Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1997 ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය

1997 වසරේ මැද භාගයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියේ පළමු එක්දින තරගය නිමාවට පත් වුණේ ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයක් උරුමකර දෙමින්. එදා ඉන්දීය කණ්ඩායම හමුවේ ලබාගත් තියුණු එක්දින ජයග්‍රහණය බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති නිසා මෙම ලිපිය ලියැවෙන්නේ ඒ පිළිබඳව ඔබගේ මතකය අලුත් කිරීමට යි.

සනත් ජයසූරියගෙන් වේගවත් ආරම්භයක් 

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී දිවා/ රාත්‍රී තරගයක් ලෙස පැවැත්වුණු මෙම එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක සචින් ටෙන්ඩුල්කාර් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන ලද්දේ මාවන් අතපත්තු සහ සනත් ජයසූරිය යි. එදා ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු ගරුසරුවකින් තොරව පහරදුන් ජයසූරිය, පන්දු 52කින් ලකුණු 73ක් ලබාගත්තේ හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින්. එහි දී ජයසූරිය සහ අතපත්තු පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 82කින් ලකුණු 91ක් එකතු කළේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදෙමින්.

සනත් ජයසූරිය (The Times Of India)

මහානාම සහ අතපත්තු එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනගයි 

වෙන්කටේෂ් ප්‍රසාද් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ජයසූරිය දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 91/1 ලෙසින් දිස් වුණා. ජයසූරියගේ නික්ම යාමෙන් පසුව පිටියට පිවිසි රොෂාන් මහානාම ආරම්භක පිතිකරු අතපත්තු සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනගනු ලැබුවා. එහි දී ලකුණු 108ක මනරම් සබඳතාවයක් පැවැත්වීමෙන් පසුව මහානාම දැවී ගියේ ලකුණු 53ක් ලබාගැනීමෙන් අනතුරුව යි. සිය සුපුරුදු පිතිකරණ රටාව වෙනස් කරමින් තරමක් වේගයෙන් පන්දුවට පහරදුන් මහානාම සිය ලකුණු 53 ලබාගත්තේ පන්දු 58කට පමණක් මුහුණදෙමින්. 

අතපත්තු සහ අරවින්ද ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව වෙත රැගෙන යයි 

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 191/2 ලෙසින් පැවති අවස්ථාවේ පිටියේ එක් වුණු අතපත්තු සහ අරවින්ද සීරුවෙන් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමුවා. ඒ අනුව 40 වැනි පන්දුවාරය අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 229ක් ලබා සිටියේ ඉන්දියානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. ඉන්පසුව, අරවින්ද සහ අතපත්තු වේගයෙන් පන්දුවට පහරදෙමින් පන්දු 40ක් තුළ ලකුණු 50ක් ලබාගත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 279/2 බවට පත් වුණා. ඒ අතරතුර මාවන් අතපත්තු සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේ ප්‍රේමදාස පිටියට එක් රැස්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් කුල්මත් කරමින්.

ඉන්දියාවට ලකුණු 303ක ඉලක්කයක්

පන්දුවාර 46.4ක් අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 279ක් ලබා සිටි අවස්ථාවේ අරවින්ද ද සිල්වා දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවක් වුණා. අරවින්දගේ නික්ම යාමෙන් පසුව අවසන් පන්දු 19 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 23ක් පමණක් ලබාගත්තේ ශ්‍රී ලංකා ඉනිම 302/4 ලෙස අවසන් කරමින්. එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණු මාවන් අතපත්තු පන්දු 153කින් ලකුණු 118ක් ලබාගත්තේ අගනා ඉනිමක් ක්‍රීඩා කරමින්. 

ඉන්දීය කණ්ඩායමෙන් වේගවත් ආරම්භයක් 

ලකුණු 303ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ සචින් ටෙන්ඩුල්කාර් සහ සව්රව් ගංගුලී යන පිතිකරුවන් දෙදෙනා යි. ඉනිම ආරම්භයේ සිටම වේගයෙන් පහරදුන් ගංගුලී සහ ටෙන්ඩුල්කාර් පන්දු 44ක් තුළ ලකුණු 58ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අන්දමන්ද කරමින්. එම අවස්ථාව වන විට ඉන්දීය කණ්ඩායමේ සාර්ථක ගමන නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු කිහිපයක් දවාගැනීම අනිවාර්ය වුණා.

ලකුණු 6ක් තුළ කඩුලු 4ක් බිඳ වැටෙයි 

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු අවශ්‍යම මොහොතක සව්රව් ගංගුලී දුවද්දී දැවී ගියේ ලකුණු 31ක් ලබාසිටිය දී යි. එම අවස්ථාවේ ටෙන්ඩුල්කාර් සහ ගංගුලී අතර ඇති වුණු අනවබෝධය නිසා ඉන්දියානුවන්ට එම කඩුල්ල අහිමි වුණා. එම කඩුල්ල දැවී යාමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමට තවත් කඩුලු 3ක් ඉක්මනින්ම අහිමි වුණේ ඔවුන්ගේ ලකුණු පුවරුව 64/4 බවට පත් කරමින්. 

අසාරුඩීන් සහ ජඩේජා වාර්තාගත සබඳතාවයක් ගොඩනගයි 

ලකුණු 64කට කඩුලු 4ක් දැවී ගොස් තිබුණු අවස්ථාවේ පිටියේ එක් වුණු අසාරුඩීන් සහ ජඩේජා සීරුවෙන් ඉනිම ගොඩනැගීම ඇරඹුවා. ආරම්භයේ දී එය එතරම් තර්ජනාත්මක සබඳතාවයක් නොවුණත් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරයට ලක් වුණා. එදා ජඩේජා සහ අසාරුඩීන් මනරම් පිති හරඹයක නිරත වෙමින් පන්දුවාර 48ක් අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව 287/4 බවට පත් කළා. එහි දී දෙදෙනාම ශතක වාර්තා කරමින් ලකුණු 223ක සබඳතාවයක් ගොඩනැගුවේ එම අවධියේ එක්දින තරගයක 5 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම සබඳතාවය ගොඩනගමින්. එදා ඔවුන් අතින් බිඳ වැටුණේ 1996 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පොන්ටිං සහ බෙවන් වාර්තා කර තිබුණු ලකුණු 159ක වාර්තාව යි.

අසාරුඩීන් සහ ජඩේජා තරගය අතරතුර (ක්‍රිකට් ලොව සඟරාව)

ශ්‍රී ලංකාව ලකුණු 2ක තියුණු ජයක් හිමිකර ගනියි 

ඉන්දීය කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 12 තුළ දී අවශ්‍ය වුණේ ලකුණු 16ක් පමණ යි. එම අවස්ථාවේ දී තීරණාත්මක 49 වැනි පන්දුවාරය යැවූ වාස්, පළමු පන්දුවෙන්ම ලකුණු 119ක් ලබා සිටි ජඩේජාව දවා ගැනීමට සමත් වුණා. එහි දී වාස් එවූ ෆුල්ටොස් පන්දුව හරියාකාරව අවබෝධ කර නොගත් ජඩේජා, දැවී ගියේ වාස් අතටම උඩපන්දුවක් ලබාදෙමින්. ඉන්පසුව එම පන්දුවාරය තුළ දක්ෂ අයුරින් පන්දු යැවූ වාස්, ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 7ක් පමණ යි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට අවසන් පන්දුවාරය තුළ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණේ ලකුණු 9ක් පමණක් නිසා තරගයේ වැඩි වාසිය පැවතියේ ඉන්දීය කණ්ඩායම සතුව යි. නමුත් එම තීරණාත්මක අවස්ථාවේ අවසන් පන්දුවාරය යැවූ ජයසූරිය, ඉන්දීය ඉනිම 300/7 ලෙසින් සීමා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 2ක තියුණු ජයක් උරුමකර දෙමින්. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව – 302/4 (50)

මාවන් අතපත්තු – 118 (153) 

සනත් ජයසූරිය – 73 (52)

රොෂාන් මහානාම – 53 (58)

වෙන්කටේෂ් ප්‍රසාද් – 50/2 (9)

ඉන්දියාව – 300/7 (50)

අජේ ජඩේජා – 119 (121)

මොහොමඩ් අසාරුඩීන් – 111 (117)*

චමින්ද වාස් – 63/3 (10)

ශ්‍රී ලංකාවට ලකුණු 2ක ජයක් 

තරගයේ වීරයා – අජේ ජඩේජා

කවරයේ ඡායාරූපය- සනත් ජයසූරිය පන්දුවට පහරදෙමින් (The Golden Era Of Sri Lankan Cricket) 

Related Articles