Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් ලකුණු 93කට දැවීගිය ටෙස්ට් තරගය

2003 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 125ක දැවැන්ත ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානුවන්, පිට පිටම දෙවන වරටත් ලෝක ක්‍රිකට් කිරුළ දිනාගනු ලැබුවා. එලෙස ලබාගත් ජයග්‍රහණයෙන් වසර 1½කට පමණ පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළේ තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා යි. එම තරගාවලියේ මුල් තරග 3 අවසන් වන විට ඕස්ට්‍රේලියානුවන්ට තරගාවලියේ ජයග්‍රහණය හිමිව තිබුණු නිසා, වන්කඩේ පිටියේ පැවති අවසන් ටෙස්ට් තරගය සඳහා ඉන්දියානුවන් අවතීර්ණ වුණේ මව්බිමේ දී සිය ගෞරවය බේරාගැනීමේ අරමුණෙන්. එවැනි වටපිටාවක ආරම්භ වුණු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 104ක් පමණ යි. නමුත්, ඉන් නොසැලුණු ඉන්දියානුවන් අවසන් මොහොත වන තුරුම දියත් කළ සටන නිසා ලකුණු 13ක තියුණු ජයක් හිමිකර ගත්තේ උද්වේගකර ටෙස්ට් තරගයක් නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදෙමින්. 

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව මුලින්ම පන්දුවට පහරදෙයි   

මෙම තරගාවලියේ දී ඉන්දියාව ටෙස්ට් තරග 2ක්ම සිව්වන ඉනිමේ ලකුණු හඹායාමට ගොසින්  පරාජයට පත් වුණා. එම නිසාම මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රාහුල් ඩ්‍රාවිඩ් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. එදා අනිල් කුම්බ්ලේ, හර්බජාන් සිං, සහ මුරලි කාර්තික් යන දඟපන්දු යවන්නන් තිදෙනා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ නිසා ඕස්ට්‍රේලියානුවන්ට සිව්වන ඉනිමේ දී වැඩි ලකුණු ප්‍රමාණයක් හඹායාම ලෙහෙසි පහසු නොවනු ඇති බව විචාරකයන්ගේ මතය වුණා. 

ගිලෙස්පිගේ වේගපන්දුව ඉන්දියානු ආරම්භය අසාර්ථක කරයි 

පළමු ඉනිම වෙනුවෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණෙන් පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට සාර්ථක වීමට ජේසන් ගිලෙස්පි ඉඩක් ලබාදුන්නේ නැහැ. එදා ඉතාමත් නිවැරදි එල්ලයකට නිසි තැන පන්දුව පතිත කරමින් ගිලෙස්පි විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා පන්දුවාර 17.2ක් අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව දිස් වුණේ 33/5 ලෙසින්. එලෙස බිඳවැටුණු කඩුලු පහෙන් 4ක්ම ගිලෙස්පිගේ කඩුලු ගිණුමට බැර වන විට, ඉතිරි කඩුල්ල දවාගනු ලැබුවේ මැග්‍රාත් විසිනුයි. එහි දී දැවීගිය කඩුලු 5 අතුරින් ඉතාමත් දුර්වල අයුරින් දැවීගියේ මොහොමඩ් කයිෆ් නම් පිතිකරුවා යි. ඉන්දීය ලකුණු පුවරුව 33/4 ලෙසින් පැවති අවස්ථාවේ ගිලෙස්පි එවූ ඉන්ස්වින්ගර් පන්දුව හරි හැටි වටහා නොගත් කයිෆ්, පන්දුව නිදැල්ලේ හැරීමට ගොස් දැවීයාම කණගාටුදායක සිදුවීමක් වුණා.

ගිලෙස්පි කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

ඉන්දී පළමු ඉනිම ලකුණු 104කට සීමා වෙයි 

ඉන්දීය ආරම්භය අසාර්ථක වීමෙන් පසුව සීරුවෙන් පන්දුවට පහරදුන් ඩ්‍රාවිඩ්, අනිත් අන්තයේ පිතිකරුවන් රැකගනිමින් ලකුණු  පුවරුව 68/6 දක්වා ඉහළ දැමුවා. නමුත්, එම අවස්ථාවේ සිය ටෙස්ට් දිවියේ මුල්ම පන්දුවාරය යැවූ නේතන් හවුරිට්ස් විසින් කුම්බ්ලේව ලකුණු 16කට දවාගනු ලැබුවා. නමුත්, ඉන්පසුව පිටියේ එක් වුණු ඩ්‍රාවිඩ් සහ හර්බජාන් ලකුණු 32ක වටිනා සබඳතාවය ගොඩනගමින් ඉන්දීය ලකුණු පුවරුව 100/7 බවට පත් කළේ සිය කණ්ඩායමේ ගෞරවය රැකගනිමින්. එලෙස ඉන්දියානු පිතිකරුවන් ඉනිම ගොඩනැගීමට  උත්සාහ කරමින් සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු හවුරිට්ස් සහ කැස්ප්‍රොවික්ස්, අවසන් කඩුලු 3ම ලකුණු 4ක් තුළ දවාගත්තේ ඉන්දීය පළමු ඉනිම ලකුණු 104කට සීමා කරමින්.

මංගල ටෙස්ට් ඉනිමේ දී කඩුලු 3ක් දවාගත් හවුරිට්ස් (gettyimages)

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ප්‍රබල සටනක 

පන්දුවට පහරදීමට අසීරු පිටියක ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 81ක් ලබා සිටියා. ඒ මොහොත වන විට නොදැවී ලකුණු 35ක් ලබා සිටි හේඩ්න්, සිය සීමා ඉරෙන් ඉදිරියට පැමිණ දඟපන්දු යවන්නන්ට එරෙහිව හයේ පහර කිහිපයක් එල්ල කළේ පීඩනය ඉන්දියානුවන් වෙත යොමු කරමින්. එලෙස හේඩ්න් දැඩි විශ්වාසයෙන් පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට ගොස් දැවීයාම ඕස්ට්‍රේලියානුවන්ට බලවත් පාඩුවක් වුණා. එම දැවීයාමෙන් පසුව මාටින් ලබාගත් ලකුණු 55ත්, ගිල්ක්‍රිස්ට් පන්දු 18කින් ලබාගත් වේගවත් ලකුණු 26ත් නිසා ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 203 දී නිමාව දුටුවා. 

මාටින්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන්දියානු පිතිකරුවන් දස්කම් අතරට 

ලකුණු 99ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් යුගලය ලකුණු 14ක් තුළ ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මැග්‍රාත් සමත් වුණා. එහි දී ෂෙවාග් දැවීගියේ මැග්‍රාත් එවූ ඉන්ස්වින්ගර් පන්දුව හරිහැටි වටහා නොගෙන එය නිදැල්ලේ යැවීමට ගොස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන්. එදා ඉන්දීය කණ්ඩායමේ පිතිකරු අනුපිළිවෙල වෙනස් කරමින් අංක 3 පිතිකරුවා ලෙස පිටියට එවූ ලක්ෂ්මන්, කවදත් ඕස්ට්‍රේලියානුවන්ට බැටදුන් පිතිකරුවෙකු වුණා. මෙම තරගයේ දීත් කැංගරුවන්ට පැරණි මතකය අලුත් කර දුන් ලක්ෂ්මන් අගනා ලකුණු 69ක් ලබාගත්තේ ටෙන්ඩුල්කාර් සමග එක්ව ලකුණු 91ක සබඳතාවයක් ගොඩනගමින්. එම වටිනා සබඳතාවය නිමා කරමින් ටෙන්ඩුල්කාර් ලකුණු 55කට දැවීගිය ද, ඉන්දීය මැද පෙළ පිතිකරුවන් සීරුවෙන් පන්දුවට පහරදුන්නේ ඉන්දීය ලකුණු පුවරුව 182/4 දක්වා ඔසවා තබමින්.

ලක්ෂ්මන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ක්ලාක් ඉන්දියානුවන්ට මැජික් පෙන්වයි 

ඉන්දීය පිතිකරුවන් සෙමෙන් සෙමෙන් ඉනිම ගොඩනගමින් සිටි අවස්ථාවේ ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු දවාගැනීම තරමක් අසීරු වුණා. එම අවස්ථාවේ දී දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු පන්දුවට පහරදෙමින් සිටි නිසා ඔවුන්ට එරෙහිව පන්දු යැවීමට වමතින් දඟපන්දු යැවූ ක්ලාක්ව කැඳවීමට ඕස්ට්‍රේලියානු නායකයා තීරණය කළා. එදා සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටුකළ ක්ලාක්, සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් ඩ්‍රාවිඩ්ව දවාගනු ලැබුවා. එම කඩුල්ල දවාගැනීමෙන් සෑහීමකට පත් නොවුණු ක්ලාක්, ලකුණු 9ක් පමණක් ලබා දී ඉන්දීය කඩුලු 6ක් දවාගත්තේ ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 205කට සීමා කරමින්. 

ක්ලාක්  කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

හර්බජාන් සහ කාර්තික් හමුවේ කැංගරුවන් අසරණ වෙයි 

ලකුණු 107ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 4ක් අවසන් වන විට  කඩුල්ලක් පමණක් දැවී ලකුණු 24ක් ලබා සිටියා. එලෙස ඕස්ට්‍රේලියානු පිතිකරුවන් වේගයෙන් ජයග්‍රාහී කඩයිම කරා යමින් සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු හර්බජාන් සහ මුරලි, කාර්තික් ලකුණු 34ක් තුළ කඩුලු 6ක් දවාගත්තේ ඔවුන්ගේ ලකුණු පුවරුව 58/7 බවට පත් කරමින්. ඒ වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතුව සිටි නම් දැරූ සියලුම පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත ගොස් තිබුණු නිසා තරගයේ වැඩි වාසිය හිමිව තිබුණේ ඉන්දියානු කණ්ඩායමට යි. 

හර්බජාන් පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

ඉන්දියානුවන්ට ලකුණු 13ක තියුණු ජයක් 

එලෙස ඕස්ට්‍රේලියානුවන් පරාජය කරා යමින් සිටි අවස්ථාවේ සටන අත්නොහැරි පසු පෙළ පිතිකරුවන්, වගකීමෙන් පන්දුවට පහරදෙමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 93/8 දක්වා ඉහළට රැගෙන ගියා. එම අවස්ථාව වන විට තරගය දෙපිලටම විවෘතව තිබුණු නිසා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් දැඩි ලෙස නොසන්සුන් වී සිටියා. නමුත්, එම තීරණාත්මක මොහොතේ දී ක්‍රියාත්මක වුණු පන්දු 3ක් තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුලු 2ම දවාගැනීමට සමත් වුණා. ඒ අනුව ඉතාමත් තියුණු සටනකින් පසුව ඉන්දීය කණ්ඩායම ලකුණු 13ක ජයක් උරුමකර ගත්තේ ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් ලකුණු 93කට දවාලමින්.

කෙටි ලකුණු පුවරුව 

ඉන්දීය පළමු ඉනිම- 104/10, (ඩ්‍රාවිඩ්- 31*, ගිලෙස්පි- 29/4, හවුරිට්ස්- 16/3, කැස්ප්‍රොවික්ස්- 11/2)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 203/10, (මාටින්- 55, හේඩ්න්- 35, කුම්බ්ලේ- 90/5, කාර්තික්- 44/4)

ඉන්දීය දෙවන ඉනිම- 205/10, (ලක්ෂ්මන්- 69, ටෙන්ඩුල්කාර්- 55, ක්ලාක්- 09/6, මැග්‍රාත්- 29/2)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම- 93/10, (හේඩ්න්- 24, හර්බජාන්- 29/5, කාර්තික්- 32/3)

ඉන්දියාවට ලකුණු 13ක ජයක්. 

තරගයේ වීරයා- මුරලි කාර්තික් 

කවරයේ ඡායාරූපය- ඉන්දියානුවන් තරගය ජයගත් මොහොත (gettyimages)

Related Articles