Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1996 සිංගර් ලෝක ශූරතා සිව්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා දස්කම්

ශ්‍රී ලංකාව 1996 වසරේ දී විල්ස් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ සමස්ත ක්‍රිකට් ලෝකය මවිතයට පත්කරමින්. නමුත් ඔවුන්ගේ එම ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව වැනි රටවල් අවතක්සේරුවට ලක් කළා. එම නිසාම ශ්‍රී ලංකාව, ඔවුන් නියම ලෝක ශූරයන් බව ඔප්පු කිරීමට සූදානම්ව සිටියේ 1996 වසරේ අගෝස්තු මාසයේ දී ආරම්භ වුණු සිංගර් ලෝක ශුරතා සිව්කොන් තරගාවලියේ දී යි. ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සහ සිම්බාබ්වේ තරගවැදුණු එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දස්කම් අතරට පැමිණියා. එහිදී සහභාගි වුණු සියලුම තරග ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන්ව පරාජය කරමින් කුසලානය දිනාගත්තේ ඔවුන් නියම ලෝක ශූරයන් බව ඔප්පු කරමින්.

ජයසූරියගේ ශතකය හමුවේ ඉන්දියාවට දරුණු පරාජයක් 

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී දිවා/ රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්  ඉන්දීය නායක සචින්, මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිලේ මුල් කඩුලු 2කම ලකුණු 57කට දැවීගියා. නමුත් එම අවස්ථාවේ දී පිටියේ එක්වුණු නායක සචින් සහ හිටපු නායක අසාරුඩීන් 3 වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 129ක සබඳතාවයක් ගොඩනැගුවේ ඉන්දීය ලකුණු පුවරුව 186/2 බවට පත්කරමින්.

ටෙන්ඩුල්කාර් සහ අසාරුඩීන් පන්දුවට පහරදෙමින් (Sportstar 1996 september 14)

එලෙස ඉන්දීය ඉනිම ස්ථාවරත්වයට පත්වෙමින් තිබුණු අවස්ථාවේ අසාරුඩීන් ලකුණු 58කට දැවීගියත් ඉන් නොසැලුණු ටෙන්ඩුල්කාර් පන්දු 138ක දී අගනා ලකුණු 110ක් ලබාගත්තේ නායකත්වය දැරූ මුල්ම එක්දින  තරගයේ දීම ශතකයක් ලබාගනිමින්. එලෙස ටෙන්ඩුල්කාර් ලබාගත් ශතකය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය ඉනිම 226/5 ලෙස සටහන් වුණා. 

ටෙන්ඩුල්කාර්ගේ ඉනිමේ අවස්ථාවක් (Sportstar 1996 september 14)

ලකුණු 227ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වුණු සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු ගරු සරුවකින් තොරව පහරදුන්නා. එම නිසාම ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 129ක සබඳතාවයක් ගොඩනැගීමට හැකිවුණා.

කලුවිතාරණගේ ඉනිමේ අවස්ථාවක් (Sportstar 1996 september 14)

එලෙස ගොඩනැගුණු සබඳතාවය ඉන්දීය කණ්ඩායමට හිසරදයක්ව තිබුණු අවස්ථාවේ නායක ටෙන්ඩුල්කාර්  විසින් කළුවිතාරණව ලකුණු 53කට දවාගත්තේ ඉන්දීය කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙනදෙමින්. නමුත් ඉන් පසුව පිටියේ එක් වුණු සනා-අරා සුසංයෝගය පාලනය කිරීමට ඉන්දීය පිලට අපහසු වුණා. එදා ප්‍රේමදාස පිටියට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ව කුල්මත් කළ සනා-අරා යුගලය 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් දැක්වූ දස්කම් නැවතත් ප්‍රේක්ෂකයන්ට මතක් කර දුන්නා. එලෙස ප්‍රේක්ෂකයන් පිනවූ ඔවුන් දෙදෙනා අවසානයේ දී පන්දුවාර 44.2ක දී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ජයසූරිය පන්දු 128කින් නොදැවී ලකුණු 120ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් අරවින්ද නොදැවී ලකුණු 49ක් ලබාගත්තා. 

ජයසූරියගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (Sportstar 1996 september 14)

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව – 226/5 (50), (ටෙන්ඩුල්කාර් – 110, අසාරුඩීන් – 58, ජයසූරිය – 39/1)

ශ්‍රී ලංකාව – 230/1 (44.2), (ජයසූරිය – 120*, කළුවිතාරණ – 53, අරවින්ද – 49*, ටෙන්ඩුල්කාර් -29/1)

ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් 

තරගයේ වීරයා – සනත් ජයසූරිය  

කැංගරුවන්ට එරෙහිව අරවින්දගෙන් සුපිරි ඉනිමක් 

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව තරග වැදුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව යි. එම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 228ක් ලබාගත්තා. එහිදී ඕස්ට්‍රේලියානු ඉනිම වර්ණවත් කළ මාක් වෝ සහ මයිකල් බෙවන් අර්ධ ශතක ලබාගැනීමට සමත්වුණා. එලෙස ඕස්ට්‍රේලියානුවන් පිත්තෙන් දස්කම් දක්වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ උපුල් චන්දන ලකුණු 38කට කඩුලු 3ක් ලබාගත්තේ සිය එක්දින දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කරමින්.

ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් වෝ දැවීගිය අවස්ථාව  (Sportstar 1996 september 14)

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය රාජකාරිය සාර්ථක ව ඉටුකිරීමෙන් අනතුරුව ලකුණු 229ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ආරම්භක පිතිකරු යුගලයට එකතු කිරීමට ලැබුණේ ලකුණු 22ක් පමණ යි. එහිදී කළුවිතාරණ ලකුණු 8කට දැවීගියත් ඉන් නොසැලුණු සනා සහ ගුරා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 78/1 බවට පත්කළා. නමුත් එම අවස්ථාවේ දී ගුරුසිංහ දුවද්දී දැවීයාමත් සමගම ක්‍රියාත්මක වුණු ඩේමියන් ෆ්ලෙමිං ඉක්මනින්ම කඩුලු 3ක් දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 81/5 බවට පත්කරමින්.

ෆ්ලෙමිං විසින් අර්ජුණව දවාගත් අවස්ථාව (Sportstar 1996 september 14)

ඉන් අනතුරුව පිටියේ එක්වුණු අරවින්ද සහ මහානාමට පැවරුණු විශාලම වගකීම වුණේ ශ්‍රී ලංකාව නියම ලෝක ශූරයන් බව ඔප්පු කිරීම උදෙසා මෙම තරගය පරාජයෙන් බේරා ගැනීම යි. එදා ඔවුන්ට පැවරුණු වගකීම මනාව ඉටුකළ අරවින්ද සහ මහානාම පන්දු 151කින් ලකුණු ලකුණු 115ක් එකතු කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 196/5 බවට පත්කරමින්. ඒ වන විට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා පන්දු 63කින් ලකුණු 33ක් ලබා ගැනිමට අවශ්‍යව තිබුණා. නමුත්  සටන අත්හැරීමට සූදානම් නොවුණු මැග්‍රාත් පන්දු 78කින් ලකුණු 50ක් ලබා සිටි මහානාම ව දවාගත්තේ තරගය දෙපිලටම විවෘත කරමින්. 

අරවින්ද – මහානාම සබඳතාවයේ අවස්ථාවක් (Sportstar 1996 september 14)

එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටුණු අවස්ථාවේ සීරුවෙන් පන්දුවට පහරදුන් අරවින්ද නවක පිතිකරු චන්දන සමග එක්ව ජයග්‍රාහී කඩයිම පසුකර ගියේ 46 වන පන්දුවාරයේ දී යි. එහිදී  විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ අරවින්ද පන්දු 95ක දී නොදැවී ලකුණු 83ක් ලබාගත්තේ 1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී කැංගරුවන්ට කියාදුන් පාඩම නැවත ඔවුන්ට සිහිපත් කරදෙමින්.

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියාව – 228/9 (50), (බෙවන් – 56, මාක් වෝ – 50,  චන්දන – 38/3 , මුරලිදරන් – 41/2)

ශ්‍රී ලංකාව – 232/6 (45.5), (අරවින්ද – 83*, මහානාම – 50, ජයසූරිය – 44, ෆ්ලෙමිං – 26/3)

ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා – අරවින්ද ද සිල්වා 

සිම්බාබ්වේට එරෙහිව අරවින්දගේ පිත්ත නැවතත් ක්‍රියාත්මක වෙයි 

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලේ මුල් කඩුලු 4ම ලකුණු 66කට දැවීගියා. එලෙස සිම්බාබ්වේ කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු නායක කැම්බල් සහ එවන්ස් ගොඩනැගූ ලකුණු 114ක සබඳතාවය නිසා සිම්බාබ්වේ ලකුණු පුවරුව 180/4 බවට පත්වුණා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු මුරලිදරන් ලකුණු 54ක් ලබා සිටි කැම්බල්ව දවාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසීමක් ලබාදෙමින්. නමුත් ඉන් නොසැලුණු එවන්ස් සහ ගයි විට්ල් ලබාගත් ඉක්මන් ලකුණු 47 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී සිම්බාබ්වේ ඉනිම 227/5 ලෙසින් සටහන් වුණා. එහිදී සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම බවට පත්වුණු එවන්ස් නොදැවී ලකුණු 96ක් ලබාගත්තේ පන්දු 105කට මුහුණදෙමින්.

එවන්ස්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (Sportstar 1996 september 14)

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට  පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ලකුණු 25ක් ඇතුළත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔලොන්ගා සමත් වුණා. එම අවස්ථාවේ දී පිටියේ එක්වුණු අරා-ගුරා යුගලය 1996 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගය යළි සිහිගන්වමින් ලකුණු 75ක සබඳතාවයක් ගොඩනගනු ලැබුවා. එහි දී අරවින්දගේ පිතිහරඹය ඉදිරියේ නරඹන්නෙකු බවට පත්වුණු  ගුරා අවසානයේ දී දුවද්දී දැවී ගියේ පන්දු 47කින් ලකුණු 15ක් ලබා සිටිය දී යි. ගුරාගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි අර්ජුන වේගවත් ලකුණු 20කට දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 129/4 බවට පත්වුණා. අර්ජුණගේ නික්මයාමෙන් පසුව තම වගකීම මැනවින් ඉටුකළ අරවින්ද පන්දු 123කින් නොදැවී ලකුණු 127ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දුවාර 47ක් අවසානයේ දී යි.

ජයසූරිය දැවීගිය අවස්ථාව (Sportstar 1996 september 14)

කෙටි ලකුණු පුවරුව 

සිම්බාබ්වේ – 227/5 (50), (එවන්ස් – 96*, කැම්බල් – 54, පුෂ්පකුමාර – 27/2)

ශ්‍රී ලංකාව – 228/4 (47), (අරවින්ද – 127*, හෂාන් – 34*, ඔලොන්ගා – 47/2)

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා – අරවින්ද ද සිල්වා 

අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානුවන්ගෙන් කළ මිහිරි පළිගැනීම 

මෙම තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම උරෙනුර ගැටුණා. වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පන්දුවාර 35කට සීමාවුණු මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම යි. තරග ආරම්භයේ සිටම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කිසිදු ගරුසරුවකින් තොරව පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 35 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 234ක් ලබාගත්තා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලුණු කළුවිතාරණ පන්දු 45කින් ලකුණු 58ක් ලබා ගත්තත් ඉනිමේ කැපී පෙණුනු පිතිහරඹය දියත් කළේ පන්දු 64කින් නොදැවී ලකුණු 75ක් ලබාගත් අරවින්ද ද සිල්වා යි. ඉන් පසුව ලකුණු 235ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 48කට දැවීගියා. 

මාක් වෝ දුවද්දී දැවීගිය අවස්ථාව (Sportstar 1996 september 21)

නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ස්ටීව් වෝ සහ ස්ටුවර්ට් ලෝ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 104/3 බවට පත්කළා. එලෙස ස්ථාවර වුණු ඕස්ට්‍රේලියානු ඉනිමේ බිඳවැටීම ආරම්භ වුණේ ලෝ ලකුණු 31කට දැවීයාමත් සමගින්. එහිදී ස්ටීව් වෝ හුදෙකලා සටනක නිරතවුණත් චන්දන 35/4ක් ලෙසින් සිදුකළ දක්ෂ පන්දු යැවීම ඉදිරියේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 184කට සීමාවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 50ක ජයක් උරුමකරදෙමින්. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් තරගාවලි ජයග්‍රහණයේ නියමුවා වුණු අරවින්ද තරග 4ක් තුළ ලකුණු 334ක් ලබාගත්තේ ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමගින්. එහිදී අරවින්ද ඉනිම් 4දී ම නොදැවී සිටියේ සුවිශේෂී දස්කමක් දක්වමින්.

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් (Sportstar 1996 september 21)

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව – 234/3 (35), (අරවින්ද – 75*, කළුවිතාරණ – 58, මැග්‍රාත් – 35/2)

ඕස්ට්‍රේලියාව – 184/10 (33), (ස්ටීව් වෝ – 55, චන්දන – 35/4, වාස් – 23/2, ධර්මසේන -33/2)

ශ්‍රී ලංකාවට ලකුණු 50ක ජයක් 

තරගයේ වීරයා – අරවින්ද ද සිල්වා 

තරගාවලියේ වීරයා – අරවින්ද ද සිල්වා 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රාහී කුසලානය සමග (Sportstar 1996 september 21)

කවරයේ ඡායාරූපය - නායක අර්ජුණ කුසලානය සමග (Sportstar 1996 september 21)

Related Articles