Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2004 දී කැංගරුවන් හමුවේ ලැබූ අවාසනාවන්ත ටෙස්ට් තරගාවලි පරාජය

2004 වසරේ දී එවකට ලෝක ශූරයන් ලෙසින් වැජඹුණු ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් සහ එක්දින තරගාවලිවලට සහභාගි වීම සඳහා යි. සංචාරය ආරම්භ කරමින් පැවති එක්දින තරගාවලිය 3-2 ලෙසින් ජයග්‍රහණය කළ කැංගරුවන් ඉන්පසුව, පැවති ටෙස්ට් තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ ඊට වසර 5කට පෙර ලක්බිමේ දී ලද ටෙස්ට් තරගාවලි පරාජයේ වාඩුව ගැනීමේ අරමුණෙන්. එදා  ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කරට කර සටනක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ටෙස්ට් තරග 3දී ම පළමු ඉනිම අවසන් වන විට ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටීමට සමත් වුණා. නමුත්, සෑම ටෙස්ට් තරගයක දී ම දෙවන ඉනිමේ දී ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වුණු කැංගරුවන් ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළේ සියල්ලන්වම මවිතයට පත් කරමින්. 

ගාලු ටෙස්ට් තරගයෙන් කැංගරුවන්ට ලකුණු 197ක ජයක් 

ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං, මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ ගාලු පිටියේ සිව්වන ඉනිමේ දී ලකුණු හඹායාමට තිබුණු අපහසුකම නිසා යි. එලෙස ඕස්ට්‍රේලියානුවන් මුලින්ම පන්දුවට පහරදීමෙන් වාසියක් ලබාගැනීමට උත්සාහ කළත්, මුරලිදරන් ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය ඊට ඉඩක් ලබාදුන්නේ නැහැ.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 220කට සීමාවෙයි 

පළමු ඉනිම වෙනුවෙන් විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණ ඇතිව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන්,  එක් අවස්ථාවක කඩුලු 3ක් දැවී ලකුණු 148ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කල් ඇතිවම යම් අනතුරු ඇඟවීමක් කරමින්. නමුත්, එම අනතුරු ඇඟවීම තුට්ටුවකට මායිම් නොකළ මුරලිදරන් සහ ධර්මසේන, ලකුණු 15ක් තුළ කඩුලු 3ක් දවාගත්තේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 163/6 බවට පත් කරමින්. එලෙස සිය කණ්ඩායම අවදානම් අඩියකට වැටී සිටියත්, ඉන් නොසැලුණු ලීමන් සටන්කාමී ලකුණු 63ක් ලබාගෙන සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 215/6 බවට පත් කළා. එම අවස්ථාවේ දී සිය කණ්ඩායම විශාල ලකුණු ප්‍රමාණයක් කරා ගෙන යාමට ලීමන් සහ ගිල්ක්‍රිස්ට් සිහින දුටුවා. නමුත්, එම සිහින බොඳ කළ මුරලිදරන් ලකුණු 59කට කඩුලු 6ක් ලබාගත්තේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිම 220කට සීමා කරමින්. 

මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ සයිමන්ඩ්ස් දැවී ගිය අවස්ථාව (gettyimages)

දිල්ෂාන්ගේ ශතකය නිසා ශ්‍රී ලංකාව ලකුණු 161ක් ඉදිරියෙන් 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 220කට සීමා කිරීමෙන් පසුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 123ක් තුළ දැවී ගියා. නමුත්, ඉන් අනතුරුව වගකීමෙන් පන්දුවට පහරදුන් දිල්ෂාන් සහ මහේල, පිළිවෙලින් ලකුණු 104ක් සහ 68ක් ලබාගත්තේ තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 352/6 බවට පත් කරමින්. එලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා ලකුණු 132ක් ඉදිරියෙන් සිට තෙවන දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වුණේ පළමු ඉනිමේ දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම යි. එදා එම අරමුණ ඇතිව පන්දුවට පහරදුන් තිලාන් සහ චන්දන ශ්‍රී ලංකා ලකුණු පුවරුව 369/6 දක්වා රැගෙන ගියා. එම අවස්ථාවේ දී ඉක්මනින්ම ක්‍රියාත්මක වුණු වෝන් සහ මැගිල් තිලාන්ව එක් අන්තයකින් තනි කරමින් අවසන් කඩුලු 4ම ලකුණු 12ක් තුළ දවාගත්තේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 381කට සීමා කරමින්. එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවෙන් ප්‍රබල තර්ජනයක් එල්ල කළ වෝන්, ලකුණු 116කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා. එලෙස පළමු ඉනිම අවසන් වන විට ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 161ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වුණේ කැංගරුවන්ව දෙවන ඉනිමේ දීත් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීම යි.

දිල්ෂාන් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

කැංගරුවන් යළි නැගී සිටියි 

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 161ක් පිටුපසින් සිට සිය ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානුවන්, තරගයේ තෙවන දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 193ක් ලබාගත්තේ හේඩ්න් නොදැවී ලබාගත් ශතකය නිසා යි. තරගයේ සිව්වන දිනයේ දී කිසිදු චකිතයකින් තොරව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්, ලකුණු 153කට කඩුලු 5ක් දවාගත් මුරලිදරන්ට හැර සෙසු දඟපන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරන ආකාරය දක්නට ලැබුණා. එහි දී හේඩ්න්, මාටින් සහ ලීමන් ලබාගත් අගනා ශතක නිසා සිව්වන දිනය නිමා වීමට මොහොතකට පෙර ඕස්ට්‍රේලියානුවන් 512/8ක් ලෙස ඉනිම අත්හිට වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 352ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින්.

හේඩ්න්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 197ක ජයක් 

තරගයේ අවසන් දිනයේ දී ලකුණු 352ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට වෝන් සහ මැගිල් පන්දුවක් ප්‍රබල තර්ජනයක් වුණු නිසාම ඔවුන්ගේ මුල් කඩුලු 6ම ලකුණු 89ක් තුළ දැවීගියා. ඉන්පසුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට සිය කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට නොහැකි වුණු නිසාම ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 154කට සීමා වුණේ ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 197ක ජයක් උරුම කර දෙමින්. එහි දී වෝන් ලකුණු 43කට කඩුලු 5ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් මැගිල් කඩුලු 4ක් දවාගත්තා. එසේම, එදා හෂාන්ගේ කඩුල්ල දවාගැනීමත් සමගම ටෙස්ට් කඩුලු 500ක් දවාගත් මුල්ම දඟපන්දු යවන්නා ලෙසින් වෝන් ඉතිහාසගත වුණා.

වෝන් කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

අස්ගිරිය ටෙස්ට් තරගයෙන් කැංගරුවන්ට ලකුණු 27ක තියුණු ජයක් 

ගාලු ටෙස්ට් තරගයේ දී ලද අනපේක්ෂිත පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම අස්ගිරිය ටෙස්ට් තරගයට අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. නමුත්, තරගයේ තීරණාත්මක අවස්ථාවල දී කැංගරුවන් ක්‍රියාත්මක වුණු නිසා අවසානයේ දී ලකුණු 27ක ජයක් හිමිකර ගත්තේ තරගාවලිය ද ජයග්‍රහණය කරමින්.

පළමු දිනයේ දී කඩුලු පෙරහැරක් 

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. එම නිසාම ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 120කට සීමා වුණේ මුරලිදරන් සහ සොයිසා කඩුලු 4 බැගින් දවාගෙන සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. එහි දී මුරලිදරන් විසින් මයිකල් කැස්ප්‍රොවික්ස්ගේ කඩුල්ල දවාගැනීමත් සමගම ටෙස්ට් කඩුලු 500 සම්පූර්ණ කළ තෙවන පන්දු යවන්නා ලෙසින් ඉතිහාසගත වුණා. ඉන්පසුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට ලකුණු 92කට කඩුලු 7ක් ලබා සිටියේ අසීරු අඩියකට වැටෙමින්.

මුරලිදරන් 500 වැනි ටෙස්ට් කඩුල්ල ලබාගත් අවස්ථාව (gettyimages)

වාස් සහ මුරලි පිත්තෙන් සටන් කරයි 

තරගයේ දෙවන දිනයේ උදෑසනින්ම සොයිසා සහ ලොකුආරච්චි දැවීයාමත් සමගම ශ්‍රී ලංකා ලකුණු පුවරුව 132/9 බවට පත් වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටුණු අවස්ථාවේ කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු වාස් සහ මුරලි අවසන් කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 79ක සබඳතාවය ගොඩනැගුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 211ක් දක්වා ඔසවා තබමින්. එහි දී වාස් නොදැවී ලකුණු 68ක් ලබාගන්නා විට මුරලි, හයේ පහර 3ක් සමගින් වේගවත් ලකුණු 43ක් ලබාගත්තේ පන්දු 28කට පමණක් මුහුණ දෙමින්. එසේම, මෙම ඉනිමේ දී ද පන්දුවෙන් සාර්ථක වුණු වෝන් ලකුණු 65කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.

වාස් පන්දුවට පහරදෙමින් (gettyimages)

මාටින් සහ ගිල්ක්‍රිස්ට් ශ්‍රී ලංකාවට බැටදෙයි 

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 91ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 26ක් තුළ ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. නමුත්, පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් ලබා අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ගිල්ක්‍රිස්ට් එදා වේගයෙන් පන්දුවට පහරදෙමින් පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට යොමු කරන ආකාරය දක්නට ලැබුණා. එහි දී ගිල්ක්‍රිස්ට් හයේ පහර 3ක් සමගින් පන්දු 185කින් ලකුණු 144ක් ලබාගෙන සිටිය දී දැවීගිය අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දිස්වුණේ 226/3 ලෙසින්. ගිල්ක්‍රිස්ට්ගේ නික්ම යාමෙන් පසුව ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදුන් මාටින්, අගනා ලකුණු 161ක් ලබාගෙන අවසන් පිතිකරුවා ලෙසින් දැවීගියේ සිය කණ්ඩායම ලකුණු 442ක් දක්වා ඔසවා තබමින්. නැවතත් පන්දුවෙන් සිය යුතුකම ඉටුකළ මුරලිදරන්, ලකුණු 173කට කඩුලු 5ක් දවාගන්නා ආකාරය දැකගත හැකි වුණා.

ගිල්ක්‍රිස්ට් සහ මාටින් (gettyimages)

ශ්‍රී ලංකාවට ලකුණු 27ක පරාජයක් 

තරගයේ සිව්වන දිනයේ දී ලකුණු 352ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 301 ලබා සිටියේ, ජයසූරිය පන්දු 145කින් ලබාගත් වේගවත් ලකුණු 131 නිසා යි. ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් දිනයේ ජයග්‍රහණය සඳහා ලකුණු 51ක් අවශ්‍ය වුණත්, ඔවුන් අතැතිව තිබුණේ කඩුලු 3ක් පමණ යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු අවසන් දිනයේ උදෑසන වාස් සහ ලොකුආරච්චි සීරුවෙන් පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 319/7 බවට පත් කළා. නමුත්, එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු වෝන් ගිලෙස්පි අවසන් කඩුලු 3ම ලකුණු 5ක් තුළ දවාගත්තේ ශ්‍රී ලංකාවට ලකුණු 27ක පරාජයක් උරුම කර දෙමින්. එහි දී යළි පන්දුවෙන් ක්‍රියාත්මක වුණු වෝන්, ලකුණු 90කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.

ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය සමරමින් (gettyimages)

ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයක් ලබයි 

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති තෙවන ටෙස්ට් තරගයට පිවිසෙන විට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබුණේ සිය ගෞරවය බේරාගැනීම වෙනුවෙන් සටන් කිරීම පමණයි. නමුත්, එදා යළි ක්‍රියාත්මක වුණු කැංගරුවන් ලකුණු 121ක ජයක් ලැබුවේ ශ්‍රී ලංකාවට පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් උරුම කර දෙමින්. 

පළමු ඉනිමේ දී දෙපිලම කරට කර සටනක 

මෙම තරගයේ මුලින්ම පන්දුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 96කට දැවීගිය අවස්ථාවේ පිටියට පිවිසි ලීමන් ලබාගත් ලකුණු 153 නිසා ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 401 දී නිමාව දුටුවා. එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ මුරලිදරන් ලකුණු 123කට කඩුලු 5ක් දවාගත්තා. ඉන් අනතුරුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 407ක් ලබාගත්තේ මාවන් ලබාගත් ලකුණු 118 මෙන්ම  හෂාන් සහ ජයසූරිය ලබාගත් අර්ධ ශතකවල සහායෙන්.

මාවන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ලැංගර් සහ කැටිච් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි 

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 6ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 98ක් තුළ දැවීගියේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයකට පත් කරමින්. නමුත්, එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ලැංගර් සහ කැටිච් හයවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 218ක සබඳතාවය නිසා ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 375 දී නිමාව දුටුවේ ශ්‍රී ලංකාවට ලකුණු 370ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින්. එදා ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ලැංගර් ලකුණු 166ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් කැටිච් ලකුණු 86ක් ලබාගැනීමට සමත් වුණා.

ලැංගර් සහ කැටිච් (gettyimages)

ශ්‍රී ලංකාවට ලකුණු 121ක පරාජයක්  

ලකුණු 370ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබා සිටියා. නමුත්, එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවසන් කඩුලු 8ම ලකුණු 92ක් තුළ දවාගත්තේ ශ්‍රී ලංකාවට ලකුණු 121ක පරාජයක් උරුම කර දෙමින්. ඒ අනුව ශ්‍රී ලංකාව සිය මව්බිමේ දී පූර්ණ තරගාවලි පරාජයක් ලබාගන්නා ආකාරය දැකගත හැකි වුණා. 

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම (gettyimages)

එදා ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයක් ලැබුවත්, එහි වාඩුව ඉන් වසර 12කට පසුව ලබාගත්තේ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔවුන්ට එරෙහිව 3-0ක පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගනිමින්.   

Related Articles