Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජයගත් එක්දින තරග

එක්දින තරගයක් කඩුලු 10කින් ජයග්‍රහණය කිරීම ඕනෑම කණ්ඩායමකට විශාල අභියෝගයක් වනවා. එම නිසාම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පවත්වා ඇති තරග 4255 තුළ දී එවැනි ජයග්‍රහණ 55ක් පමණක් හමුවනවා. එහි දී බටහිර ඉන්දීය කොදෙව්වන් අවස්ථා 10ක දී එම දස්කම දක්වා ඇත්තේ එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම වාර ගණනක් කඩුලු 10ක ජයග්‍රහණ ලබාගත් කණ්ඩායම බවට පත් වෙමින්. කොදෙව්වන්ට පසුව මෙම දස්කම වැඩිම වාර ගණනක් පෙන්වූ කණ්ඩායම් ගැන දැනගැනීමට ඔබ කුතුහලයක් දක්වන නිසාම පහත දක්වා ඇත්තේ එක් එක් කණ්ඩායම කඩුලු 10කින් එක්දින තරගයක් ජයගත් අවස්ථාවන් ගණන යි. 

* බටහිර ඉන්දීය කොදෙව්- 10     *නවසීලන්තය- 9 *දකුණු අප්‍රිකාව- 7  

*ශ්‍රී ලංකාව- 6                           *ඉන්දියාව- 6 *එංගලන්තය- 6

*ඕස්ට්‍රේලියාව- 5                       *පාකිස්ථානය-4 *කෙන්යාව

*ඇෆ්ගනිස්ථානය-1

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ ඉහත දස්කම තුන්වරක් දක්වන විට, ඉතිරි අවස්ථාවන් 3 දී ඔවුන් එම දස්කම දක්වනු ලැබුවේ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ යි. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් ලකුණු 38කට අඩුවෙන් දවාගත් අවස්ථාවන් 3ක් හමුවනවා. නමුත්, එම අවස්ථා 3 දී ම ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වීම සුවිශේෂී සිදුවීමක් වුණා. මෙම ලිපිය මඟින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ, ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජයගත් එක්දින තරග 6 පිළිබඳව යි. 

කළුවිතාරණගේ හොඳම එක්දින ඉනිම නිසා ලබාගත් කඩුලු 10ක ජයග්‍රහණය

ශ්‍රී ලංකාව එක්දින තරගයක දී මුල්මවරට කඩුලු 10ක ජයග්‍රහණයක් ලබාගත්තේ එංගලන්ත කණ්ඩායම හමුවේ යි. 2001 වසරේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලියේ තෙවන තරගය ක්‍රියාත්මක වුණේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 165ක් පමණ යි. එහි දී පන්දුවාර 8ක් තුළ නිලකුණු පන්දුවාර 5ක් යවමින් ලකුණු 13කට කඩුලු 3ක් දවාගත් වාස්ගේ පන්දු යැවීම, එංගලන්තය එතරම් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට මනා සහායක් වුණා. ඉන්පසුව, ලකුණු 166ක පහසු ඉලක්කයක් හඹායාම සඳහා පිටියට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය පන්දුවාර 33.5ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. එහි දී සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කළුවිතාරණ, හතරේ පහර 20ක් සමගින් පන්දු 117ක දී නොදැවී ලකුණු 102ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් අතපත්තු, නොදැවී ලකුණු 53ක් ලබාගැනීමට සමත් වුණා.

කළුවිතාරණගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

වාස්ගේ සුපිරි පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් 

2003 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය යටතේ පැවති ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය ක්‍රියාත්මක වුණේ පීටමැරිස්බර්ග් නුවර සිටි ඕවල් පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 3ම පළමු පන්දුවාරයේ මුල්ම පන්දු තුනෙන් දැවීගියේ වාස් ලබාගත් විරල ගණයේ කඩුලු ත්‍රිත්වය නිසා යි. ඉන් නොනැවතුණු වාස්, එම පන්දුවාරයේ දී තවත් කඩුල්ලක් දවාගත්තේ එක්දින තරගයක දී පන්දුවාරයක් තුළ කඩුලු 4ක් ලබාගත් මුල්ම සහ එකම පන්දු යවන්නා බවට පත් වෙමින්. එදා සමස්ත තරගය තුළ දී වාස් ලකුණු 25කට කඩුලු 6ක් ලබාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා බංග්ලාදේශ ඉනිම ලකුණු 124කට සීමා වුණේ පන්දුවාර 31.1ක් තුළ දී යි. එලෙස වාස් ලකුණු 25කට ලබාගත් කඩුලු 6 අදටත් ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ලෝක කුසලාන තරගයක දී වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වනවා. ඉන් අනතුරුව, ලකුණු 125ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව පන්දුවාර 21.1ක් අවසානයේ දී කිසිවෙකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී අතපත්තු සහ ජයසූරිය පිළිවෙලින් ලකුණු 69ක් සහ 55ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා. 

වාස් කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව (gettyimages)

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් තවත් කඩුලු 10ක ජයක් උරුමකර දෙයි 

2003 ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ දී කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46.1ක දී සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 88ක් පමණ යි. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු වාස්, ලකුණු 15කට කඩුලු 3ක් ලබාගන්නා විට සිය මංගල එක්දින තරගය සඳහා සහභාගි වුණු දිනූෂ ප්‍රනාන්දු සහ නුවන් කුලසේකර පිළිවෙලින් 13/2 සහ 19/2 ලෙසින් කඩුලු ලබාගත්තා. එම පන්දු යවන්නන් දෙදෙනාගෙන් කුලසේකර අඛණ්ඩව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කඩුලු 199ක් දවාගත්ත ද, දිනූෂගේ එක්දින ක්‍රිකට් දිවිය එම තරගයට පමණක් සීමා වුණු බව මෙහි දී සිහිපත් කළ යුතු යි. එංගලන්ත කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමෙන් පසුව ලකුණු 89ක ඉලක්කයක් හඹාගිය සනා-කළූ යුගලය, පන්දුවාර 13.5ක් තුළ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා. 

කුලසේකර මංගල එක්දින තරගයේ දී (gettyimages)

ජයසූරියගේ ශතකය ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිකර දෙයි 

2004 ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හමුවුණේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති තරගයක දී යි. එම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 190ක් ලබාගත්තේ. එහි දී පන්දුවෙන් වඩාත් සාර්ථක වුණු වාස් පන්දුවාර 10ක් තුළ ලකුණු 30ක් ලබාදෙමින් කඩුලු 3ක් දවාගනු ලැබුවා. ඉන්පසුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ජයසූරිය සහ අවිශ්ක යන පිතිකරුවන් යුගලය යි. එදා බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ කිසිදු අභියෝගයකින් තොරව ලකුණු රැස් කළ මෙම පිතිකරු යුගලය පන්දුවාර 33.3ක් තුළ සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියා. එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජයසූරිය, පන්දු 101කින් නොදැවී ලකුණු 107ක් ලබාගන්නා විට ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක නොදැවී ලකුණු 64ක් ලබාගත්තා. 

ජයසූරිය සහ අවිශ්ක තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (gettyimages)

දිල්ෂාන් සහ තරංග ශතක ලබාගනිමින් හිමිකරදුන් සුපිරි ජයග්‍රහණය

2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර යි. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වුණු මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබාගත්තේ ට්‍රොට් සහ මෝර්ගන් ලබාගත් අර්ධ ශතක නිසා යි. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ දිල්ෂාන් සහ තරංග, මුල සිටම ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එලව එලවා පහර එල්ල කළා. ඔවුන් දෙපළ දියත් කළ එම මනරම් පිති හරඹය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම 39.3ක් තුළ කිසිවෙකු නොදැවී ජයග්‍රහණය ලබාගත්තා. එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිල්ෂාන් පන්දු 115කින් නොදැවී ලකුණු 108ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් තරංග පන්දු 122කින් නොදැවී ලකුණු 102ක් ලබාගත්තා.

දිල්ෂාන් පන්දුවට පහරදෙමින් (gettyimages)

බංග්ලාදේශය හමුවේ තවත් කඩුලු 10ක ජයක් 

2018 වසරේ පැවති බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ 6 වැනි තරගය මීර්පූර්හි ෂෙරේ බංගලා ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක වුණේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 24ක් තුළ සියලුදෙනාම දැවී ලකුණු 82ක් පමණක් ලබාගත්තේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දැක්වූ දස්කම් නිසා යි. එලෙස බංග්ලාදේශ ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමෙන් පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11/5ක් අවසානයේ දී ජයග්‍රහණය හිමිකර ගත්තා. එහි දී තරංග පන්දු 37කින් නොදැවී ලකුණු 39ක් ලබාගන්නා විට ගුණතිලක, පන්දු 35කින් නොදැවී ලකුණු 35ක් ලබාගැනීමට සමත් වුණා.

ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් ලක්මාල් (gettyimages)

කවරයේ ඡායාරූපය- 2011 ලෝක කුසලානයේ දී එංගලන්තය අසරණ කළ දිල්ෂාන් සහ තරංග (getty)

Related Articles