Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2000 වසරේ දී ආසියානු පිල සහ ලෝක පිල ගැටුණු එක්දින තරගය

2000 වසරේ අප්‍රේල් 8 වැනිදා බංගලිදේශයේ බංගබන්ධු ක්‍රීඩා පිටියට විශාල ජනතාවක් එකතු වුණා. ඔවුන් එලෙස බංගබන්ධු පිටියට එකතු වුණේ ලෝක කණ්ඩායම සහ ආසියානු කණ්ඩායම අතර පැවැත්වුණු නිල නොවන එක්දින තරගය දැක බලා ගැනීමට යි. එදා තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් කුල්මත් කළ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් කරට කර සටනක නිරත වුණා. කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු එම ද්වන්ධ  සටන අවසන් වුණේ ආසියානු කණ්ඩායමට ලකුණු 1ක තියුණු ජයක් හිමි කර දෙමින්. 

කාසියේ වාසිය දිනාගත් ආසියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙයි 

තරගයේ කාසියේ වාසිය දිනාගත් ආසියානු කණ්ඩායමේ නායක වසීම් අක්‍රම්, මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ විශාල ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබාදීමේ අරමුණෙන්. එදා ලෝක ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබලම ප්‍රහාරකයන් දෙදෙනෙකු වුණු සනත් ජයසූරිය සහ සචින් ටෙන්ඩුල්කාර් ආසියානු කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළා. එහි දී ජයසූරිය සහ ටෙන්ඩුල්කාර් පන්දු 44කින් ලකුණු 49ක් ලබාගත්තේ සාර්ථක ආරම්භයක් ආසියානු කණ්ඩායමට ලබාදෙමින්. නමුත් ඔවුන් දෙදෙනා ලබාගත් එම සාර්ථක ආරම්භයට නැවතීමේ තිත තැබූ නැන්ටි හේවඩ් ආසියානු කණ්ඩායමේ පළමු  කඩුල්ල ලෙසින් ජයසූරියව දවාගත්තේ ලකුණු 12කට යි.

ගංගුලී සහ ටෙන්ඩුල්කාර්ගෙන් ලකුණු 114ක අගනා සබඳතාවයක් 

ජයසූරියගේ නික්ම යාමෙන් පසුව පිටියේ එක් වුණු ගංගුලී සහ ටෙන්ඩුල්කාර් ආසියානු කණ්ඩායමේ ඉනිම ගොඩනැගීම ආරම්භ කළා. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ගංගුලී සහ ටෙන්ඩුල්කාර් නිතරම එකට පන්දුවට පහරදුන් නිසා ඔවුන් දෙදෙනා අතර හොඳ අවබෝධයක් තිබුණා. ඉන් උපරිම ප්‍රයෝජන ගත් එම පිතිකරුවන් දෙදෙනා පන්දු 105කින් ලකුණු 114ක් එකතු කළේ ආසියානු කණ්ඩායමේ ලකුණු පුවරුව 163/1 දක්වා ඉහළ නංවමින්. 

ගංගුලී සහ ටෙන්ඩුල්කාර් (gettyimages)

ටෆ්නල් ආසියානු කණ්ඩායමට තර්ජනයක් වෙයි 

එලෙස ගංගුලී සහ ටෙන්ඩුල්කාර් දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ ලෝක කණ්ඩායම දැඩි පීඩනයකට හසුව සිටියා. එම නිසාම ලෝක කණ්ඩායමේ නායක මාක් වෝ කඩුල්ලක් ලබාගැනීම සඳහා විවිධ උපක්‍රම යෙදුවා. අවසානයේ දී එම උපක්‍රම සාර්ථකත්වයට පත් වුණු නිසාම ටෙන්ඩුල්කාර් සහ ගංගුලී යන ප්‍රබල පිතිකරුවන් දෙදෙනා ෆිල් ටෆ්නල්ගේ පන්දු හමුවේ දැවී ගියා. එලෙස ඔවුන් දෙදෙනා නික්ම යාමෙන් අනතුරුව ආසියානු කණ්ඩායමේ ලකුණු පුවරුව 183/3 බවට පත් වුණා.

ෆිල් ටෆ්නල් (gettyimages)

අරවින්ද සහ ජඩේජා ආසියානු කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවයි 

ආසියානු කණ්ඩායමේ කඩුලු 2ක් ඉක්මනින්ම දැවීගිය අවස්ථාවේ පිටියේ එක් වුණු අරවින්ද ද සිල්වා සහ අජේ ජඩේජා තීරණාත්මක සබඳතාවයක් ගොඩනැගුවා. ඔවුන් දෙදෙනා එලෙස පන්දු  69කින් එකතු කළ ලකුණු 59 නිසා පන්දුවාර 38.3ක් අවසන් වන විට ආසියානු කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුණේ 242/3ක් ලෙසින්. ඒ වන විට තරගයේ අවසන් පන්දුවාර 10ට ආසන්න වෙමින් පැවතුණු නිසා ආසියානු කණ්ඩායමට විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමේ හැකියාව තිබුණා.

අරවින්ද ද සිල්වා (gettyimages)

ලෝක කණ්ඩායමට ලකුණු 321ක දැවැන්ත ඉලක්කයක්

ආසියානු කණ්ඩායම ප්‍රබල ස්ථානයක පසුවුණු එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ලෝක කණ්ඩායමේ පන්දු යවන්නන්, පන්දු 11ක් තුළ ලබාගත් කඩුලු තුන නිසා ලකුණු පුවරුව 248/6 බවට පත් වුණා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු මොයින් ඛාන් සහ වසීම් අක්‍රම්, ලකුණු 43ක වේගවත් සබඳතාවයක් ගොඩනගනු ලැබුවා. ඔවුන් දෙදෙනාගේ එම වේගවත් සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ආසියානු කණ්ඩායමේ ලකුණු පුවරුව 320/9ක් ලෙසින් දිස්වුණේ ලෝක කණ්ඩායමට ලකුණු 321ක ඉලක්කයක් ලබාදෙමින්.

ලෝක කණ්ඩායම සාර්ථකව ඉලක්කය හඹා යාම ආරම්භ කරයි 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මාක් වෝ සහ සිම්බාබ්වේ ක්‍රීඩක නීල් ජොන්සන්, ලෝක කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළා. නමුත් ඔවුන් දෙදෙනාගේ ආරම්භක සබඳතාවය ලකුණු 28කට සීමා වුණේ අක්‍රම්ගේ පන්දුවක් හමුවේ ලකුණු 2ක් ලබා සිටි ජොන්සන් දැවීයාමත් සමගින්. ජොන්සන්ගේ නික්ම යාමෙන් අනතුරුව මාක් වෝ සහ ජැක් කලිස් පිටියේ එකතු වුණත්, ඔවුන් දෙදෙනාට හොඳ සබඳතාවයක් ගොඩනැගීමට නොහැකි වුණේ වාස්ගේ පන්දුවක් හමුවේ වෝ ලකුණු 28කට දැවීගිය නිසා යි. එලෙස ආරම්භක පිතිකරුවන් යුගලයම ලකුණු 46ක් තුළ දැවීගිය පසුව පිටියේ එක්වුණු කලිස් සහ බෙවන්, ලෝක කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය 96ක් දක්වා ඉහළ දැමුවා. නමුත් එම අවස්ථාවේ දී ලකුණු 27ක් ලබා සිටි කලිස් දැවීගියත්, බෙවන් සාර්ථකව පන්දුවට පහරදෙමින් පන්දුවාර 22.1ක් අවසානයේ දී ලෝක කණ්ඩායමේ ලකුණු පුවරුව 134/3 බවට පත් කළා.

ලෝක කණ්ඩායම අසීරු අඩියකට වැටෙයි 

ලෝක කණ්ඩායමේ ලකුණු පුවරුව 134/3ක් බවට පත්ව තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු මුත්තයියා මුරලිදරන්, ක්‍රිස් කෙයාන්ස්ව ලකුණු 8කට දවාගනු ලැබුවා. ඉන් අනතුරුව පිටියට පිවිසි ලාන්ස් ක්ලූස්නර්, සිය සගයා වුණු බෙවන්ට ලබාදුන් සහයෝගය නිසා ලකුණු පුවරුව 180/4ක් බවට පත් වුණා. එලෙස ගොඩනැගෙමින් තිබුණු සබඳතාවයට තිරිංග යෙදූ මුරලිදරන්, ලකුණු 16ක් ලබා සිටි ක්ලූස්නර්ව දවාගනු ලැබුවේ ආසියානු කණ්ඩායමට අස්වැසිල්ලක් ලබාදෙමින්. අවශ්‍ය ම අවස්ථාවේ එම කඩුල්ල දැවීයාමෙන් පසුව ක්‍රියාත්මක වුණු රසාක්, ඉක්මනින්ම කඩුලු 2ක් දවාගත්තේ ලෝක කණ්ඩායමේ ලකුණු පුවරුව 196/7 බවට පත් කරමින්. එහි දී ප්‍රහාරාත්මක පිතිකරු ගිල්ක්‍රිස්ට් ලකුණු 1කට දැවීයාම ලෝක කණ්ඩායමට විශාල පාඩුවක් වුණා. එම අවස්ථාව වන විට ලෝක කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 78කින් ලකුණු 125ක් අවශ්‍ය වුණා. නමුත් ඒ වන විට පන්දුවට පහරදිය හැකි පිතිකරුවෙකුට ඉතිරිව සිටියේ බෙවන් පමණක් නිසා ඔවුන්ට ජයග්‍රහණය කරා ගමන් කිරීම ඉතාමත් අසීරු කාර්යයක් වුණා.

මුත්තයියා මුරලිදරන් (gettyimages)

බෙවන් හුදෙකලා සටනක නිරත වෙයි 

එම අවස්ථාවේ නවක පිතිකරු ලෙසින් පිටියට පැමිණි ඇන්ඩි කැඩික්ගේ සහාය බෙවන්ට ලැබුණු නිසා ඔහු සීරුවෙන් පන්දුවට පහරදෙමින් සිය ශතකය සම්පූර්ණ කළා. ඉන් අනතුරුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළ බෙවන්, හයේ සහ හතරේ පහරවල් එල්ල කරමින් සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 168 දක්වා වැඩිකර ගත්තේ ලෝක කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කයට සමීප කරමින්.

ආසියානු කණ්ඩායමට ලකුණු 1ක තියුණු ජයක් 

බෙවන් දියත් කළ වේගවත් පිතිහරඹය නිසා පන්දුවාර 49ක් අවසානයේ දී ලෝක කණ්ඩායම කඩුලු 7කට ලකුණු 301ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 20ක් අවශ්‍ය වුණා. එම තීරණාත්මක අවස්ථාවේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ රසාක් යැවූ පළමු පන්දුවට කැඩික් ලකුණක් ලබාගත්තා. ඉන්පසුව රසාක්ගෙන් එල්ල වුණු පන්දු 3ටම හතරේ පහර 3ක් ලබාගත් බෙවන්, තරගය දෙපිලටම විවෘත එකක් කළා. ඒ අනුව අවසන් පන්දු 2ක තුළ ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණේ ලකුණු 7ක් පමණ යි. එලෙස තරගය තියුණු මුහුණුවරකට හැරී තිබුණු අවස්ථාවේ යොමු වුණු 5 වැනි පන්දුවට ලකුණු 2ක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කැඩික් දුවද්දී දැවීයාමකට හසුවුණා. එම නිසාම අවසන් පන්දුවට මුහුණදුන් බෙවන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට හයේ පහරක් එල්ල කළ යුතුව තිබුණා. එදා රසාක් යොමු කළ අවසන් පන්දුවට බෙවන් දැවැන්ත පහරක් එල්ල කළත්, ඉන් ලැබුණේ ලකුණු 4ක් පමණ යි. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලෝක කණ්ඩායමේ ලකුණු පුවරුව 319/8ක් ලෙසින් දිස්වුණේ ආසියානු කණ්ඩායමට ලකුණු 1ක තියුණු ජයක් උරුමකර දෙමින්. එහි දී ලෝක කණ්ඩායම වෙනුවෙන් මනරම් පිතිහරඹයක නිරත වුණු මයිකල් බෙවන්, පන්දු 132කින් හතරේ පහර 19ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලබාගත් ලකුණු 185 කාගේත් කතාබහට ලක්වුණු ඉනිමක් වුණා. එම නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානයත් හිමි වුණා.

 මයිකල් බෙවන් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ආසියානු කණ්ඩායම- 320/9 (50), (ටෙන්ඩුල්කාර්- 80, ගංගුලී- 67, අරවින්ද-39, හේවඩ්- 39/3, වෝ- 28/2)

ලෝක කණ්ඩායම- 319/8 (50), (බෙවන්- 185*, වෝ- 28, කලිස්- 27,  මුරලිදරන්- 45/2, රසාක්- 68/2)

ආසියානු කණ්ඩායමට ලකුණු 1ක ජයක්

දක්ෂතම පන්දු රකින්නා- මුත්තයියා මුරලිදරන්

දක්ෂතම පන්දු යවන්නා- නැන්ටි හේවඩ් 

දක්ෂතම පිතිකරුවා- මයිකල් බෙවන් 

තරගයේ වීරයා- මයිකල් බෙවන් 

කවරයේ ඡායාරූපය- මයිකල් බෙවන් (gettyimages)

Related Articles