2002 ශූරයන්ගේ කුසලානයේ සිංහ-කැංගරු අවසන් පූර්ව තරගය

2002 ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකාව යි. එම අවදියේ එක්දින පිටියේ ලෝක ශූරයන් ලෙසින් වැජඹුණු ඕස්ට්‍රේලියානුවන් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් ලංකාවට පැමිණියා. මූලික වටයේ තරගවල දී ඉහළ දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තය සහ බංග්ලාදේශය ඉතාමත් පහසුවෙන් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. එලෙස අවසන් පූර්ව වටය දක්වා පැමිණි ඕස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රාහී ගමනට නැවතීමේ තිත තැබූ ශ්‍රී ලංකාව ඔවුන්ව පරාජයට පත්කළේ කඩුලු 7කින්. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගනියි 

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට එළව එළවා පහරදීමට පටන්ගත්තා. එලෙස ගිල්ක්‍රිස්ට් සහ හේඩ්න් දියත්කළ සුපිරි පිතිහරඹය නිසා පන්දුවාර 6ක් අවසානයේ දී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 48/0 ලෙසින් දිස්වුණා.

ලකුණු 8ක් තුළ කඩුලු 4ක් බිඳවැටෙයි 

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙපළ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා නායක ජයසූරිය අපූරූ උපායක් යෙදුවා. ඒ වමතින් පන්දුවට පහරදුන් ගිල්ක්‍රිස්ට් සහ හේඩ්න්ට එරෙහිව පන්දු යැවීම සඳහා පිටදඟ පන්දු යවන්නන් වුණු ධර්මසේන සහ අරවින්දව යොදාගැනීම යි. එදා ජයසූරිය ක්‍රියාත්මක කළ උපාය සාර්ථකත්වයට පත්වුණේ හේඩ්න් සහ ගිල්ක්‍රිස්ට් පන්දුවාර 7.1ක් අවසානයේ දී ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අරවින්ද සහ ධර්මසේන සමත්වුණු නිසා යි. අවශ්‍යම අවස්ථාවක කඩුලු 2ක් දවාගැනීමෙන් පසුව උනන්දුවෙන් තරගයට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුවාර 13ක් අවසානයේ දී කැංගරු ලකුණු පුවරුව 57/4 බවට පත්කළේ තරගයේ වාසිය ලබාගනිමින්.

අරවින්දගේ පන්දුවක් හමුවේ හේඩ්න් දැවීගිය අවස්ථාව (gettyimages)

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්වෙයි 

එලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක්වුණු මාටින් සහ බෙවන් ලකුණු 39ක සබඳතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 96/4 දක්වා ඉහළ දැමුවා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 11ක් තුළ කඩුලු 3ක් දවාගත් නිසා කැංගරු ලකුණු පුවරුව 107/7 ලෙසින් දිස්වුණේ පන්දුවාර 32.4ක් අවසානයේ දී යි. 

වෝන් සහ ලී කැංගරුවන්ගේ අභිමානය වෙනුවෙන් සටන් වදියි 

එම අවස්ථාවේ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අභිමානය රැකගැනීම සඳහා සටන්බිමට පිවිසුණු ෂේන් වෝන් සහ බ්‍රෙට් ලී සීරුවෙන් පන්දුවට පහරදෙමින් ඉනිම ගොඩනැගීම ආරම්භ කළා. එහිදී පන්දු 82කින් ලකුණු 46ක් එකතු කළ ලී සහ වෝන් පන්දුවාර 46.2ක් අවසානයේ දී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 153/7 බවට පත්කළා.

ෂේන් වෝන් පන්දුවට පහරදෙමින් (gettyimages)

ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 162කට සීමාවෙයි 

අසීරුවෙන් ඉනිම ගොඩනැගූ වෝන් සහ ලී අවසන් පන්දුවාර කිහිපය තුළ වේගයෙන් පන්දුවට පහරදීමට උත්සාහ කළත් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ. එම නිසාම පන්දුවාර 48.4ක් තුළ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 162කට සීමාවුණේ ලංකා කණ්ඩායමට ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින්. ඕස්ට්‍රේලියානු ඉනිම අසාර්ථක වීමට බලපෑ විශාලම හේතුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම යි. එහිදී දඟපන්දු යවන්නන් ක්‍රියාත්මක කළ පන්දුවාර 39.4 තුළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් කඩුලු 7ක් දැවී ලබාගත්තේ ලකුණු 116ක් පමණ යි. 

බ්‍රෙට් ලී දැවීගිය අවස්ථාව (gettyimages)

ජයසූරිය සහ අතපත්තු සාර්ථක ආරම්භයක් ලබාගනියි 

ලකුණු 163ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ මාවන් අතපත්තු සහ සනත් ජයසූරිය යි. එදා මැග්‍රාත්, ගිලෙස්පි, වෝන්, සහ ලී යන ප්‍රබල පන්දු යවන්නන් සිව්දෙනා ඉදිරියේ දක්ෂ පිතිහරඹයක නිරතවුණු අතපත්තු සහ ජයසූරිය පන්දු 89කින් ලකුණු 67ක් එකතු කළේ ශ්‍රී ලංකා ඉනිමට හොඳ අඩිතාලමක් දමමින්.

අතපත්තු සහ සංගක්කාර ශ්‍රී ලංකාව ජය මාවතට යොමු කරයි 

ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර වෙමින් පැවතුණු අවස්ථාවේ ජයසූරිය ලකුණු 42කට දැවීයාමත් සමගින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් උද්යෝගයට පත්වුණා. ඔවුන් එම අවස්ථාවේ උත්සාහ කළේ ඉක්මනින්ම කඩුලු කිහිපයක් දවාගෙන තරගයේ වාසිය ඔවුන් දෙසට හරවාගැනීමට යි. ඕස්ට්‍රේලියානුවන්ගේ එම සුන්දර සිහිනය බොඳ කළ අතපත්තු සහ සංගක්කාර පන්දු 114කින් ලකුණු 75ක් එකතු කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කරමින් 

අතපත්තු පන්දුවට පහරදෙමින් (gettyimages)

ශ්‍රී ලංකාව කඩුලු 7ක පහසු ජයක් හිමිකරගනියි 

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 142/1 බවට පත්ව තිබුණු අවස්ථාවේ සංගක්කාර ලකුණු 48කට දැවීගියේ මැග්‍රාත්ගේ පන්දුවක් හමුවේ ගිල්ක්‍රිස්ට් අතට උඩපන්දුවක් ලබාදීමෙන්. සංගක්කාරගේ දැවීයාමෙන් පසුව පිටියේ එක්වුණු අතපත්තු සහ අරවින්ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව 160/2 දක්වා ඉහළ නංවන අතරතුර අතපත්තු සිය එක්දින දිවියේ 41 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළා. එලෙස වටිනා ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් පසුව අතපත්තු ලකුණු 51කට දැවීගියත් අරවින්ද සහ මහේල එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දුවාර 40ක් අවසානයේ දී යි. ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් මෙම තරගයේ වීරයා සම්මානය හිමිවුණේ සිය පන්දුවාර 10 තුළ ලකුණු 16ක් පමණක් ලබාදෙමින් කඩුල්ලක් දවාගත් අරවින්ද ද සිල්වාට යි. 

අතපත්තු දැවීගිය අවස්ථාව (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියාව – 162/10 (48.4), (වෝන්- 36, ගිල්ක්‍රිස්ට්- 31, මුරලිදරන්- 26/3, ධර්මසේන- 30/2)

ශ්‍රී ලංකාව – 163/3 (40), (අතපත්තු- 51, සංගක්කාර- 48, ජයසූරිය- 42, මැග්‍රාත් – 41/2, වෝන්- 25/1)

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා – අරවින්ද ද සිල්වා 

කවරයේ ඡායාරූපය- තරගය ජයග්‍රහණය ලැබීමෙන් පසුව ජයසූරිය සහ අරවින්ද (gettyimages)

Related Articles