Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1972 ඔලිම්පික් තරගාවලියේ වොලිබෝල් රන් පදක්කම දිනූ ජපනුන්ගේ හපන්කම්

1964 වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මුල්මවරට වොලිබෝල් ක්‍රීඩාව ඇතුළත් වුණා. එම අවදිය වන විට පිරිමි වොලිබෝල් පිටියේ සුපිරිම කණ්ඩායම බවට පත්ව සිටියේ සෝවියට් රුසියානු කණ්ඩායම යි. එසේම ඔවුන් 1964 ටෝකියෝ සහ 1968 මෙක්සිකෝ සිටි යන ඔලිම්පික් තරගාවලිවල දී වොලිබෝල් පිරිමි රන් පදක්කම හිමි කරගැනීමට සමත් වුණා. එලෙස පිට පිටම ඔලිම්පික් රන් පදක්කම් 2ක් දිනා සිටි සෝවියට් රුසියානුවන්, 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියට පැමිණියේ ඔවුන් සතුව තිබුණු රන් පදක්කම ආරක්ෂා කරගැනීම සඳහා යි. 

1964 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ වොලිබෝල් පිරිමි රන් පදක්කම දිනාගත් සෝවියට් රුසියානු  නායකයා තිදෙනාගෙන් මැද සිටින පුද්ගලයා යි (gettyimages)

නමුත්, 1970 වසරේ පැවැත්වුණු වොලිබෝල් ලෝක ශූරතාවලියේ දී අසාර්ථක තරග රටාවක් පෙන්වමින් 6 වැනි ස්ථානය දිනාගත් රුසියානුවන්ට යළි ඔලිම්පික් රන් පදක්කම ලබාගැනීම අසීරු අභියෝගයක් වුණා. එලෙස රුසියානුවන් අසාර්ථක වන විට නැගෙනහිර ජර්මනිය, බල්ගේරියාව, සහ ජපානය එම තරගාවලියේ රන්, රිදී, සහ ලෝකඩ පදක්කම් හිමි කරගනු ලැබුවා. එම නිසාම ඉහත රටවල් තුන 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියේ පිරිමි වොලිබෝල් රන් පදක්කම දිනාගැනීම සඳහා ඉදිරියෙන්ම සිටි රටවල් වුණා. 

1970 වොලිබෝල් ලෝක ශූරතා තරගාවලියේ අවස්ථාවක් (gettyimages)

එදා පදක්කමක් බලාපොරොත්තුවෙන් මියුනිච් ඔලිම්පික් බිමට පිවිසි ජපන් වොලිබෝල් ක්‍රීඩකයන් සිය රටට සුපිරි ජයග්‍රහණයක් හිමි කර දීමට සමත් වුණා. ඒ, එවර ඔලිම්පික් තරගාවලියේ පිරිමි වොලිබෝල් රන් පදක්කම හිමි කර ගනිමින්. 

තරගාවලිය පැවති ආකාරය 

තරගාවලිය සඳහා රටවල් 12ක් සහභාගි වුණා. එහි දී එම රටවල් A සහ B ලෙස කාණ්ඩ 2කට බෙදා වෙන් කර තිබුණා. පළමු වටයේ දී සෑම රටක්ම තම කාණ්ඩයේ සිටි අනිකුත් කණ්ඩායම් 5 සමගම තරග කළා.

පළමු වටයේ තරගවලින් පසුව එක් එක් කාණ්ඩයේ වැඩිම ලකුණු ලබාගන්නා රටවල් 2ක පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඉන් අනතුරුව පැවැත්වුණු අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයින් රන් පදක්කම සඳහා පැවැත්වුණු තරගය සඳහා සුදුසුකම් ලබන විට පරාජිතයින් ලෝකඩ පදක්කම සඳහා පැවැත්වුණු තරගයට සුදුසුකම් ලැබුවා.

එක් එක් කාණ්ඩයට අයත් වුණු රටවල් 

තරගාවලිය සඳහා එක් වුණු රටවල් 12 කාණ්ඩ දෙකකට බෙදා වෙන් කර තිබුණේ මෙලෙස යි.

A කාණ්ඩය 

1) සෝවියට් රුසියාව 

2) බල්ගේරියාව 

3) චෙකොස්ලෝවැකියාව 

4) දකුණු කොරියාව 

5) පෝලන්තය

6) ටියුනීසියාව 

B කාණ්ඩය 

1) ජපානය

2) නැගෙනහිර ජර්මනිය 

3) රුමේනියාව  

4) බ්‍රසීලය 

5) කියුබාව 

6) බටහිර ජර්මනිය  

පළමු වටයේ දී ජපානය B කාණ්ඩයේ පෙරමුණ ගනියි 

මුලින්ම රුමේනියාවට එරෙහිව පැවති තරගය 15-4,15-5 සහ 15-6 ලෙස තරග වට 3-0කින් ජයග්‍රහණය කළ ජපානය, අනතුරුව කියුබාව සමග පැවති තරගය ද 15-10,15-9 සහ 15-5 ලෙසින් ජයග්‍රහණය කළා. එලෙස මුල් තරග ද්විත්වයම පහසුවෙන් ජයගත් ජපානයට තෙවන තරගයේ දී හමුවුණේ එසේ මෙසේ  ප්‍රතිවාදියෙකු නොවේ. එහි දී ජපානය සමග තරග වැදීමට නියමිතව සිටි නැගෙනහිර ජර්මනිය 1970 වසරේ වෝලිබෝල් ලෝක ශූරතාවය දිනාගත් කණ්ඩායම වුණු නිසා ජපානය පරාජය වනු ඇතැ යි බොහෝ දෙනෙකු අනුමාන කළා. නමුත්, එම අනුමානයන්වලට සරදම් කළ ජපානය 15-4,15-2 සහ 15-6 ලෙස ඉතාමත්ම පහසුවෙන් නැගෙනහිර ජර්මනිය පරාජය කළේ කාණ්ඩයේ පළමුවෙනියා වීමට මඟ විවර කර ගනිමින්.

ජපන්-නැගෙනහිර ජර්මන් තරගයේ අවස්ථාවක් (gettyimages)

එලෙස ඉතාමත්ම පහසුවෙන් ප්‍රබලම ප්‍රතිවාදියා පරාජය කළ ජපානය, අනතුරුව බ්‍රසීලය සහ බටහිර ජර්මනිය ද පරාජය කරමින් කාණ්ඩයේ ප්‍රථමයා බවට පත් වුණේ බල්ගේරියාව සමග අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගනිමින්.

අවසන් පූර්ව තරගයේ දී බල්ගේරියාව සමග පරණ ගනුදෙනුවක් බේරාගනියි 

1970 වොලිබෝල් ලෝක ශූරතා තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක මුණගැසුණා. එම තරගයේ මුල් වට දෙක ජයගෙන ජපානය ඉදිරියෙන් සිටියත්, අවසන් වට තුනම ජයග්‍රහණය කළ බල්ගේරියාව තරගය තරග වට 3-2 ලෙස ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එදා බල්ගේරියාව හමුවේ ජපානය ලද පරාජයෙන් පසුව  නැවතත් අවසන් පූර්ව තරගයක දී බල්ගේරියාව මුණගැසීම පරණ ගනුදෙනු බේරාගැනීම සඳහා ජපානයට හොඳ අවස්ථාවක් වුණා. 

1970 වොලිබෝල් ලෝක ශූරතාවලියේ ජපන්-බල්ගේරියා තරගයේ අවස්ථාවක් (gettyimages)

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පළමු වට 2ම ජයග්‍රහණය කළේ බල්ගේරියානු කණ්ඩායම යි. එහි දී ඔවුන් 15-13 සහ 15-9 ලෙස ලකුණු ලබාගෙන එම තරග වට දෙක ජයග්‍රහණය කර තිබුණා. නමුත්, ඉන් නොසැලුණු ජපන් ක්‍රීඩකයින් අනතුරුව ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වුණා. එලෙස ජපන් කණ්ඩායම සටන්කාමී තරග රටාවක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට පිට පිටම තරගවට 2ක් ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ඉතාමත් අසීරු අඩියක සිට යළි ප්‍රාණය ලැබූ ජපනුන්, අනතුරුව පැවති 5වන වටය ද 15-12 ලෙස ජයග්‍රහණය කරමින් බල්ගේරියාව පරදවා තරග වට 3-2ක ජයක් හිමි කරගනු ලැබුවා. එසේම එම තරගය, 1970 ලෝක ශූරතා වොලිබෝල් තරගාවලියේ ජපන්-බල්ගේරියා තරගය යළි සිහිපත් කළා.

බල්ගේරියාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී ජපන් ක්‍රීඩක තදයෝෂි යකෝටා බල්ගේරියානු පිල දෙසට පන්දුව යොමු කරමින් (gettyimages)

මියුනිච් ඔලිම්පික් උළෙලේ වොලිබෝල් පිරිමි රන් පදක්කම ජපානයට 

පළමු අවසන් පූර්ව තරගයෙන් ජපානය ජයග්‍රහණය කරන විට, දෙවන අවසන් පූර්ව තරගයෙන් නැගෙනහිර ජර්මනිය ජයග්‍රහණය කළා. එලෙස අවසන් සටනට පිවිසි නැගෙනහිර ජර්මානු පිල 1970 වසරේ වොලිබෝල් ලෝක ශූරතාවය දිනා තිබුණත්, එම තරගාවලියේ දී ජපානය හමුවේ තරගවට 3-2කින් පරාජය වී තිබුණා. එසේම, ඔවුන් මෙම තරගාවලියේ දීත් ජපානය හමුවේ තරග වට 3-0ක පරාජයක් ලබා තිබුණා. එම නිසාම  මෙම තරගයේ වැඩි වාසිය ජපන් පිල දෙසට බරව තිබුණා. නමුත්, ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වුණු නැගෙනහිර ජර්මානුවන් 15-11ක් ලෙසින් පළමු වටය ජයග්‍රහණය කළා.

වොලිබෝල් අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

නමුත්, ඉන් අනතුරුව සිය සුපුරුදු රිද්මයට පැමිණි ජපන් ක්‍රීඩකයන් ඊළඟ තරග වට 3ම ජයග්‍රහණය කළේ 2-15,10-15 සහ 10-15 ලෙසින්. එලෙස ලොව සිටි ප්‍රබලම කණ්ඩායම් පරාජයට පත් කරමින් ජපානය දිනූ රන් පදක්කම ජපන් ජනතාවට අමතක නොවන එකක් වුණා.

රන් පදක්කම දිනූ ජපන් පිල (gettyimages)

එලෙස ජපානය පිරිමි වොලිබෝල් රන් පදක්කම දිනාගෙන මේ වන විට වසර 47ක් ගෙවී තිබෙනවා. නමුත්  එම දස්කම ඔවුන්ට යළි කිසිදු අවස්ථාවක පෙන්වීමට හැකි වුණේ නැහැ. එම නිසා 1972 වොලිබෝල් පිරිමි රන් පදක්කම ජපන් ඔලිම්පික් ඉතිහාසය තුළ තවත් කලකට අමතක නොවන සිහිවටනයක් වනු ඇති. 

කවරයේ ඡායාරූපය- අවසන් තරගයේ තියුණු අවස්ථාවක් (gettyimages)

Related Articles