Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 37කට පෙර පාකිස්ථානයේ දී ගිලිහුණු මංගල ටෙස්ට් ජයග්‍රහණය

ශ්‍රී ලංකාව 1982 වසරේ දී ටෙස්ට් වරම් ලබාගැනීමෙන් පසුව මුල්ම විදෙස් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කළේ පාකිස්ථානයේ දී යි. තරග 3කින් සමන්විත වුණු එම ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේ දී පැවැත්වුණා. තරගය ආරම්භයේ සිටම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරගය පුරාවටම සිය අණසක පතුරවාගෙන සිටියා. එම නිසාම තරගයේ අවසන් දිනයේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය අසලට ම ගියත්, පාකිස්ථානු පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය නිසාම තරගය ජය පැරදුමෙන් තොරව නිමාව දුටුවා. 

පළමු දිනයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ඉහළ දස්කම් 

දුලිප් මෙන්ඩිස් මුල්මවරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ මෙම තරගයේ කාසියේ වාසිය හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. ඒ අනුව ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ පළමු ඉනිම සඳහා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණ ඇතිව යි. එදා තරගයේ ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි සිදත් වෙත්තමුණි සහ මහේෂ් ගුණතිලක සීරුවෙන් පන්දුවට පහරදෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක් එකතු කළා. එලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව ස්ථාවර තත්ත්වයක පැවති අවස්ථාවේ මහේෂ් ලකුණු 27කට දැවීගියත්, ඉන් අනතුරුව පිටියේ එක්වුණු සිදත් සහ රෝයි පාකිස්ථානු පන්දු යවන්නන්ට හිසරදයක් වුණා. එහි දී රෝයි වඩාත් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වන විට සිදත් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නංවමින්. ඒ අනුව තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 270/1 ලෙස සටහන් වුණේ තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා පිලට හිමිකර දෙමින්. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ සිදත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු මංගල ටෙස්ට් ශතකයේ හිමිකරුවා වෙමින් නොදැවී ලකුණු 143ක් ලබාගන්නා විට රෝයි නොදැවී ලකුණු 80ක් ලබා සිටියා. 

සිදත් වෙත්තමුණි (gettyimages)

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 454කට සීමා වෙයි 

තරගයේ දෙවන දිනයේ උදෑසන සිටම රෝයි ඉක්මනින් ලකුණු ලබාගනිමින් සිය මංගල ටෙස්ට් ශතකය කරා ළඟා වුණා. නමුත් ඔහු ලකුණු 98ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දැවීගියේ ඉක්බාල් කාසිම් එවූ පන්දුවකට සලීම් මලික් අතට උඩපන්දුවක් ලබාදීමෙන්. රෝයිගේ නික්මයාමෙන් අනතුරුව ලකුණු 157ක් ලබා සිටි සිදත්ගේ කඩුල්ලත් දවාගැනීමට පාකිස්ථානුවන් සමත් වුණා. එලෙස ඉක්මනින්ම කඩුලු 2ක් දැවීයාමෙන් අනතුරුව ක්‍රියාත්මක වුණු පාකිස්ථානු පන්දු යවන්නන් ඉක්මනින්ම කඩුලු දවාගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 385/7 බවට පත් කළා. නමුත් එහි දී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ රංජන් මඩුගල්ලේ, එක් අන්තයක් රැකගෙන දියත් කළ මනරම් ඉනිම නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 454ක් දක්වා රැගෙන යාමට හැකි වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් දැවීයන තුරු නොදැවී පිටියේ රැඳී සිටි රංජන් ඒ වන විට ලකුණු 91ක් ලබා සිටියා. එම අවස්ථාවේ දී ඔහුට යම් පිතිකරුවෙකුගෙන් සහායක් ලැබුණා නම් ශතකයක් කරා යෑමේ අවස්ථාව පැහැදිලිවම තිබුණා. එලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් පිත්තෙන් දස්කම් දක්වන විට ශ්‍රී ලංකා ඉනිමට පන්දුවෙන් තර්ජනයක් එල්ල කළ පකිස්ථානු පිලේ ඉක්බාල් කාසිම් ලකුණු 141කට කඩුලු 6ක් දවාගැනීමට සමත් වුණා. ඉන්පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම තරගයේ දෙවන දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 47ක් ලබාගෙන සිටියා.

රංජන් මඩුගල්ලේ (gettyimages)

පාකිස්ථානය අසීරු අඩියකට වැටෙයි 

තරගයේ තෙවන දිනය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සිදුකළ නිවැරදි එල්ලයක් සහිත ආක්‍රමණශීලී පන්දු යැවීම නිසා පාකිස්ථානු කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 185ක් තුළ දැවී ගියා. එහි දී කිසිදු පාකිස්ථානු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව ඉක්මවීමට නොහැකි වීම සිදුවීමක් වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයක් කරා රැගෙන ඒම සඳහා දක්ෂ පන්දු යැවීමක නිරත වුණු සෝමචන්ද්‍ර ද සිල්වා, කඩුලු 4ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් අසන්තා ඉදිරිපෙළ පිතිකරුවන් දෙදෙනෙකු දවාගත්තා. එවකට ටෙස්ට් පිටියේ සිටි ළාබාලම සාමාජිකයා හමුවේ පාකිස්ථානුවන් අසරණව සිටි අවස්ථාවේ සීරුවෙන් පන්දුවට පහරදුන් අෂ්‍රෆ් අලී සහ රෂීඩ් ඛාන් දිනය නිමා වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව 210/8 බවට පත් කළා.

සෝමචන්ද්‍ර ද සිල්වා  (gettyimages)

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට පිවිසෙයි 

පාකිස්ථානු කණ්ඩායමට පිට පිටම දෙවන වරටත් පන්දුවට පහරදීමේ අවදානමෙන් මිදීම සඳහා ලකුණු 254ක් ලබාගත යුතුව තිබුණා. එම නිසාම ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදුන් අෂ්‍රෆ් සහ රෂීඩ් සිය කණ්ඩායම එම අවදානමෙන් සිය කණ්ඩායම ගලවාගැනීමට සමත් වුණා. ඒ අනුව පාකිස්ථානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 270ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 184ක් පසුපසින් සිටිමින්. ඉන්පසුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වුණේ ඉක්මනින් ලකුණු රැස්කර පාකිස්ථානුවන්ට දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් ලබාදීම යි. එවැනි වටපිටාවක සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 82ක් ලබාසිටියේ පාකිස්ථානු කණ්ඩායමට වඩා ලකුණු 266ක් ඉදිරියෙන් සිටිමින්. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු පාකිස්ථානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 32කට බිඳ දැමුවේ ඔවුන්ගේ ලකුණු පුවරුව 114/8 බවට පත් කරමින්. එහි දී ශ්‍රී ලංකා පිලට සිදුවුණු බලවත් පාඩුව වුණේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වුණු දුලිප් මෙන්ඩිස් පළමු පන්දුවේ දී ම දුවද්දී දැවියාම යි. එලෙස ඉක්මන් කඩුලු බිඳවැටීමෙන් පසුව සීරුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 8ක් දැවී ලකුණු 127ක් ලබා සිටියා. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ප්‍රබල පිතිකරුවන් අසාර්ථක වන විට ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි මහේෂ් ගුණතිලක අගනා ලකුණු 54ක් ලබාගනිමින් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

පාකිස්ථානය අනූ නමයෙන් බේරෙයි 

තරගයේ අවසන් දිනයේ උදෑසන ශ්‍රී ලංකා ලකුණු පුවරුව 154/8 ලෙස සටහන්ව තිබිය දී ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව පාකිස්ථානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 339ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා. ඉන්පසුව ලකුණු 339ක දැවැන්ත ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 40ක් තුළ දැවීගියේ අසන්තා ද මෙල් විසින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා යි. නමුත්, ඉන් අනතුරුව පිටියේ එක්වුණු මොහොසින් ඛාන් සහ ජාවෙඩ් මියැන්ඩාඩ් ගොඩනැගූ ලකුණු 92ක මනරම් සබඳතාවය නිසා පාකිස්ථානු ලකුණු පුවරුව 132/2 ලෙසින් දිස්වුණා. එලෙස පාකිස්ථානු කණ්ඩායම තරගය පරාජයෙන් බේරාගනිමින් සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු සෝමචන්ද්‍ර ද සිල්වා ලකුණු 5ක් තුළ කඩුලු 4ක් දවාගත් නිසා තරගය නැවතත් උණුසුම් වුණා. පාකිස්ථානු ලකුණු පුවරුව 137/6 ලෙසින් දිස්වුණු එම අවස්ථාවේ සිය කණ්ඩායම පරාජයෙන් බේරාගැනීම සඳහා සටන් කළ අෂ්‍රෆ් අලී සහ තාහීර් නාකාෂ් 7 වැනි කඩුල්ල වෙනුවෙන් තීරණාත්මක ලකුණු 37ක සබඳතාවයක් ගොඩනැගුවා. එලෙස ගොඩනැගුණු තීරණාත්මක සබඳතාවයට නැවතීමේ තිත තැබූ සෝමචන්ද්‍ර ද සිල්වා නාකාෂ්ව දවාගත්තේ ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාගත් මුල්ම ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වෙමින්. නාකාෂ් දැවීයාමෙන් අනතුරුව ඉතාමත් වගකීමෙන් ක්‍රීඩා කළ අලී තරගය නිමා වන තුරුම සිය කඩුල්ල මෙන්ම සහාය පිතිකරුවාගේ කඩුල්ලත් ආරක්ෂා කරගත්තා. එම නිසාම තරගය ජය පැරදුමෙන් තොරව නිමාව දකින විට පාකිස්ථානු ලකුණු පුවරුව දිස්වුණේ 186/7 ලෙසින්. එදා සමස්ත තරගය පුරාවටම ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය අසලට ම පැමිණියා. නමුත් පාකිස්ථානුවන් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වුණු නිසාම පරාජයෙන් ගැලවුණා. 1982 ෆයිසලාබාද් ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට නොහැකි වුණත්, එය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ හමුවන ටෙස්ට් තරග අතුරින් අමතක නොවන තරගයක් ලෙස හැමදාමත් පවතිනු ඇති.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 454/10, (සිදත්- 157, රෝයි- 98, මඩුගල්ලේ- 91*, කාසිම්- 141/6, රිස්වාන්- 26/3)

පාකිස්ථානු පළමු ඉනිම- 270/10, (අෂ්‍රෆ්- 58, රිස්වාන්- 43*, සෝමචන්ද්‍ර- 103/4, අජිත්- 38/2, මෙල්- 73/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 154/8, (මහේෂ්- 56, මෙල්- 25*, තවුසිෆ්- 18/3, ඉක්බාල්- 51/2, නාකාෂ්- 53/2)

පාකිස්ථානු දෙවන ඉනිම- 186/7, (මොහොසින්- 74, මියැන්ඩාඩ්- 36, සෝමචන්ද්‍ර- 59/5, මෙල්- 71/2)

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

කවරයේ ඡායාරූපය- සිදත් වෙත්තමුණි (gettyimages)

Related Articles