Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිම්බාබ්වේ දේශයේ දී ලංකා අභිමානය රැකදුන් පිතිකරුවා

1999 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වුණේ සිම්බාබ්වේ දේශයේ දී යි. එම එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා තීරණයක් රහිතව අවසන් වුණා. එම නිසාම දෙවන තරගය සඳහා කණ්ඩායම් දෙකම අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. දිවා තරගයක් ලෙසින් පැවති එම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් සිම්බාබ්වේ නායක ඇන්ඩි ෆ්ලවර් මුලින්ම පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකාවට  ලබාදුන්නා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් සිම්බාබ්වේ වේගපන්දු යවන්නන් ඉදිරියේ අන්ත අසරණ වුණා. එලෙස ශ්‍රී ලංකාව අසරණ වුණු මොහොතක ක්‍රියාත්මක වුණු රසල් ආනල්ඩ්, සටන්කාමී ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කළා. නමුත් එදා ආනල්ඩ්, සිම්බාබ්වේ දේශයේ දී සුපිරි ශතකයක් ලබාගත් තරගය අද බොහෝ දෙනෙකුට අමතකව ගොස් තිබෙනවා. මේ වෑයම එදා ආනල්ඩ්ගේ සුපිරි ඉනිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ එම එක්දින තරගය පිළිබඳව යළි මතක් කර දීමට යි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වේලාසනින්ම ගෙදර යයි 

කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන පිතිකරුවන් දෙදෙනා යි. නමුත් ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 10කට සීමා කරමින් කළුවිතාරණ පළමු පන්දුවාරයේ දී ම දැවීගියා. එහි දී කළුවිතාරණ, ඔලොංගාගේ පන්දුවක් හමුවේ Hit Wicket වීමෙන් දැවීයන විට කිසිදු ලකුණක් ලබා සිටියේ නැහැ. එලෙස කළුවිතාරණ දැවීයාමෙන් පන්දු 5කට පසුව සිදුවුණු ජයසූරියගේ දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවක් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 1.5ක් අවසන් වන විට ලකුණු පුවරුව සටහන් වුණේ 14/2 ලෙසින්.

හෙන්රි ඔලොංගා (gettyimages)

මාවන් සහ මහේල ඉනිම ගොඩනැගීමට උත්සාහ කරයි 

ආරම්භයේ දී ම කඩා වැටුණු ඉනිම යළි ගොඩනැගීමේ කාර්යය පැවරුණේ මාවන් සහ මහේල යන පිතිකරුවන් දෙදෙනාට යි. ඔවුන් දෙදෙනා එම වගකීම භාර ගනිමින් සීරුවෙන් පන්දුවට පහරදීම ඇරඹුවා. එලෙස පන්දුවට පහරදෙමින් මාවන් සහ මහේල එකතු කළ ලකුණු 35 නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ  49/2 ලෙසින්. එම අවස්ථාවේ දී මාවන් සහ මහේල ගොඩනගමින් තිබුණු සබඳතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් තීරණාත්මක වුණා.

මාවන් සහ මහේල (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටෙයි 

එලෙස ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගෙමින් සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉක්මනින්ම කඩුලු 2ක් දවාගත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වුණේ 52/4 ලෙසින්. එහි දී මාවන් සහ මහේල යන පිතිකරුවන් දෙදෙනාගේ නික්ම යාම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවක් වුණා. එම කඩුලු 2ක දැවීයාමෙන් පසුව කඩුල්ලේ එකතු වුණේ රසල් ආනල්ඩ් සහ තිලකරත්න දිල්ෂාන් යන පිතිකරුවන් දෙදෙනා යි. නමුත් ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 14කට සීමා කරමින් දිල්ෂාන් ලකුණු 6කට දැවීගියා. දිල්ෂාන්ගේ නික්ම යාමෙන් පසුව පිටියට පිවිසී චන්දන සහ වාස් යන පිතීකරුවන්ටත් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට හැකි වුණේ නැහැ. එම නිසාම පන්දුවාර 27ක් අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 103/7 බවට පත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයකට පත් කරමින්.

රසල් ආනල්ඩ්ගෙන් හුදෙකලා සටනක් 

නොසිතූ මොහොතක සිදුවුණු කඩුලු බිඳ වැටීමෙන් පසුව රසල් ආනල්ඩ් පිටියේ හුදෙකලා වුණා. නමුත් ඔහු, නව පිතිකරු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළා. එහි දී ප්‍රමෝද්‍ය ලබාදුන් අනගි සහායෙන් පන්නරය ලැබූ ආනල්ඩ් ලකුණු පුවරුව 160/7 දක්වා රැගෙන ගියේ සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරමින්. නමුත් තරගයේ 43 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ගයි විට්ල්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සතුට ක්ෂණයකින් උදුරාගනු ලැබුවා. එහි දී ඔහු එකම පන්දුවාරයක් තුළ ප්‍රමෝද්‍ය සහ මුරලිදරන් යන පිතිකරුවන් දෙදෙනාවම දවාගනු ලැබුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 162/9 බවට පත් කරමින්.

ගයි විට්ල් (gettyimages)

ආනල්ඩ්ගේ මංගල එක්දින ශතකය ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි 

සිය කණ්ඩායමේ කඩුලු 9ක් දැවීගිය අවස්ථාවේ දී නොසැලුණු රසල් ආනල්ඩ් අවසන් පිතිකරුවාත් රැකගෙන සිය සටන ඉදිරියට ගෙන ගියා. ඒ වන විට ඉතිරිව තිබුණු පන්දුවාර 7 මනාව කළමනාකරණය කළ රසල් ආනල්ඩ් නම් සුපිරි පිතිකරුවා, සිය කණ්ඩායම ලකුණු 213 දක්වා රැගෙන ගියේ අගනා ලකුණු 103ක් ලබා ගනිමින්. එහි දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමගින් ආනල්ඩ් ලබාගත් ශතකයට පන්දු 121ක් වැය වී තිබුණා. එසේම, එය ඔහුගේ එක්දින දිවිය තුළ වාර්තා වුණු මංගල ශතකය බවටත් පත් වුණා.

රසල් ආනල්ඩ් (gettyimages)

සිම්බාබ්වේ කණ්ඩායමෙන් සාර්ථක ආරම්භයක් 

ලකුණු 214ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ග්‍රාන්ට් ෆ්ලවර් සහ ඇලිස්ටෙයාර් කැම්බල් යන පිතිකරුවන් දෙදෙනා යි. ඉනිම ආරම්භයේ සිටම ඉතාමත් සංයමයෙන්  පිති හැසිර වූ කැම්බල් සහ ෆ්ලවර් සවිමත් සබඳතාවයකට අත්තිවාරමක් දැමුවා. එලෙස ඔවුන් දෙදෙනා දැමූ සාර්ථක අඩිතාලම නිසා පන්දුවාර 22.3ක් අවසන් වන විට සිම්බාබ්වේ ලකුණු පුවරුව 91/0 ලෙසින් දිස් වුණා. ඒ අනුව එම මොහොත වන විට සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණු ලකුණු 123 ලබා ගැනීමට පන්දු 165ක් ඉතිරිව තිබුණා. එසේම සිම්බාබ්වේ කණ්ඩායමේ කිසිදු කඩුල්ලක් දැවී නොතිබුණු නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට හසුව සිටියා.

 ග්‍රාන්ට් ෆ්ලවර් (gettyimages)

චන්දන සහ ජයසූරිය එක්ව සිම්බාබ්වේ ඉනිම අඩපණ කරයි 

සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රබල ස්ථානයක සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු උපුල් චන්දන ආරම්භක පිතිකරු ග්‍රාන්ට් ෆ්ලවර්ව ලකුණු 48කට දවාගනු ලැබුවා. නමුත් ඉන් නොසැලුණු කැම්බල්, නව පිතිකරු ඇන්ඩි ෆ්ලවර් සමග එක්ව සිම්බාබ්වේ ලකුණු පුවරුව 127/1 දක්වා ඉහළ දැමුවා. එලෙස ශ්‍රී ලංකාව වෙතින් තරගය ගිලිහෙමින් පැවතුණු අවස්ථාවේ යළි ක්‍රියාත්මක වුණු චන්දන සහ ජයසූරිය, ලකුණු 17ක් තුළ කඩුලු 3ක් දවාගත්තේ සිම්බාබ්වේ ලකුණු පුවරුව 144/4 බවට පත් කරමින්.

උපුල් චන්දන (gettyimages)

සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රාහී ගමනක 

එම අවස්ථාව වන විට සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 70කින් ලකුණු 70ක් අවශ්‍යව තිබුණා. එහි දී තරමක් වේගයෙන් පන්දුවට පහරදුන් ගයි විට්ල් හයේ පහර 2ක් සමගින් ලකුණු 30ක් ලබාගත්තේ පන්දු 27කට පමණක් මුහුණදෙමින්. එලෙස විට්ල් දියත් කළ වේගවත් ඉනිම නිසා පන්දුවාර 45.3ක් අවසානයේ දී සිම්බාබ්වේ ලකුණු පුවරුව සටහන් වුණේ 184/4 ලෙසින්. ඒ අනුව ජයග්‍රහණය සඳහා පන්දු 27කින් ලකුණු 30ක් පමණක් අවශ්‍ය වුණු එම මොහොතේ සිම්බාබ්වේ පිතිකරුවන් ජයග්‍රාහී ගමනක් යමින් සිටියා.

සිම්බාබ්වේ කණ්ඩායමට නොසිතූ පරාජයක් 

සිම්බාබ්වේ කණ්ඩායම ජය කණුව අසලටම ගොස් සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු මුරලිදරන්, අවශ්‍යම වුණු විට්ල්ගේ කඩුල්ල දවාගත්තා. නමුත් ඉන් නොසැලුණු ගුඩ්වින්, පන්දුවාර 47.1ක් අවසන් වන විට සිම්බාබ්වේ ලකුණු පුවරුව 196/5 බවට පත් කළා. එලෙස සිම්බාබ්වේ පිතිකරුවන් නොසැලී සටන් කළත්, ශ්‍රී ලංකා පන්දු යවන්නගෙන් ඔවුන්ට බුරුලක් ලැබුණේ නැහැ. එම නිසාම කිසිවෙකු බලාපොරොත්තු නොවුණු අයුරින් සිම්බාබ්වේ කණ්ඩායමේ අවසන් කඩුලු 5ම ලකුණු 4ක් තුළ දැවීගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 13ක තියුණු ජයක් උරුමකර දෙමින්.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 213/10 (50), (ආනල්ඩ්- 103, ප්‍රමෝද්‍ය- 19, ගයි විට්ල්- 35/4, බ්‍රෙන්ට්- 37/2, රෙනී- 40/2)

සිම්බාබ්වේ- 200/10 (49.1), (කැම්බල්- 56, ග්‍රාන්ට්- 48, ගයි- 30, ජයසූරිය- 41/4, චන්දන- 28/2)

ශ්‍රී ලංකාවට ලකුණු 13ක ජයක්! 

තරගයේ වීරයා- රසල් ආනල්ඩ් 

කවරයේ ඡායාරූපය- රසල් ආනල්ඩ් (gettyimages)

Related Articles