිහි වුණු සත්ව කොට්ඨාශයන් සියල්ලක්මත් සතුව තියෙන එක ලක්ෂණයක් තමයි තනිව ජීවත් වීම හෝ කණ්ඩායම් ලෙස වෙන් වී සිටීම. එතැනදී තමන්ගේ හෝ තම කණ්ඩායමේ සුභසිද්ධිය තකා පෙනී සිටීමත්, එහි පැවැත්මට අභියෝගයක් වෙන දේට එරෙහිව නැගී සිටීමත් තමයි පදනම බවට පත් වුණේ.

ශක්තිවන්තයා ජය ගැනීම සත්ව ලෝකයේ යථාර්ථයයි. (nationalgeographic.com)

කොහොම නමුත් මේ ස්වභාවික නීතිය ලෝකයේ බුද්ධිමත්ම ජීවී කොට්ඨාශය වන මිනිසුන්ට ගැළපෙනවාද කියන කාරණාව සිතා බැලිය යුතු කාරණාවක්. බුද්ධිය දියුණු වීමේ යම් සීමාවක් ඉක්මවා ගියාට පස්සේ හැම දේම ස්වභාවික නීතියට අනුව සිදු වෙන්න ඉඩ හැරීමෙන් ඇති විය හැකි ගැටළු ගැන මෙයින් ඔබට හොඳ අදහසක් ගන්න පුළුවන් වේවි.

ශ්‍රී ලංකාව ඇසුරෙන් හිතලා බලමු

මතවාද කිහිපයක්ම තිබුණත් දැනට වැඩිම පිළිගැනීමට ලක් වෙන මතවාදය තමයි විජය කුමරුගේ පැමිණීමත් එක්ක අපේ රටේ ශිෂ්ඨාචාරයක් ආරම්භ වුණා කියන එක. ඉන්දියාවේ සිට පැමිණි ඔවුන් ඒ වන විටත් එරටේ තිබුණු ශිෂ්ඨාචාරවල ලක්ෂණ මෙරටට ගෙන ආ බව පිළිගැනෙනවා. එතැනින් පස්සේ අපේ රටේ ශිෂ්ඨාචාරයට වැඩිම බලපෑමක් ඇති කළ කාරණාව වුණේ බුදු දහම රාජ්‍ය මට්ටමෙන්ම, නිල වශයෙන්ම අපේ රටට ලැබුණු එකයි. බුදු දහමත් එක්කම ලැබුණු ආචාර ධර්ම සියල්ලම ලංකාවේ ඉදිරි ගමන් මග සැළකිය යුතු ලෙස වෙනස් කරපු බවට විවාදයක් නැහැ.

අවිහිංසාවාදී දහමක් විදිහට කා අතරත් පිළිගැනෙන බුදු දහම මෙරට ජන සමාජය උඩු යටිකුරු කරන්නට ඇතැයි හිතන්න පුළුවන්. ස්වභාව ධර්මයේ නීතියේ තිබුණු ආත්මාර්ථකාමී බවින් මිදිලා සියලු සත්ත්වයන්ට නිදුක් බව, නීරෝගී බව, සුවපත් බව පතන්න ගුරුහරුකම් ලැබුණේ බුදු දහම තුළින්. බෞද්ධයන් සියලු දෙනාට සිල්වත්ව ජීවත් වෙන්න මගපෙන්වීම් ලැබුණා. බෞද්ධ කමේ මූලිකම පදනම විදිහට සැලකුණේ තෙරුවන් සරණ යාම සහ පන්සිල් පද ආරක්ෂා කිරීමයි.

බුදු දහම ලැබුණු මොහොත. (youtube.com)

මේ විදියට ගත්තම​, අපේ රටේ අතීත සමාජය පදනම් වුණේ පන්සිල් රැකීම මත කියලා හිතන්න පුළුවන්. ස්වභාව ධර්මයේ නීතිය මත පදනම් වෙනවාට වඩා කාගේත් යහපත උදෙසා උපකාරී වන පන්සිල් මත පදනම් වීම ඉතාම හොඳ බව කාට වුණත් වැටහෙනවා ඇති.

අද තත්ත්වය.

පන්සිල් පද පහෙන් මුල්ම සිල්පදයේ මූලය වෙන්නේ සියලු සත්වයන්ට හිංසාවකින් පීඩාවකින් තොරව දිවි ගෙවන්න ඉඩකඩ ලබා දිය යුතුයි කියන එකයි. ඒ කාරණය සෘජුවම​ මිනිසුන්ටත් අදාළ කරගත් නිසා අතීතයේ සිටම බොහොම සාමකාමී ජීවන රටාවක් රටේ සාමාන්‍ය ජනතාව​ අතරේ තිබුණ බව හිතන්නට පුළුවන්. ස්වභාව ධර්මයේ නීතියට විවිධ වෙනස් කම් මූලික කරගෙන කණ්ඩායම් බිහි වීම සෑම විටම සිදු වුණත් ඒ කණ්ඩායම් අතරේ ගැටීම් ඇති වීම අවම වුණේ ඒ නිසයි. ඉතා ඈත අතීතයේ ඉඳන්ම විවිධ ජන කණ්ඩායම් ලංකාව තුල සාමකාමීව ජීවත් වෙන්න එය විශාල වශයෙන් හේතු වුණා. වරින් වර මෙරට ඇති වුණු යුද්ධවල පවා බොහෝ විට මූලික හේතුව වුණේ ජන සමාජයට අහිතකර ප්‍රතිපත්තිවලට එරෙහි විරෝධතාවයි. සාමාන්‍යයෙන් දේශපාලන පෙරළි අගනුවරට සීමා වූ අතරේ සාමාන්‍ය ජනයා ගම් දනව්වල, ආගම දහම එක්ක​ සබැඳි ජීවිතයක් ගෙන ගියා.

රජරට ශිෂ්ඨාචාරයේ බිඳ වැටීමත් එක්ක අපේ ස්වයංපෝෂිත ආර්ථිකය කඩා වැටීම සහ ඉන් පසු කාළයක සිදු වූ යුරෝපීයයන්ගේ ආගමනය එක්ක මේ කරුණු වෙනස් වුණා. රට තුළ එකමුතු බවක් පැවතීම තමන්ගේ අරමුණුවලට තර්ජනයක් බව යුරෝපීයයන් ඉක්මණින් තේරුම් ගත්තා. තමන්ගේ දේශපාලනික අරමුණු වෙනුවෙන් මෙරට ජාතීන් අතර භේදයක් ඇති කිරීම තමයි යුරෝපීය ජාතිකයන්ගේ ප්‍රධානම ක්‍රමෝපාය වුණේ. මේ තත්වයේ උච්චම අවස්ථාව විදිහට ශතවර්ෂ තුනක් පුරා ශක්තිමත්ව පැවති කන්ද උඩරට රාජධානිය බිඳ වට්ටන්න ජාති භේදය ඇති කිරීම පෙන්වා දෙන්න පුළුවන්.

අපිට වැරැද්දූ “උනුත් එකයි, මුනුත් එකයි” න්‍යාය.

යුරෝපීයයන්ට තිබුණු නොක්කඩුව ටිකක් අඩුයි නේද? (dailynews.lk)

ලංකාවට විවිධ කාලවල විවිධ ජන කොටස් සංක්‍රමණය වෙලා තිබුණත් ඔවුන් බොහෝ විට විදේශිකයන් කියන තත්වයෙන් බැහැර වෙලා මේ රටේ ජන සමාජයට එක් වෙන්න වැඩි කලක් ගියේ නැහැ. ශ්‍රී ලාංකීයයන් යනුවෙන් අපි අද ප්‍රචලිත කරන්න හදන​ සංකල්පය ඊට බොහොම සමාන ආකාරයකින් ඉබේම සිදු වුණා. විදේශිකයන්ගෙන් සිදු වුණු ආක්‍රමණවලට ඉහළ විරෝධතාවක් එල්ල වුණත් මෙරටේ ජන සමාජයට එක් වෙලා ලාංකිකයන් බවට පත් වුණු විවිධ ජනකොටස්වල විවිධත්වය පාදක කරගෙන ගැටුම් ඇති වීම නම් සිදු වුණේ හරිම කලාතුරකින්.

මේ තත්වයේ පැහැදිලි වෙනසක් යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ පැමිණීමෙන් පසු දකින්න ලැබුණා. මොකද ඔවුන්ට අවශ්‍ය වුණේ රට යටත් කරගෙන ආර්ථික වාසි සලසා ගැනීමයි. ඒක හුදු ආක්‍රමණයකින් එහා ගිය, දිගු කාලීන අරමුණක් නිසා දශක ගණනාවක් යන තුරු ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙනස් වුණේ නෑ. විවිධ ජනවර්ග අතර වෙනස්කම් වර්ධනය වන්නට යුරෝපීයයන් ගෙන ගිය පාලනය හේතු වුණා.

එකිනෙකා කෙරෙහි වූ අවිශ්වාසය පරදේශක්කාරයින් ගැන මෙන්ම මේ රට වැසි ජනවර්ග අතරත් පැතිරෙන්න ගත්තේ බුදු දහමෙන් ලැබී මෙරට මුල් බැස ගත් අවිහිංසාවාදය, සියලු දෙනාට පීඩාවකින් තොරව ජීවත් වීමේ අයිතිය පිළිගැනීම අතහැර දමලා ආපහු අර මුලින්ම කිව්ව විදිහට ස්වභාව ධර්මයේ නීතියට ආවඩමින්. තමන්ගේ, තම කණ්ඩායමේ අවශ්‍යතා වෙනුවෙන් තවත් අයගේ ජීවත් වීමේ අයිතිය නොසලකා හැරීමේ ආකල්පය නැවත දළු ලන්න ගත්තේ ඒ අනුවයි.

එක දිගට තියෙන යුද්ධවලින් වැටහෙන දේ.

අනාදිමත් කාළයක සිට​ ඇති වුණු යුද්ධ හැම එකකින්ම තහවුරු වෙන එක දෙයක් තියෙනවා, ඒ තමයි යුද්ධය සහ ආකල්පමය වෙනස කියන දෙකම එකට සිදු නොවුණු තැන්වල යුද්ධයේත්, විනාශයේත් කිසිම අවසානයක් නැති බව. සමාජයට අහිතකර ප්‍රතිපත්තියක් පරාජය කරන්නට ඇති වන යුද්ධ බොහෝ විට සාර්ථක වුණත් තවත් ජාතියක් කෙරෙහි වෛරයෙන් ඇති කර ගන්නා යුද්ධ හැමදාමත් තාවකාලික විසඳුම් පමණයි.

මේ කාරණයත් එක්ක​ ස්වභාව ධර්මයේ නීතිය දියුණු මිනිසුන්ට නොගැළපෙන්න බලපාන හේතු ගැන වටහා ගන්න පුළුවන්. කෙනෙක් පරාජය වෙනවා, කෙනෙක් ජය ලබනවා යන්න චක්‍රයක්. මෙය කොතනින් හෝ බිඳ දැමුවේ නැත්නම් කිසි වෙනසක් වන්නේ නැහැ. පරාජයෙන් පීඩා විඳින අය සහ ජයග්‍රහණයෙන් සතුටු වෙන අතර එහාට මෙහාට දෝලනය වෙනවා මිසක් සැබෑ සාමයක් උදා වෙන්නේ නැහැ. කාටත් අවශ්‍ය වෙන්නේ පුළුවන් වුණු ගමන් අනිත් අයට එරෙහි වෙන්නයි.

අපිට අවශ්‍ය නම් අපිව විනාශ කරගන්න හරිම පහසුවෙන් පුළුවන්. (suchtv.pk)

අද අපි ලබා තියෙන තාක්ෂණික, සන්නිවේදන දියුණුවත් එක්ක හුදෙක් ජයග්‍රහණය උදෙසාම ඇති වන ගැටුම් ඉතා විනාශකාරී ඒවා බවට පත් වෙලා අවසන්. මොකද ඉතාම කාර්යක්ෂමව මහා විනාශයන් සිදු කරන්න පුළුවන් දේවල් කිසිම ඉවක් බවක් නැතිව යොදා ගන්න සාරධර්මයෙන් හීන​ වූ මිනිසුන් කවදාවත් පසුබට වන්නේ නැහැ.

මේ නිසා ඊට වඩා පැහැදිලිවම වෙනස්, සාර්ථක විසඳුමක් සොයා ගැනීමේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා.

අලුත් විසඳුමක්: වටිනාකම් පාදක කර ගනිමු.

වටිනාකම් පාදක කරගන්න සමාජයක සාර්ථකත්වය තේරුම් ගන්න වැඩි අපහසුවක් නැහැ, යුරෝපීය ජාතීන් මේ රටේ බලය අල්ලා ගත් කාලයට කලින් මෙරටේ ජන සමාජය ගැන හොයලා බැලුවොත් එය ඉතාම පැහැදිළියි.

mirror.co.uk

දශක තුනකට ආසන්න කාලයක් පැවතුණු ශ්‍රී ලංකාවේ යුධ තත්ත්වය මෙතැනදී හොඳ උදාහරණයක් කරගන්න පුළුවන්. කාලයක් තිස්සේ රටට මහා විනාශයක් සිදු කරපු ඒ යුද්ධය ඇවිලෙන්නත්, පැතිරී යන්නත් මූලික​ වුණේ යුරෝපීයයන් අපිට දායාද කරලා ගිය අවිශ්වාසය, භේදය, සැකය වගේ කාරණා එකිනෙකා අතර ඇති කර ගැනීමයි. යුද්ධයක් ආරම්භ වුණාට පස්සේ එයට සපයන විසඳුම් ගැන එකිනෙකාගේ ආකල්ප කොහොම වුණත් අති විශාල නාස්තියක් සිදු කරන යුධ ගැටුම් හැකි ඉක්මණින් අවසන් කර දමමින් සාමකාමී බව ස්ථාපිත කිරීමේ වටිනාකම කවුරුත් පිළිගන්නවා. ඊටත් වඩා අතිශයින්ම වැදගත් වෙන්නේ කිසිම ආකාරයක යුද්ධයක් ඇති වෙන්නට ඉඩ නොතියන එකයි.

සමාජයේ ජීවත්වන පුද්ගලයන්ගේ අදහස්

සාමයෙන් ජීවත් වීම ඉහළින්ම අගය කරන බුද්ධ පුත්‍රයෙකුගේ මේ දේශනාව ඇසුවොත් මේ කාරණාව ඔබට තවත් තහවුරු වේවි. අප ජීවත්වන ජන සමාජයේ උන්නතියට ඇත්තටම අවශ්‍ය වන්නේ මේ වගේ වටිනාකම් ඉහළින් සැලකීම නේද?

මාතර ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් මිනිසෙක් සමඟියෙන්, සාමූහිකව සිටීම ගැන කියන මේ කතාව නිකමට බලන්න. භේද භින්න වෙලා සැකයෙන් ජීවත් වීම ඇත්තටම අවශ්‍යද කියන දේ එතකොට වැටහෙයි.

ඒ වගේම​, තමන්ගෙ පවුලම ඝාතනය වුණු හැටි ගැන, තමන්ගේ ධෛර්යය නිසා එයින් ගොඩ ආ හැටි ගැන මේ කාන්තාව කියන දේ බලන්න. මේ වගේ මතකයන් සුරැකිව පවත්වා ගනිමින් ඒවායෙන් පාඩම් ඉගෙන ගනිමින්, කාලයකට පෙර අපි කවුරුත් අතින් සිදුවූ වැරදිවලට නැවත හිස ඔසවන්නට ඉඩ නොදෙන්න වගබලා ගත යුතුයි නේද?

දෙමළ නම් දෙමළ අයට විතරයි, සිංහල නම් සිංහල අයට විතරයි කියලා පැති බෙදා බෙදාගෙන උදව් පදව් කර ගන්නවා වෙනුවට ශ්‍රී ලාංකිකයන් විදියට සිටීමේ වැදගත්කම ගැන මේ දමිළ කාන්තාව කියන දේත් බලන්න.

 

ඉතින් තනි තනි පුද්ගලයන් වශයෙන් වුණත්, තවත් පිරිසකට තියෙන අයිතිවාසිකම් අපි නැති නොකළ යුතුයි කියන යථාර්ථය වටහා ගැනීම ඉතා වැදගත්. අප විසින් පුරුදු පුහුණු කළ යුත්තේ එකිනෙකාගේ ගරුත්වයට සහ ස්වාධීනත්වයට ගරු කරන, ඉවසීම ප්‍රගුණ කරන, ජාතිය ගැන පමණක් සළකා පෙර තීරණ ගැනීමෙන් (prejudice) වැළකුණු, යුද්ධය නිසා ඇති වුණු අමිහිරි මතකයන් නැවත යුද්ධයකට නොයා යුත්තේ ඇයි යන්නට හේතු ලෙස දකින, සරලවම කිව්වොත් මිනිසත් බවේ වටිනාකම් සුරකින සමාජයක්. සාමකාමී වාතාවරණයක් රැක ගැනීමට එය​ ඉතාම වැදගත් වෙනවා. ඔබටත්, මටත්, අපේ රටටත් සුන්දර අනාගතයක් බිහි කරන්නට මෙම ගුණාංග පුද්ගලයින් වශයෙනුත්, සමාජීය වශයෙනුත් වර්ධනය කරගැනීම​ දායක වෙනවා නිසැකයි.

මෙම ලිපියෙහි අඩංගු පුද්ගල අත්දැකීම් ලබාගත්තේ “The Community Memorialization Project”, වෙතින්.

කවරයේ රූපය: councilofnonprofits.org