Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාස් කැන්ගරුවන්ව මට්ටු කළ අපූරු එක්දින තරගය

2004 වසරේ මුල භාගයේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියේ දෙවන තරගය රංගිරි දඹුලු පිටියේ දී ආරම්භ වන විට තරගාවලියේ පෙරමුණ ගෙන සිටියේ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. එම නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. නමුත් ඕස්ට්‍රේලියානුවන් සමස්ත තරගය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළා. එලෙස ඕස්ට්‍රේලියානුවන් එල්ල කළ අභියෝගය හමුවේ නොසැලුණු ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ දී ලකුණු 1ක තියුණු ජයක් වාර්තා කළේ චමින්ද වාස් යැවූ සුපිරි අවසන් පන්දුවාරය නිසා යි. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙයි 

රංගිරි දඹුලු පිටියේ දී දිවා තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමි වුණේ ශ්‍රී ලංකාවට යි. එහි දී ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු, මුලින්ම පහරදීමට තීරණය කළේ ප්‍රතිවාදීන්ට ප්‍රබල ඉලක්කයක් ලබාදීමේ අරමුණ ඇතිව යි. ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ජයසූරිය සහ අතපත්තු ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ සීරුවෙන් ක්‍රීඩා කළේ සිය කඩුලු ආරක්ෂා කර ගනිමින්. ඒ අනුව ඔවුන් යුගලය  පන්දුවාර 10.5ක් අවසානයේ දී ලකුණු 50ක් එකතු කළේ සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින්.

ජයසූරිය සහ අතපත්තු ශතක සබඳතාවයක් ගොඩනගයි 

එලෙස සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජයසූරිය සහ අතපත්තු ඉන්පසුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීම ආරම්භ කළා. එහි දී ඔවුන් යුගලය 13 සහ 14 පන්දුවාරවල දී ලකුණු 26ක් ලබාගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 21 වැනි පන්දුවාරය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 121ක් ලබාගන්නා අතරතුර, ජයසූරිය සිය 55 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය එම මොහොත වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කර තිබුණා. එම නිසාම ඕස්ට්‍රේලියානුවන්ට යළි තරගයට අවතීර්ණ වීම සඳහා කඩුලු කිහිපයක් ලබාගැනීම අනිවාර්ය වුණා.

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කැංගරුවන් තරගයට අවතීර්ණ වෙයි 

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කඩුල්ලක් දවාගැනීමට නොහැකිව අසරණව සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං, ප්‍රතිවාදී නායක අතපත්තුව දුවද්දී දැවීයාමකට හසුකර ගත්තා. එහි දී පොන්ටිං, මැනවින් පන්දුව රැකගෙන එය කෙළින්ම කඩුල්ලට එල්ල කළේ ඉතාමත් දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින්. තීරණාත්මක මොහොතක සිදුවුණු අතපත්තුගේ දැවීයාමෙන් පන්දු 6කට පසුව ක්‍රියාත්මක වුණු සයිමන්ඩ්ස්, අවශ්‍යය ම වුණු ජයසූරියේ කඩුල්ල දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 122/2 බවට පත් කරමින්.

අතපත්තු දුවද්දී දැවීගිය අවස්ථාව (gettyimages)

ශ්‍රී ලංකා ඉනිම යළි ස්ථාවර වෙයි 

තීරණාත්මක මොහොතක කඩුලු 2ක් බිඳවැටීමෙන් පසුව පිටියේ එකතු වුණේ මහේල සහ සංගක්කාර යන තරුණ පිතිකරුවන් යුගලය යි. ඔවුන් දෙදෙනාට එම අවස්ථාවේ පැවරුණු වගකීම වුණේ සවිමත් සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීම යි. තමන්ට පැවරුණු එම වගකීම මනාව වටහා ගත් මහේල සහ සංගක්කාර, පන්දු 95කින් ලකුණු 70ක් එකතු කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 192/2 බවට පත් කරමින්. එලෙස ශ්‍රී ලංකා ඉනිම යළි ස්ථාවර වුණු අවස්ථාවේ මහේල ලකුණු 38කට දැවීගියත්, ඉන්පසුව පිටියේ එක් වුණු දිල්ෂාන් සහ සංගක්කාර පන්දුවාර 42.4ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 216/3 බවට පත් කළා. ඒ අනුව එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම වුණේ ඉතිරිව තිබුණු පන්දු 44න් හැකි තරම් ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල ජයග්‍රාහී  ඉලක්කයක් ලබාදීම යි.

මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි 

එම අවදියේ එක්දින පිටියේ ලෝක ශූරයන් ලෙසින් වැජඹුණු ඕස්ට්‍රේලියානුවන් සටන්කාමී කණ්ඩායමක් ලෙසින් ප්‍රසිද්ධව සිටියා. මෙම තරගයේ දීත් ඔවුන්ගේ එම සටන්කාමීත්වය මතු වුණු නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 9ක් තුළ දැවීගියේ ලකුණු පුවරුව 226/7 බවට පත් වෙමින්. එහි දී 46 වැනි පන්දුවාරය තුළ ක්ලාක් ලබාගත් කඩුලු 2ක ශ්‍රී ලංකා ඉනිම කඩාවැටීමට මූලික හේතුව වුණා. නොසිතූ මොහොතක සිදුවුණු එම බිඳවැටීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට යළි තරගයට අවතීර්ණ වීමට හැකි වුණේ නැහැ. එම නිසාම ඔවුන්ගේ සියලුම පිතිකරුවන් ලකුණු 245කට දැවීගියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 246ක ඉලක්කයක් ලබාදෙමින්. එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු මැෂිම වුණු මයිකල් ක්ලාක්, ලකුණු 35කට කඩුලු 5ක් දවාගත්තේ සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්.  

ක්ලාක්ගේ පන්දුවක් හමුවේ දිල්ෂාන් දැවීගිය අවස්ථාව (gettyimages)

ඕස්ට්‍රේලියානුවන් සාර්ථකව ඉලක්කය හඹා යයි 

ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලෙසින් ක්ලාක් දැවීගියේ වාස් යැවූ පළමු පන්දුවාරයේ තෙවන පන්දුවේ දී යි. එලෙස ඕස්ට්‍රේලියානු ආරම්භය අසාර්ථක වුණත්, ඉන් නොසැලුණු හේඩ්න් සහ පොන්ටිං ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව මනරම් පිති හරඹයක නිරත වුණා. එහි දී කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට මෙම පිතිකරුවන් දෙදෙනාව පාලනය කිරීමට හැකි වුණේ නැහැ. එම නිසාම පන්දුවාර 31ක් අවසන් වන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව සටහන් වුණේ 148/1 ලෙසින්.

හේඩ්න් පන්දුවට පහරදෙමින් (gettyimages)

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සටන අත් නොහරියි 

තරගය ක්‍රමයෙන් ශ්‍රී ලංකාව වෙතින් ගිලිහෙමින් තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු චන්දන, ඕස්ට්‍රේලියානු නායක පොන්ටිංව ලකුණු 69කට දවාගත්තේ ඔවුන්ගේ ලකුණු පුවරුව 148/2 බවට පත් කරමින්. එම කඩුල්ල දැවීයාමෙන් පසුව ජීවය ලද ශ්‍රී ලංකා පන්දු යවන්නන් ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙසින් කැංගරුවන්ගේ කඩුලු 4ක් ලකුණු 190කට දැවීගියේ පන්දුවාර 40.2 අවසන් වන විට යි. එහි දී ලකුණු 93ක් ලබා සිටි හේඩ්න්ගේ කඩුල්ල දවාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අස්වැසිල්ලක් ගෙන දුන්නා.

හේඩ්න්ගේ දැවීයාම සමරණ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් (gettyimages)

අතපත්තු සිය මහත්මා ගතිය පෙන්නුම් කළ අපූරු අවස්ථාව 

හේඩ්න්ගේ දැවීයාමෙන් පසුව ධර්මසේන යොමු කළ ඊළඟ පන්දුවට මුහුණදුන්නේ ඇන්ඩෘ සයිමන්ඩ්ස් නම් පිතිකරුවා යි. එහි දී සයිමන්ඩ්ස් එල්ල කළ පහර පිත්තේ යන්තම් දැවටී පා ආවරණයේ වැදීමත් සමගම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රබල ඉල්ලීමක් කළා. එම අවස්ථාවේ දී විනිසුරු පීටර් මැනුවෙල්, සයිමන්ඩ්ස් දැවීගිය පිතිකරුවෙකු ලෙස සංඥා කිරීමත් සමගම ඔහු පිටියෙන් නික්ම ගියේ සිය නොසතුට පළ කරමින්. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා නායක අතපත්තු, සයිමන්ඩ්ස්ට නැවත පන්දුවට පහරදීමට පැමිණෙන ලෙස ආරාධනා කළා. තරගයේ තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලංකා නායකයා සිදුකළ එම ක්‍රියාව සියලුදෙනාම මවිතයට පත්කරනු ලැබුවා. එසේම අතපත්තු එහි දී සිය මහත්මා ගතිය පෙන්නුම් කළේ අනිකුත් ක්‍රීඩකයන්ටත් ආදර්ශයක් වෙමින්.

විනිසුරුවරයා සයිමන්ඩ්ස්ව නැවත කැඳවූ අවස්ථාව (gettyimages)

බෙවන් සහ සයිමන්ඩ්ස් තරගය අවසන් පන්දුවාරය දක්වා රැගෙන යයි 

සයිමන්ඩ්ස් නැවත පිතිකරණයට කැඳවීමෙන් පසුව ක්‍රියාත්මක වුණු පන්දුවාරයේ දී ගිල්ක්‍රිස්ට් ලකුණු නොලබා දැවීගියේ වාස් එවූ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබාදීමෙන්. එලෙස ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 192/5 ලෙසින් සටහන් වුණු අවස්ථාවේ පිටියේ එකතු වුණු සයිමන්ඩ්ස් සහ බෙවන් සීරුවෙන් පන්දුවට පහරදුන්නේ සිය කඩුලු ආරක්ෂා කර ගනිමින්. එසේ පන්දුවාර කිහිපයක් සාර්ථකව පිතිකරණයේ යෙදුණු බෙවන් සහ සයිමන්ඩ්ස්, 49 වැනි පන්දුවාරය අවසන් වන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 238/5 බවට පත් කළා.

බෙවන් පහරක් එල්ල කරමින් (gettyimages)

කැංගරුවන් මට්ටු කළ වාස්ගේ අවසන් පන්දුවාරය 

එම තීරණාත්මක අවස්ථාව වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරය තුළ ලකුණු 8ක් අවශ්‍ය වුණා. එහි දී අවසන් පන්දුවාරය යැවීමට අවස්ථාව ලැබුණේ එතෙක් වෙලා මැනවින් පන්දු යවමින් සිටි චමින්ද වාස්ට යි. නමුත්, එම අවදියේ එක්දින පිටියේ සිටි හොඳම තරග අවසන් කරන්නන් දෙදෙනෙකු වුණු බෙවන් සහ සයිමන්ඩ්ස් පහසුවෙන්ම මෙම ඉලක්කය හඹා යනු ඇතැ යි බොහෝ දෙනෙකු සිතුවා. එලෙස බොහෝ දෙනෙකු සිතා සිටියත් ඔවුන්ව මවිතයට පත් කරමින් වාස් අවසන් පන්දුවාරය යැව්වේ මෙසේ යි.

පළමු පන්දුව- වාස්ගෙන් සයිමන්ඩ්ස්ට ලකුණු 1යි 

දෙවන පන්දුව- වාස්ගෙන් බෙවන්ට ලකුණු 1යි 

තෙවන පන්දුව- වාස්ගෙන් සයිමන්ඩ්ස්ට ලකුණු 0යි 

සිව්වන පන්දුව- වාස්ගෙන් සයිමන්ඩ්ස්ට ලකුණු 0යි

පස්වන පන්දුව- වාස්ගෙන් සයිමන්ඩ්ස්ට ලකුණු 1යි 

හයවන පන්දුව- වාස්ගෙන් බෙවන්ට ලකුණු 3යි 

වාස් යැවූ මුල් පන්දු 5ට ඕස්ට්‍රේලියානුවන් ලකුණු 3ක් පමණක් ලබාගත් නිසා ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවෙන් ලකුණු 5ක් ලබාගැනීමට සිදුවුණා. එහි දී බෙවන් වෙත වාස් යැවූ පන්දුවට බෙවන් ලකුණු 3ක් ලබාගත්තත්, එය ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව වාස්ගේ මනරම් අවසන් පන්දුවාරය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන්ව ලකුණු 1කින් පරාජය කිරීමට සමත් වුණා.

වාස් අවසන් පන්දුව යැවීමෙන් පසුව (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 245/10 (49.5), (ජයසූරිය- 55, අතපත්තු- 47, සංගක්කාර- 39, මයිකල් ක්ලාක්- 35/5)

ඕස්ට්‍රේලියාව- 244/5 (50), (හේඩ්න්- 93, පොන්ටිං- 69, සයිමන්ඩ්ස්- 36*, වාස්- 48/3)

ශ්‍රී ලංකාවට ලකුණු 1ක ජයක්

තරගයේ වීරයා- චමින්ද වාස්  

 ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් අනතුරුව (gettyimages)

Related Articles