Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව, කිවි බිමේ දී ජයග්‍රහණය කළ මංගල එක්දින තරගාවලිය

ශ්‍රී ලංකාව මුල්මවරට නවසීලන්ත බිමේ දී එක්දින තරගාවලියක් සඳහා සහභාගි වුණේ 1983 වසරේ දී යි. එතැන් සිට 2001 වසර දක්වා නවසීලන්ත බිම තුළ එක්දින තරගාවලි 4ක් ක්‍රීඩා කළත්, කිසිදු තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණේ නැහැ. නමුත්, 2001 වසරේ දී කිවි බිමට ගිය සනත් ජයසූරියගේ නායකත්වයෙන් සමන්විත වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම අඳුරු ඉතිහාසය වෙනස් කළා. එහි දී තරග 4-1 ලෙසින් එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව කිවි බිමේ දී වාර්තා කළ පළමු මෙන්ම එකම එක්දින තරගාවලිය ජයග්‍රහණය සනිටුහන් කළා. එම සිදුවීමට පෙබරවාරි 11 වැනි දිනට වසර 19ක් සම්පූර්ණ වන නිසාම ශ්‍රී ලංකාව එදා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මෙසේ යළි සිහිපත් කිරීමට කැමතියි.

මුරලිදරන්ගේ සුපිරි පන්දු යැවීම නිසා පළමු තරගයෙන් ලකුණු 61ක ජයක් 

නේපියර් නුවර, මැක්ලීන් පාක් පිටියේ දී පැවති පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. එහි දී ශ්‍රී ලංකා නායකයා ගත් තීරණයට සාධාරණයක් ඉටුකළ ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් ලකුණු පුවරුව 90/2 දක්වා ඔසවා තැබුවේ නවසීලන්ත කණ්ඩායමට තර්ජනයක් එල්ල කරමින්. නමුත්, එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු විටෝරි සිය වමත් දඟ පන්දුව මනාව යොදා ගනිමින් මාවන්, මහේල, සහ අරවින්ද යන ප්‍රබල පිතිකරුවන් තිදෙනාව දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 116/5 බවට පත් කරමින්.

ඩැනියල් විටෝරි (gettyimages)

එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ආනල්ඩ් සහ ධර්මසේන, 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 61ක අගනා සබඳතාවය නිසා ශ්‍රී ලංකා ඉනිම 213/3 ලෙසින් නිමාව දුටුවා. එහි දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ආනල්ඩ්, පන්දු 65කින් ලකුණු 50ක් ලබාගැනීමට සමත් වුණා.

ආනල්ඩ් දැවීයාමෙන් පසුව (gettyimages)

ඉන්පසුව ලකුණු 214ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 40ක් තුළ දැවීගියේ එරික් උපශාන්ත විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. උපශාන්ත විසින් ලබාදුන් සාර්ථක ආරම්භයෙන් පසුව වඩාත් ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වුණු මුරලිදරන් ලකුණු 30කට කඩුලු 5ක් දවාගත්තේ නවසීලන්ත ඉනිම ලකුණු 152කට සීමා කරමින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයෙන් ලකුණු 61ක ජයක් හිමිකර ගත්තේ 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනිමින්.

උපශාන්ත කඩුල්ලක් ලබා ගනිමින් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 213/9 (50), (ආනල්ඩ්- 50, මහේල- 32, ධර්මසේන- 32, විටෝරි- 21/3, මාටින්- 56/2)

නවසීලන්තය- 152/10 (42.5), (හැරිස්- 39*, මුරලිදරන්- 30/5, උපශාන්ත- 37/4)

ශ්‍රී ලංකාවට ලකුණු 61ක ජයක්.

තරගයේ වීරයා- මුත්තයියා මුරලිදරන් 

ආනල්ඩ්ගේ සටන්කාමී ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙන එයි 

වෙලිංටන් නුවර වෙස්ට් පැක් පිටියේ දී පැවති තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ නවසීලන්ත කණ්ඩායම යි. පළමු තරගයේ දී ලකුණු හඹා යාමට ගොස් විඳින්නට වුණු අමිහිරි අත්දැකීම හිතේ තබාගෙන සිටි කිවි නායකයා මෙවර මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් කිවියන්ට මෙවරත් හොඳ ආරම්භයක් ලබාගැනීමට හැකි වුණේ නැහැ. එහි දී කිවියන්ගේ මුල් කඩුලු 3ම ලකුණු 48ක් තුළ දැවීගියේ සොයිසා-ධර්මසේන සුසංයෝගය මැනවින් පන්දු යැවූ නිසා යි. එලෙස කිවියන් අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ දී හැරිස්, මැක්මිලන්, සහ පැරෝරේ වැනි මැද පෙළ පිතිකරුවන් ක්‍රියාත්මක වුණු නිසා කිවි ලකුණු පුවරුව 184/4 බවට පත් වුණා. නමුත්, කිවි ඉනිමේ අවසන් පන්දුවාරවල දී යළි මැනවින් පන්දු යැවූ සොයිසා ලකුණු 28කට කඩුලු 4ක් දවාගත්තේ කිවි ඉනිම 205/8කට සීමා කරමින්.

නුවන් සොයිසා (gettyimages)

ඉන්පසුව, ලකුණු 206ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 82ක් තුළ දැවීගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් තරගය ගිලිහී යමින් පැවතුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ආනල්ඩ් සහ අරවින්ද ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැගුවේ ලකුණු පුවරුව 145/4 බවට පත් කරමින්. තීරණාත්මක මොහොතක ගොඩනැගුණු එම සබඳතාවයත් සමගින් ජීවය ලබමින් සිටි ශ්‍රී ලංකාව යළි අසීරු අඩියකට වැටුණේ ඉක්මනින්ම කඩුලු 2ක් දැවීගිය නිසා යි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 164/6 ලෙසින් දිස්වුණු එම අවස්ථාවේ සිය සටන අත්නොහැරි ආනල්ඩ්, නොදැවී ලකුණු 78ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියේ පන්දුවාර 48.3ක් අවසානයේ දී යි.

ආනල්ඩ්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය- 205/8 (50), (හැරිස්- 56, මැක්මිලන්- 37, සොයිසා- 28/4, දිල්හාර- 33/2)

ශ්‍රී ලංකාව- 209/7 (48.3), (ආනල්ඩ්- 78*, ජයසූරිය- 38, අරවින්ද- 37, ඕරාම්- 20/2)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්.

තරගයේ වීරයා- රසල් ආනල්ඩ් 

ජයසූරියගේ ශතකය හමුවේ කිවියන් අසරණ වෙයි 

නවසීලන්ත කණ්ඩායමට දිගටම තරගාවලියේ රැඳී සිටීම සඳහා තෙවන එක්දින තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණා. එවැනි වටපිටාවක ඕක්ලන්ඩ් නුවර, ඊඩ්න් පාක් පිටියේ දී පැවති තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමේ වාරය ලබාදුන්නා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 151ක් ලබා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ඉලක්කයක් ලබාදීමේ අරමුණෙන්. නමුත්, එම අවස්ථාවේ දී ධර්මසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බල ඇණිය දක්ෂ අයුරින් පන්දු යැවීම නිසා කිවියන්ගේ අවසන් කඩුලු 5ම ලකුණු 30ක් තුළ බිඳවැටුණේ ඔවුන්ගේ ඉනිම ලකුණු 181ක සීමා වෙමින්.

ඇස්ටල් දැවීගිය අවස්ථාව (gettyimages)

ලකුණු 182ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ජයසූරිය සහ අතපත්තු යන පිතිකරු යුගලය යි. එහි දී අතපත්තු සීරුවෙන් පන්දුවට පහරදෙන විට ප්‍රචණ්ඩකාරී ඉනිමක් දියත් කළ ජයසූරිය හයේ පහර 6ක් සමගින් ලකුණු 103ක් ලබාගත්තේ පන්දු 83කට පමණක් මුහුණදෙමින්. එදා ජයසූරිය දියත් කළ මනරම් ඉනිම නිසා පන්දුවාර 29.5ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසු කළ ශ්‍රී ලංකාව කිවිබිමේ දී මුල්මවරට එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ තරග 2ක් ඉතිරිව තිබිය දී යි. 

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය- 181/10 (45.4), (මැක්මිලන්- 61, ඇස්ටල්- 33,  ධර්මසේන- 33/3, වාස්- 32/2)

ශ්‍රී ලංකාව- 182/1 (29.5), (ජයසූරිය- 103, අතපත්තු- 58*, හැරිස්- 33/1)

ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.

තරගයේ වීරයා- සනත් ජයසූරිය 

කිවියන් පිට පිටම සිව්වන පරාජයත් ලබයි 

හැමිල්ටන් නුවර, සෙඩොන් පාක් පිටියේ පැවති සිව්වන එක්දින තරගය වර්ෂාව නිසා පන්දුවාර 35කට සීමා වුණා. එහි දී මුලින්ම පන්දුවට පහරදුන් කිවියන් නියමිත පන්දුවාර 35 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 182ක් ලබාගත්තේ නායක ෆ්ලෙමිං ලබාගත් ලකුණු 67 නිසා යි. ඉන්පසුව, ලකුණු 183ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සනා-කලූ යුගලය වේගවත් ලකුණු 96ක ආරම්භයක් ලබාගත්තා. නමුත්, ඇස්ටල්ගේ පන්දු හමුවේ ඉක්මනින්ම ඔවුන් දෙදෙනා දැවීගියත් සෙසු පිතිකරුවන් මැනවින් පන්දුවට පහරදුන් නිසා පන්දුවාර 31ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ 155/5 ලෙසින්. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ආසන්න වන විට අඳුරු ආලෝක තත්ත්වය නිසා තරගය නතර කළා. ඒ මොහොත වන විට ශ්‍රී ලංකාව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලබාගත යුතු ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 3ක් ඉදිරියෙන් සිටියා. එදා පන්දු 53කින් ලකුණු 52ක් ලබාගත් ජයසූරිය තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබාගත් මොහොත (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය- 182/9 (35), (ෆ්ලෙමිං- 67, සොයිසා- 27/3, මුරලිදරන්- 23/2, අරවින්ද- 35/2)

ශ්‍රී ලංකාව- 155/5 (31), (ජයසූරිය- 52, කළුවිතාරණ- 34, ඇස්ටල්- 22/2, ටෆී- 36/2)

ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයක්. (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

තරගයේ වීරයා- සනත් ජයසූරිය 

කිවියන්ට සැනසිලිදායක ජයක් 

ක්‍රයිස්චර්ච් නුවර, AMI පිටියේ දී පැවති අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කිවියන්ගේ මුල් කඩුලු 3ම ලකුණු 87ක් තුළ දැවීගියා. එලෙස කිවියන් අසාර්ථක ආරම්භයක් ලබාගත්තත් ඕරාම් සහ හැරිස් ලබාගත් අර්ධ ශතක නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ 282/6 ලෙස යි. ඉන් අනතුරුව ලකුණු 283ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 21කට දැවීගියේ කිවියන්ට වැඩි වාසි ලබාදෙමින්. නමුත් එම අවස්ථාවේ දී මාවන්, මහේල, ආනල්ඩ්, සහ සොයිසා යන පිතිකරුවන් වගකීමෙන් පන්දුවට පහරදුන් නිසා පන්දුවාර 47.2ක් අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 259/6 ලෙසින් දිස්වුණා. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දු 16කින් ලකුණු 24ක් අවශ්‍ය වුණු මොහොතේ ක්‍රියාත්මක වුණු මැක්මිලන්, අවසන් කඩුලු හතරෙන් 3ක් ලබාගෙන ප්‍රතිවාදී ඉනිම ලකුණු 269කට සීමා කළේ කිවියන්ට ලකුණු 13ක ජයක් උරුමකර දෙමින්.

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය- 282/6 (50), (ඕරාම්- 59, හැරිස්- 52, ගාල්ලගේ- 42/2, දිල්හාර- 62/2)

ශ්‍රී ලංකාව- 269/10 (49.2), (අතපත්තු- 76, ආනල්ඩ්- 51, ෆ්රෑන්ක්ලීන්- 44/3, මැක්මිලන්- 44/3)

නවසීලන්තයට ලකුණු 13ක ජයක්. 

තරගයේ වීරයා- ජේකබ් ඕරාම් 

එදා ශ්‍රී ලංකාව ලබාගත් එක්දින තරගාවලි ජයග්‍රහණයෙන් පසුව අද වන තුරුම කිවි බිමේ දී එක්දින ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී නැහැ. එම නිසාම මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ සැමදාමත් රන් අකුරින් ලියැ වී පවතිනු ඇති. 

කවරයේ ඡායාරූපය- ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම (gettyimages)

Related Articles