Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජයසූරිය හමුවේ ඉන්දියාව ලකුණු 135කින් පරාජය වුණු එක්දින තරගය

2000 වසරේ අග භාගයේ දී සාජා පිටිය උණුසුම් වුණේ එහි පැවැත්වුණු කොකාකෝලා ශූරයන්ගේ කුසලාන තුන්කොන් තරගාවලිය නිසා යි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙක යි. 2000 වසරේ ඔක්තෝබර් 29 වැනිදා පැවැත්වුණු එම අවසන් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන එකක් බවට පත් වුණේ, සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල දැක්වූ සුපිරි දස්කම් නිසා යි. එදා ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ලබාගත් ලකුණු 245ක ජයග්‍රහණය එම අවධියේ එක්දින තරගයක දී වාර්තා වුණු විශාලතම ජයග්‍රහණය බවටත් පත් වුණා. එසේ නම් එලෙස ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියානුවන් අසරණ වුණු එක්දින තරගය පිළිබඳ තොරතුරු මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගනියි 

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඉන්දීය කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමේ අරමුණ ඇතිව යි. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ජයසූරිය සහ කළුවිතාරණ, පන්දු 49කින් 44ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදෙමින්. එලෙස ආරම්භක පිතිකරු යුගලය ලකුණු අතරට පැමිණෙමින් තිබුණු අවස්ථාවේ දී කළුවිතාරණ දැවීගියත්, ඉන් නොසැලුණු ජයසූරිය ශ්‍රී ලංකා ලකුණු පුවරුව 90/1 දක්වා ඉහළ දැමුවේ මාවන් සමග එක් වෙමින්.

ඉන්දීය කණ්ඩායම තරගයට අවතීර්ණ වෙයි 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සීරුවෙන් පන්දුවට පහරදෙමින් ඉනිම ගොඩනගමින් සිටි එම අවස්ථාවේ ඉන්දීය කණ්ඩායමට යළි තරගයට අවතීර්ණ වීම සඳහා කඩුලු කිහිපයක් දවාගැනීම අනිවාර්ය වුණා. එම නිසාම ඉන්දීය නායක ගංගුලී විවිධ උපක්‍රම භාවිතා කරමින් කඩුලු ලබාගැනීමට උත්සාහ කළා. නමුත් එම අවස්ථාවේ දී කිසිවෙකු නොසිතූ අයුරින් අතපත්තු දුවද්දී දැවීයාමත් සමගම පිබිදුණු ඉන්දීය පන්දු යවන්නන් තවත් කඩුලු 2ක් දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 116/4ක් බවට පත් කරමින්.

ජයසූරිය සහ ආනල්ඩ් ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනගයි 

නොසිතූ අවස්ථාවක සිදුවුණු එම බිඳවැටීමෙන් අනතුරුව පිටියේ එක්වුණු ජයසූරිය සහ ආනල්ඩ්, සෙමෙන් සෙමෙන් ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළා. එහි දී ආනල්ඩ්ගෙන් ලැබුණු මනා සහයෝගයෙන් උපරිම ප්‍රයෝජන ගත් ජයසූරිය, ඉන්දීය පන්දු යවන්නන්ට බැට දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යළි තරගයට අවතීර්ණ කරමින්. එලෙස ඔවුන් දෙදෙනා මැනවින් පන්දුවට පහරදෙන අතරතුර සිය එක්දින දිවියේ 9 වැනි ශතකය ලබාගත් ජයසූරිය 40 වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 200/4ක් බවට පත් කළේ ඉන්දීය කණ්ඩායම අසීරු අඩියකට දමමින්.

රසල් ආනල්ඩ් (gettyimages)

ජයසූරියගේ සුපිරි ඉනිම නිසා ඉන්දියාවට ලකුණු 300ක දැවැන්ත ඉලක්කයක්

සිය ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව වඩාත් වේගයෙන් ලකුණු රැස් කළ නායක ජයසූරිය ලකුණු 150 සීමාව ඉක්මවමින් ලකුණු 175 සීමාවට අවතීර්ණ වන විට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වඩාත් උද්දාමයට පත් වුණා. එම අවධිය වන විට එක්දින ඉනිමක වාර්තා වී තිබුණු වැඩිම ලකුණු ප්‍රමාණය වුණේ සයිඩ් අන්වර් ලබා තිබුණු  ලකුණු 194 යි. එම නිසාම ජයසූරිය මෙම වාර්තාව බිඳදමන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මහත් ආශාවෙන් බලා සිටියා. නමුත් එම අවස්ථාවේ ගංගුලී උපක්‍රමශීලීව යොමු කළ වයිඩ් පන්දුවට ඉදිරියට පැන පහරදීමට ගිය ජයසූරිය, ස්ටම්ප් කිරීමකට හසුව ලකුණු 189කට දැවීගියේ ප්‍රේක්ෂකයන්ගේ නෙතට කඳුළක් එක් කරමින්. එලෙස ජයසූරිය පන්දු 161කින් හතරේ පහර 21ක් සහ හයේ පහර 4ක් සමගින් ලබාගත් ලකුණු 189 එම අවධියේ එක්දින පිටියේ දක්නට ලැබුණු තෙවැනි හොඳම ඉනිම බවට පත් වුණා. තීරණාත්මක මොහොතක සිදුවුණු ජයසූරියගේ නික්ම යාමෙන් පසුව ඉක්මනින් ලකුණු රැස් කළ ආනල්ඩ්, සිය වගකීම මනාව ඉටුකරමින් නොදැවී ලබාගත් ලකුණු 52ක ශ්‍රී ලංකා ඉනිමට හොඳ අවසානයක් ලබාදුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 299ක් ලබාගත්තේ ඉන්දීය කණ්ඩායමට ලකුණු 300ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින්. 

සනත් ජයසූරිය (gettyimages)

වාස්ගේ මනරම් පන්දු යැවීම හමුවේ ඉන්දීය ආරම්භය අසාර්ථක වෙයි 

ලකුණු 300ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට එම අභියෝගය සාර්ථක කරගැනීමට නම් හොඳ ආරම්භක සබඳතාවයක් ගොඩනැගීම අනිවාර්ය වුණා. නමුත් ඒ සඳහා ඉඩක් නොදුන් චමින්ද වාස් ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වුණු ගංගුලී සහ ටෙන්ඩුල්කාර්ව ක්‍රීඩාගාරය වෙත හරවා යවන විට ඔවුන්ගේ ලකුණු පුවරුවේ සටහන් වුණේ ලකුණු 10ක් පමණ යි. එලෙස ඉක්මනින්ම කඩුලු 2ක් දවාගත් වාස්, ඉන් නොනැවතී යුවරාජ් සහ කම්බ්ලි යන ප්‍රබල පිතිකරුවන් දෙදෙනාවත් දවාගත් නිසා ඉන්දීය ලකුණු පුවරුව 19/4 බවට පත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයකට රැගෙන යමින්.

චමින්ද වාස් (gettyimages)

ශ්‍රී ලංකාවට ලකුණු 245ක දැවැන්ත ජයක් 

ඉන්දීය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක් වුණු බඩානි සහ රොබින් සිං, යළි ඉනිම ගොඩනැගීමට උත්සාහ කළා. නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඒ සඳහා ඉඩක් ලැබුණේ නැහැ. එම නිසාම ඔවුන්ගේ සියලුම පිතිකරුවන් පන්දුවාර 26.3ක් තුළ ලකුණු 54කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 245ක දැවැන්ත ජයක් උරුමකර දෙමින්. එහි දී ඉන්දීය ඉනිම සුණුවිසුණු කළ වාස්, ලකුණු 14කට කඩුලු 5ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් මුරලිදරන් ලකුණු 6කට කඩුලු 3ක් ලබාගත්තා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයේ නියමුවා වුණු ජයසූරිය අවසානයේ දී තරගයේ වීරයා සම්මානය හිමි කරගනු ලැබුවා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 299/5 (50), (ජයසූරිය- 189, ආනල්ඩ්- 52*, ටෙන්ඩුල්කාර්- 28/1)

ඉන්දියාව- 54/10 (26.3), (රොබින් සිං- 11, වාස්- 14/5, මුරලිදරන්- 6/3)

ශ්‍රී ලංකාවට ලකුණු 245ක ජයක් 

තරගයේ වීරයා- සනත් ජයසූරිය 

Related Articles