තරුණයා දැනුවත් වීම සහ මාධ්‍ය භූමිකාව

දශක තුනක පමණ කාළයක් තිස්සේ පැවති යුද්ධයක් අවසාන වූ පසු ශ්‍රී ලංකාවේ ජනතාවට රට නැවත ගොඩ නැගීමේ අභියෝගයට මුහුණ දීමට සිදුව තිබෙනවා. මෙහිදී, යුධ සමය තුළ කඩා වැටුණ ආර්ථිකය ගොඩ නැගිය යුතු වනවාක් මෙන්ම ජාතීන් අතර අන්‍යොන්‍ය විශ්වාසය ගොඩ නැගීම ද ප්‍රබල අභියෝගයක්.

අපේ වැඩිහිටියන් ඇතමෙක් පවසන පරිදි යුද්ධය ඇතිවීමට පෙර රටේ විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් සාමාන්‍යයෙන් සමගියෙන් කල් ගෙව්වා. ඇතැම් අවස්ථාවල යම් යම් හේතු මත ප්‍රශ්න ඇතිවූ නමුත්, ඒ බොහොමයක් දේ පිටිපස දේශපාලන කතාන් දරයක් දකින්නට පිළිවන්. එයින් ඔබ්බට​, සාමාන්‍ය ජනතාව අතර සබඳතා එකළ අයහපත් තත්ත්වයක පැවතුණේ නැති බව අසන්නට ලැබෙනවා.

1950 – 60 දශකවල කොළඹ නගරයේ, ජාතීන් කිහිපයකට අයත් සාමාන්‍ය වැසියන් අසල්වැසියන් සේ දිවි ගෙවූ බව එකළ එහි ජීවත් වූ සිංහල වැසියන් මෙම රචකයා සමඟ පවසා තිබෙනවා. ඔවුන් සමහරෙකුට ඉතා හොඳින් දමිළ බස හැසිරවිය හැකියි. එමෙන්ම ඒ ඒ ජාතීන්ට අයත් අයගේ උත්සව සඳහා ඒ සියලු දෙනා සහභාගී වී තිබෙනවා.

1970 දශකයේ යාපන විශ්ව විද්‍යාලය ඇරඹි සමයේ එහි අධ්‍යාපනය ලද සිංහල සිසුන් නැවතී සිටියේ දමිළ නිවෙස්වලයි. එහි වැසියන් එම සිසුන්ට අවශ්‍ය ආරක්ෂාව නොඅඩුව ලබා දුන් බව එහි අධ්‍යාපනය ලද කිහිප දෙනෙකුම මෙම රචකයා හා පවසා තිබෙනවා.

මේ අයුරින්ම සිංහල ජනතාව වැඩිපුර වාසය කරන ඇතැම් ප්‍රදේශවල අදටත් විශාල දමිළ, මුස්ලිම් ජනතාවක් වාසය කරනවා.

තරුණ පරපුර, ජනමාධ්‍ය​ සහ නව මාධ්‍ය​

ජාතීන් අතර අන්‍යොන්‍ය විශ්වාසය ගොඩ නැගීම වඩා වැදගත් වන්නේ සහ වඩා ඉලක්ක විය යුත්තේ තරුණ පරපුර කෙරෙහියි. අතීත කාළයේ සිදුවූ බොහෝ දේ මේ අය දැක නැහැ. ඔවුන් දන්නේ ඔවුන් ඇසූ දෙයක් පමණයි. උතුරේ බොහෝ දෙනා දකුණේ සිංහල ජනයා ජීවත්වන අයුරු දකින්නේ නැහැ. එමෙන්ම දකුණු සිංහල ජනයා උතුරේ දමිළ ජනයා ජීවත්වන ආකාරය දකින්නේ ද නැහැ. ජාතීන් සමීප කරවීමෙහි ලා නව තාක්ෂණය ඉතා වැදගත් වන්නේ මේ නිසයි.

මාතර අකුරැස්සේ මුස්ලිම් පවුලක සාමාජිකයකු මාධ්‍යවල භාවිතාව පිළිබඳ පවසන්නේ මෙවැන්නක්. එක් ප්‍රජාවකට බලපාන ප්‍රශ්න වෙනුවට සියල්ලන්ටම බලපාන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඇතිවිය යුතු බවත්, අනවශ්‍ය ප්‍රචාරයන් වෙනුවට අවබෝධය වර්ධනය වන ආකාරයේ ප්‍රචාරයන් සිදු විය යුතු බවත් ඔහු කියා සිටිනවා. මෙහිදී මාධ්‍යවලට වැදගත් කාර්යයක් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා.

එක් ප්‍රජාවකට බලපාන ප්‍රශ්න වෙනුවට සියල්ලන්ටම බලපාන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඇතිවිය යුතුයි (memorymap.lk)

දෙරණ රූපවාහිනියේ ඉංග්‍රීසි පුවත් සංස්කාරක දීපාල් වර්ණකුලසූරිය කියා සිටින්නේ මාධ්‍යවලින් සත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම ඉතා වැදගත් බවයි. යම් කිසි පුවතක් ප්‍රචාරයේදී එහි කරුණු තහවුරු කරගෙන සත්‍ය තොරතුරු ලබා දීම ජනමාධ්‍යවල වගකීමක් බව ඔහු සඳහන් කළා.

තාක්ෂණික දියුණුවත් සමඟ මිනිසාගේ තොරතුරු දැන ගැනීමේ හැකියාව පුළුල් වීම යහපත් කරුණක්. ලෝකයේ යම් කොණක සිදු වන්නක් පිළිබඳ තොරතුරු එකතු කිරීම​, බෙදා හැරීම සහ ඒවා ලබා ගැනීම අද වනවිට වෙනදාටත් වඩා පහසුයි. මීට සියවසකට පෙර පණිවිඩයක් ලබා ගැනීමට දින ගණන් බලා සිටි මිනිසා අද ලෝකයේ එහා කොණේ සිදු වන්නක් සජීවීවම මෙන් දැක බලා ගන්නවා.

රූපවාහිනිය සහ ගුවන් විදුලියටත් වඩා අද තරුණයින් අතර ජනප්‍රියව ඇත්තේ ජංගම දුරකථනයයි. බොහෝ දෙනා ළඟ අද කාළයේ “ස්මාර්ට් ෆෝන්” එකක් තිබෙනවා. ෆේස්බුක් ගිණුමක් නොමැති අයකු ද සොයා ගන්න අපහසුයි. සමාජ මාධ්‍ය යනු අද කාළයේ නව මාධ්‍ය බවට පත්ව තිබෙනවා.

ජංගම දුරකථන භාවිතය ඉහළ යාමත් සමඟ සමාජ මාධ්‍ය දැන් සාමාන්‍ය දෙයක් (yth.org)

මෙවැනි මාධ්‍ය ඔස්සේ යම් තොරතුරක් ඉතා වේගයෙන් ප්‍රචාරය කළ හැකියි. එහෙයින් ඇතැම් අය මෙය භාවිතා කරන්නේ ව්‍යාජ ප්‍රචාරයන් පැතිරවීම සඳහායි. එමෙන්ම ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වන ඇතුලු ඇතැම් අන්තවාදී සංවිධාන ලොව පුරා අනුගාමිකයන් සොයා ගැනීම සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරණයන් හි නිරත වන බව ප්‍රසිද්ධ කරුණක්.

මෙවන් පසුබිමකදී සමාජ මාධ්‍ය සඳහා වැට බැඳීම යනු තවත් එයට අනුබල දීමක්. ඒ වෙනුවට සිදුවිය යුත්තේ එම ප්‍රචාරණ මාධ්‍ය වඩා යහපත් දේ සඳහා මෙන්ම නිවැරදි තොරතුරු ප්‍රචාරය සඳහා භාවිතා කිරීමයි. බොහෝ යුරෝපීය රටවල පොලිසිවලට නිල ට්විටර් සහ ෆේස්බුක් අඩවි තිබෙන අතර පසුගිය සමයන් හි සිදුවූ විවිධ ත්‍රස්ත ප්‍රහාර අතරතුර ඒවායෙන් අලුත් තොරතුරු ප්‍රචාරය කෙරුණා. එමගින් කටකතා පැතිරීම පාලනය වුණා.

ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය ආයතන මීට වඩා සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරී වීම අත්‍යාවශ්‍ය දෙයක්. අද වනවිට එම කටයුතු සිදු කරනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව වැනි සීමිත ආයතන කිහිපයක් පමණයි. තරුණයින් සමාජ මාධ්‍ය භාවිතය වැඩියෙන් කරන පසුබිමක ඔවුනට සමීප වීමට මෙය අත්‍යාවශ්‍යයි.

ආකල්පමය වෙනසක්

එනේබල් ශ්‍රී ලංකා සංවිධානයේ ආරම්භකයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන ජනිත රුක්මාල් කලක පටන් සංහිඳියාව පිළිබඳ අදහස් දක්වන්නෙක්. ඔහු සඳහන් කරන්නේ සාමය, සංහිඳියාව වැනි පණිවිඩ සමාජගත කිරීමේදී වඩා බරපතල ප්‍රශ්නය වී ඇත්තේ ඒ සඳහා භාවිතා කරන මාධ්‍යය නොවන බවයි. රජයයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ තරුණ ප්‍රජාව ද ශ්‍රී ලංකාව තුළ විවිධත්වය වැළඳ ගැනීම සහ සමාජ සංහිඳියාව ඇති කිරීම පිළිබඳ පණිවිඩය ලබාදීමේදී සම්පූර්ණ අවංකභාවයෙන් කටයුතු නොකිරීමේ ප්‍රශ්නයක් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා. විවිධ ප්‍රජාවන් අතර අවිශ්වාසය බිඳ හෙලීමේදී අප පෙන්වා ඇති අසාර්ථකත්වයන් පිළිබඳ නැවත අවංකව සිතා බලා මීළඟ පියවරයන් කරා ගමන් කළ යුතු බවයි ඔහුගේ අදහස වන්නේ.

තවද​, සමාජ මාධ්‍යවලින් මේ සඳහා විශාල කාර්ය භාරයක් කළ හැකි නමුත්, ප්‍රධාන මාධ්‍යයන්ට සමාජයේ මුල්බැසගෙන ඇති මිත්‍යාවන් මුලිනුපුටා දැමීම සඳහා අවශ්‍ය පණිවිඩ විවිධ ආකාරවලින් ලබාදීමේ හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දෙනවා. මේ අනුව​, ප්‍රධාන මාධ්‍යයනුත්, සමාජ මාධ්‍යයනුත් යොදාගෙන​, තරුණ පරම්පරාව වෙත මෙම පණිවිඩය පටු දේශපාලන හෝ වෙනත් අරමුණුවලින් තොරව ලබා දිය හැක්කේ නම් මීට වඩා බොහෝ දුර යා හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

සාමාන්‍යයෙන් තරුණ ප්‍රජාව අතර සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වනවා. බොහෝ විට ඒ ඒ අයගේ දැනුම සහ අවබෝධය මත මෙසේ හුවමාරු වන කරුණු රඳා පවතින බව කිව යුතුයි. එහෙයින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, විශේෂයෙන් ම තරුණයින්, වැදගත් ලෙස සැළකිය යුතු වගකීමක් තිබෙනවා. එනම් සමාජය දැනුවත් කිරීමයි. විශේෂයෙන්ම රටේ අධ්‍යාපන ක්‍රමයේ යම් යම් අඩුපාඩු හේතුවෙන් විදෙස් භාෂා පිළිබඳ දැනුම අඩුව පවතින රටක​, එවන් දැනුම ඇති මාධ්‍යවේදීන් සහ තරුණ පරපුර විසින් සමාජය දැනුමින් සන්නද්ධ කිරීම සඳහා මීට වඩා ක්‍රියාකාරී මැදිහත්වීමක් කළ යුතුව තිබෙනවා.

මෙහිදී හැකි පමණ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතා කිරීමටත්, එසේ නොමැති අවස්ථාවල සමාජ මාධ්‍ය භාවිතා කිරීමටත් හැකියි. තරුණ පරපුර වෙත තම යුතුකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම ද මෙහිදී ඉතාම වැදගත් කර්තව්‍යයක් වනවා. එමෙන්ම කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ විවේචනයට නොයමින් තමුන් සතු කාර්යය අවබෝධ කරගෙන ඒ ආකාරයෙන් කටයුතු කිරීම ද වැදගත් වනවා.

Related Articles