Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසීරු ගමනකින් පසුව 1999 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කැංගරුවන්

1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුණු ඕස්ට්‍රේලියානුවන් 1999 ලෝක කුසලාන තරගාවලිය සඳහා පැමිණියේ 1996 දී ඔවුන්ට නොලැබී ගිය කුසලානය නැවත ලබාගැනීමේ අරමුණෙන්. නමුත් මූලික වටයේ තරගවල දී ඔවුන් පාකිස්ථානය සහ නවසීලන්තය හමුවේ ලැබූ පරාජයන් සමග ඔවුන් තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමකට ලක්වුණා. නමුත් එදා ඔවුන්ට එල්ල වුණු එම අභියෝගය සාර්ථකව භාරගත් කැංගරුවන් තරගාවලිය තුළ අසීරු ගමනක යෙදෙමින් ලෝක කුසලානය දිනාගත්තේ සමස්ත ක්‍රිකට් ලෝකයම මවිත කරමින්. මෙම ලිපිය වෙන්වන්නේ එදා කැංගරුවන් පෑ වික්‍රමය පිළිබඳව ඔබට කීමට යි.

තරගාවලිය සඳහා සහභාගි වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම (gettyimages)

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුපිරි 6 වටයට සුදුසුකම් ලැබුවේ ප්‍රබල සටනකින් පසුව යි  

පළමු වටයේ දී B කාණ්ඩය යටතේ තරග වැදුණු ඕස්ට්‍රේලියානුවන් එහිදී පාකිස්ථානය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය, සහ බංගලිදේශය යන කණ්ඩායම් සමග තරග වැදුණා. එහිදී බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය, සහ බංගලාදේශය යන කණ්ඩායම් පරාජය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුපිරි 6 වටයට සුදුසුකම් ලැබුවේ ඉතාමත් අසීරුවෙන්.

ස්කොට්ලන්තය හමුවේ කඩුලු 6ක පහසු ජයක් 

ස්කොට්ලන්ත කණ්ඩායම සමග වොරික්ෂයර්හි දී පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ස්කොට්ලන්ත කණ්ඩායම යි. එහිදී ෂේන් වෝන් ලකුණු 39කට කඩුලු 3ක් දවාගෙන සිදුකළ මනරම් පන්දු යැවීම නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබාගත්තේ ලකුණු 181ක් පමණ යි.

ෂේන් වෝන් විසින් මයිකල් ඇලින්හැම්ව දවාගත් අවස්ථාව (gettyimages)

ඉන් පසුව ලකුණු 182ක පහසු ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු මාක් වෝ ලකුණු 67ක් සහ ස්ටීව් වෝ නොදැවී ලකුණු 49ක් ලබාගත්තා. ඔවුන් දෙදෙනා එලෙස දක්ෂ අයුරින් පන්දුවට පහරදුන් නිසා පන්දුවාර 44.5ක දී කඩුලු 4ක් දැවී තිබිය දී ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

නවසීලන්තය හමුවේ කඩුලු 5ක නොසිතූ  පරාජයක් 

කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් පිටියේ දී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩැරන් ලීමන් පන්දු 94ක දී හතරේ පහර 8ක් සමගින් ලබාගත් ලකුණු 76 නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලකුණු 213ක් ලබාගැනීමට හැකිවුණා. එහිදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ ජෙෆ් ඇලට් ලකුණු 37කට කඩුලු 4ක් දවාගත්තා.

ඩැරන් ලීමන්ගේ ඉනිමේ අවස්ථාවක්(gettyimages)

ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියේ ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 49ක් තුළ බිඳ වැටුණා. නමුත් ඉන් නොසැලුණු රොජර් ට්වෝස් සහ ක්‍රිස් කෙයාන්ස් 5 වැනි  කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 148ක අගනා සබඳතාවය නිසා පන්දුවාර 45.2ක දී කඩුලු 5ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඔවුන්ට හැකිවුණා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ට්වෝස් පන්දු 99කින් නොදැවී ලකුණු 80ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් කෙයාන්ස් පන්දු 77කින් ලබාගත් ලකුණු ප්‍රමාණය 60ක්.

පාකිස්ථානය හමුවේ ලකුණු 10ක පරාජයක් 

හෙඩිංග්ලි පිටියේ දී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම යි. ඔවුන්ගේ මුල් කඩුලු 3ම ලකුණු 46ක් තුළ දැවීගියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වැඩි වාසියක් ලබාදෙමින්. නමුත් එම අවස්ථාවේ  ඉන්සාමාම් උල් හක් සහ අබ්දුල් රසාක් 4 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 118ක සබඳතාවය නිසා පාකිස්ථානු ඉනිම නිමාවුණේ 275/8ක් ලෙසින්. එහිදී පාකිස්ථානු ඉනිම වර්ණවත් කළ ඉන්සාමාම් පන්දු 104කින් ලකුණු 81ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් රසාක් ලැබූ ලකුණු ප්‍රමාණය 60ක්. අනතුරුව ලකුණු 276ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 101ක් තුළ දැවීගියා. නමුත් ස්ටීව් වෝ සහ බෙවන් 5වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 113ක සබඳතාවය නිසා තරගය නැවතත් ඕස්ට්‍රේලියානුවන් දෙසට හැරුණා. එලෙස ඕස්ට්‍රේලියානුවන් දෙසට හැරුණු තරගය  වසීම් අක්‍රම් ලකුණු 61ක් ලබා සිටි බෙවන්ව දවාගැනීමත් සමගම පාකිස්ථානය දෙසට හැරුණු නිසා ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 49.5ක් තුළ ලකුණු 265කට සීමාවුණේ පාකිස්ථානු කණ්ඩායමට ලකුණු 10ක ජයක් උරුමකර දෙමින්. එදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලද පරාජයත් සමගින් ඔවුන්ට ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට ඉතිරි තරග 2ම ජයගැනීම අනිවාර්ය වුණා.

බෙවන්ගේ සටන්කාමී ඉනිමේ අවස්ථාවක් (gettyimages)

බංගලාදේශය හමුවේ කඩුලු 7ක පහසු ජයක් 

චෙස්ටර්-ලී-ස්ට්‍රීට් පිටියේ දී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 178ක් ලබාගත්තේ ආබ්දීන් නොදැවී ලබාගත් ලකුණු 53 නිසා යි. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටොම් මූඩි ලකුණු 25කට කඩුලු 3ක් දවාගනිමින් පන්දුවෙන් සාර්ථක වුණා. ඉන්පසුව ලකුණු 179ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 39කින් ලකුණු 63ක් සහ ටොම් මූඩි පන්දු 29කින් නොදැවී ලකුණු 56 ලබාගෙන පන්දුවාර 19.5කදී  ජයග්‍රාහී ඉලක්කය පසුකලේ කඩුලු 3ක් දැවී තිබියදී යි.

ටොම් මූඩි පන්දුවට පහරදෙමින් (gettyimages)

බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ කඩුලු 6ක ජයක් 

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණා. එවැනි වටපිටාවක මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 46.4ක් තුළ සියලුදෙනාම දැවී ලකුණු 110ක් ලබාගත්තේ ග්ලේන් මැග්‍රාත් 14/5 සහ ෂේන් වෝන් 11/3ක් ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම් නිසා යි. එලෙස කොදෙව් කණ්ඩායමේ පිතිකරුවන් ඉක්මනින් දැවීයන විට ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ජේකබ්ස් ඉනිම අවසන් වනතුරුම කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 49ක්.

මැග්‍රාත් විසින් ලාරාව දවාගත් අවස්ථාව (gettyimages)

ඉන්පසුව ලකුණු 111ක පහසු ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබාගනිමින්.

B කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ ඉතිරි කණ්ඩායම් දෙක වුණු නවසීලන්තය සහ පාකිස්ථානය හමුවේ ඕස්ට්‍රේලියානුවන් මූලික වටයේ තරගවලදී පරාජය වීම නිසා ඔවුන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබුවේ ප්‍රසාද ලකුණු රහිතවයි. එම නිසාම ඔවුන්ට නියත වශයෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ඉතිරි තරග 3ම ජයගැනීම අනිවාර්ය වුණා.

ඕස්ට්‍රේලියානුවන් සුපිරි 6 වටයේ සියලුම තරග ජයග්‍රහණය කරයි. 

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති සුපිරි 6 වටයේ පළමු තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 282ක් ලබාගත්තේ මාක් වෝ ලබාගත් ලකුණු 83 නිසා යි. අනතුරුව ලකුණු 283ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 17ක් තුළ දැවීගියත් අජේ ජඩේජා සහ රොබින් සිං ලකුණු 141ක සබඳතාවයක් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා. නමුත් රොබින් සිං ලකුණු 75කට දැවීයාමත් සමගම ඉන්දියානු ඉනිම ලකුණු 205කට සීමාවන අතරතුර ජඩේජා නොදැවී ලකුණු 100ක් ලබාගත්තත් එම ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වැලැක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ.

මාක් වෝගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ලෝඩ්ස් පිටියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 303ක් ලබාගත්තේ මාක් වෝ ලබාගත් ලකුණු 104 නිසා යි. ඉන්පසුව ලකුණු 304ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නීල් ජොන්සන් පන්දු 144කින් නොදැවී ලකුණු 132ක් ලබාගත්තත් ඔවුන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 259ක් පමණ යි.

3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 152ක සබඳතාවයක් ගොඩනැගූ වෝ සහෝදරයන් (gettyimages)

දකුණු අප්‍රිකාවට එරෙහිව හෙඩිංග්ලි පිටියේ පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් අප්‍රිකානුවන් කඩුලු 7ක් දැවී ලකුණු 271ක් ලබාගත්තේ හර්ෂල් ගිබ්ස් ලබාගත් අගනා ලකුණු 101 නිසා යි. අනතුරුව ලකුණු 272ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49.4කදී කඩුලු 5ක් දැවී ජයග්‍රහණය කරා ගියේ ස්ටිව් වෝ පන්දු 110කින් නොදැවී ලබාගත් ලකුණු 120 නිසා යි. එහිදී ස්ටීව් වෝ ලබාදුන් උඩපන්දුවක් හරියාකාරව රැකගැනීමට පෙර ගිබ්ස් එය සැමරීමට යාම නිසා ඔහු අතින් එය ගිලිහී ගියේ ස්ටීව් වෝට තවදුරටත් පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදෙමින්.

ස්ටීව් වෝ ජයග්‍රහණයෙන් අනතුරුව (gettyimages)

මොළකාරයන්ගේ තරගයේ ලකුණු සම වුනත් කැංගරුවන් අවසන් තරගයට 

එජ්බැස්ටන් පිටියේ දී පැවති මෙම තරගය එදා හැදින්වුනේ මොළකාරයන්ගේ තරගය ලෙසින්. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 68ක් තුළ දැවීගියා. නමුත් ස්ටීව් වෝ සහ බෙවන් ගොඩනැගූ ලකුණු 90ක සබඳතාවය නිසා පන්දුවාර 49.2කදී සියලුම පිතිකරුවන් දැවීයන විට ඔවුන්ට ලකුණු 213ක් ලබාගැනීමට හැකිවුණා. එහිදී ඕස්ට්‍රේලියානු ඉනිම සුණුවිසුණු කළ ෂෝන් පොලොක් 36/5 සහ ඇලන් ඩොනල්ඩ් 32/4 ලෙසින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැගූ ස්ටිව් වෝ සහ බෙවන් (gettyimages)

ලකුණු 214ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය අප්‍රිකානුවන්ගේ මුල් කඩුලු 4ම ලකුණු 61ක් තුළ දැවීගියත් කලිස් සහ රෝඩ්ස් එක්ව ගොඩනැගූ ලකුණු 84ක සබඳතාවය නිසා අප්‍රිකානු ලකුණු පුවරුව 145/4 බවට පත්වුණා. නමුත් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ක්‍රියාත්මක වෙමින් අප්‍රිකානු ලකුණු පුවරුව 49වන පන්දුවාරය අවසන් වන විට 205/9 බවට පත්කළා. අවසන් පන්දුවාරය තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් අවශ්‍ය වුණු මොහොතේ මුල් පන්දු 2ක තුළ ක්ලූස්නර් හතරේ පහර 2ක් එල්ල කරමින් ලකුණු තත්ත්වය සම කළා. නමුත් අවාසනාවන්ත ආකාරයට  හතරවන පන්දුවේ දී ඩොනල්ඩ් දුවද්දී දැවීයාම නිසා තරගය ලකුණු සමවුණු තරගයක් ලෙසින්ම නිමාවුණා. එලෙස ජය පැරදුමෙන් තොරව තරගය නිමාවුණත් සුපිරි 6 වටයේ අප්‍රිකානුවන් හමුවේ ඕස්ට්‍රේලියානුවන් ලද ජයග්‍රහණය නිසා ඔවුන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

ඩොනල්ඩ් දුවද්දී දැවීගිය අවස්ථාව (gettyimages)

කාසියේ වාසිය පරාජය වුණත් වර්ෂාව ඕස්ට්‍රේලියානුවන්ට වාසනාව ගෙන එයි.

පාකිස්ථානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ දී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානු නායක අක්‍රම් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. නමුත් හදිසියේම ඇතිවුණු මඳ වර්ෂාව නිසා තණතීරුව පන්දු යවන්නන්ට යෝග්‍ය වුණා. එම නිසාම මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායමට ෂේන් වෝන් 33/4 ලෙසින් කළ මනරම් පන්දු යැවීම නිසා පන්දුවාර 39කදී සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 132ක් පමණ යි.

ලකුණු 33කට කඩුලු 4ක් ලබාගත් වෝන්(gettyimages)

ඉන් පසුව ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවන් පන්දුවාර 20.1ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී ලෝක ශූරයන් බවට පත්වුණේ තරගාවලිය තුළ අසීරු ගමනය යෙදීමෙන් පසුව යි. මෙම ජයග්‍රහණය නිසා ඕස්ට්‍රේලියානු කොතරම් උද්යෝගයට පත්වුණා ද කිවහොත් ඔවුන්ට ජාතික නිවාඩු දිනයක් පවා එරට අගමැතිවරයා ලබාදුන්නා.

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම(sportskeeda)

කවරයේ ඡායාරූපය-ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු වෝ සොයුරන් ෂේන් වෝන් සමග(gettyimages)

Related Articles