Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2005 ඉන්දියන් ඔයිල් තුන්කොන් තරගාවලියේ දී රැකගත් සිංහ අභිමානය

2005 වසරේ මැද භාගයේ ශ්‍රී ලංකා බිමේ දී උණුසුම් තුන්කොන් තරගාවලියක් පැවැත්වුණා. ඉන්දියන් ඔයිල් තුන්කොන් තරගාවලිය නමින් හැඳින්වුණු එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් සහභාගි වුණා. එම තරගාවලිය සඳහා එතරම් දක්ෂ කොදෙව් කණ්ඩායමක් සහභාගි නොවුණු නිසා කුසලානය දිනාගැනීම සඳහා තියුණු  සටනක් පැවතුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යි. එදා මව්බිමේ දී සිය අභිමානය රැකගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කළේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව කරට කර සටන් කරමින්. 

ජයසූරියගේ සටන්කාමී ඉනිම හමුවේ ඉන්දියානුවන් පසුබසියි 

මූලික වටයේ තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම තරග කිරීමට සිදුවුණේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව යි. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් මුල සිටම ඉන්දීය පිතිකරුවන්ට කිසිදු බුරුලක් ලබානොදුන් නිසා ඔවුන්ගේ මුල් කඩුලු 5ම ලකුණු 64ක් තුළ දැවීගියා. 

මහරුෆ්ගේ පන්දුවක් හමුවේ ෂෙවාග් දැවීගිය අවස්ථාව (gettyimages)

එලෙස ඉන්දීය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක්වුණු නායක රාහුල් ඩ්‍රාවිඩ් සිය මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩාකළ වෙනුගෝපාල් රාඕ සමග එක්ව ඉන්දීය ඉනිම ගොඩනැගීම ආරම්භ කළා. එහිදී ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවයක් ගොඩනගන අතරතුර ඩ්‍රාවිඩ් සිය එක්දින දිවියේ 60 වැනි අර්ධ ශතකය වාර්තා කළා.

ඩ්‍රාවිඩ් අර්ධ ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

ඩ්‍රාවිඩ් සහ රාඕ ඉන්දීය ලකුණු පුවරුව 122/5 බවට පත්කළත් එම අවස්ථාවේ දී චන්දනගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා ඩ්‍රාවිඩ් ලකුණු 54කට දැවීයාම නිසා ශ්‍රී ලංකාව යළි තරගයට අවතීර්ණ වුණා. නමුත් ඉන්දීය අගපෙළ පිතිකරුවන් සිය වගකීම මැනවින් ඉටුකළ නිසා නියමිත පන්දුවාර අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව 205/9 ලෙසින් සටහන් වුණා. එහිදී ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දක්ෂ පන්දු යැවීමක නිරතවුණු මුරලිදරන් ලකුණු 33කට කඩුලු 3ක් දවාගත්තා. 

මුරලිදරන් පන්දු යවමින් (gettyimages)

ඉන් පසුව ලකුණු 206ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණු විශාලම පාඩුව වුණේ පන්දු රකිමින් සිටිය දී ආබාධයකට ලක්වුණු සනත් ජයසූරිය ශ්‍රී ලංකා ඉනිම ආරම්භ නොකිරීම යි. නමුත් ජයසූරිය නොමැති අඩුව පිරවූ මුල්පෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 55/1 බවට පත්කළත් ඉක්මනින්ම ක්‍රියාත්මක වුණු ඉන්දීය පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල් කඩුලු 5ම ලකුණු 112ක් තුළ දවාගත්තා. 

සහීර් ඛාන් විසින් මහේලව දවාගත් අවස්ථාව (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස අසීරු අඩියකට වැටුණු අවස්ථාවේ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි ජයසූරිය මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩාකළ දිල්හාර ලොකුහෙට්ටිගේ සමග එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 140/5 බවට පත්කළා. නමුත් එම අවස්ථාවේ ලොකුහෙට්ටිගේ ලකුණු 21කට දැවීගියත් ඉතාමත් උපක්‍රමශීලීව පන්දුවට පහරදුන් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ චන්දන සහ මහරුෆ්ගේ සහාය ඇතිව යි. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ජයසූරිය නොදැවී ලකුණු 43ක් ලබාගත්තේ තරගයේ වීරයා බවටත් පත්වෙමින්. 

ජයසූරිය සහ මහරුෆ් තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව – 205/9 (50), (ඩ්‍රාවිඩ් – 54, මුරලිදරන් – 33/3 )

ශ්‍රී ලංකාව – 209/7 (48.2), (ජයසූරිය – 43*, සහීර් ඛාන් -32/2)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා – සනත් ජයසූරිය 

මහරුෆ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ කොදෙව් කණ්ඩායමට දරුණු පරාජයක් 

ඉන්දීය කණ්ඩායම හමුවේ ලබාගත් ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන් සමග තරග වැදුණේ රංගිරි දඹුලු ජාත්‍යන්තර පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව 149/1 ලෙස ප්‍රබල තත්ත්වයකට පත්වුණේ අතපත්තු සහ සංගක්කාර 2 වැනි කඩුල්ල වෙනුවෙන් එකතු කළ ලකුණු 138 නිසා යි.

මාවන් පන්දුවට පහරදෙමින් (gettyimages)

අතපත්තු සහ සංගක්කාර ලබාදුන් සාර්ථක අඩිතාලම ඔස්සේ ඉදිරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 241ක්. ඉන් පසුව ලකුණු 242ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 75ක් තුළ දැවීගියා. එහිදී මනරම් පන්දු යැවීමක නිරතවුණු මහරුෆ් පන්දුවාර 10 තුළ නිළකුණු පන්දුවාර 5ක් සමගින් ලකුණු 9කට කඩුලු 3ක් දවාගත්තේ කොදෙව් ඉනිම සුණුවිසුණු කරමින්. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ඩ්වේන් ස්මිත් ලකුණු 68ක් ලබාගත්තත් කොදෙව්වන්ට හිමිවුණේ ලකුණු 50ක පරාජයක්. 

මුරලිදරන් කොදෙව් පිතිකරුවෙකු දවාගත් අවස්ථාව (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව – 241/6 (50), (සංගක්කාර – 79, අතපත්තු – 70, ඩියොනරීන් – 55/2)

බටහිර ඉන්දීය කොදෙව් – 191/10 (45.1), (ඩ්වේන් ස්මිත් – 68, මහරුෆ් – 9/3, ලොකුහෙට්ටිගේ – 30/2)

ශ්‍රී ලංකාවට ලකුණු 50ක ජයක් 

තරගයේ වීරයා – ෆර්වීස් මහරුෆ් 

මහේල සහ චන්දන ඉන්දීය කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගනියි 

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු මුල් තරග 2ම ජයග්‍රහණය කිරීමෙන් පසුව නැවතත් ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නා. එහිදී ඉන්දීය මුල්පෙළ පිතිකරුවෙන් වගකීමෙන් පිත්ත හසුරවමින් ඉන්දීය ලකුණු පුවරුව 117/1 බවට පත්කළා. 

මහරුෆ්ගේ පන්දුවක් හමුවේ ෂෙවාග් ලකුණු ලබාගනිමින් (gettyimages)

නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු දිල්ෂාන් ලකුණු 29කට කඩුලු 4ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය ඉනිම සටහන් වුණේ 220/8 ලෙස යි.

රයිනාව දවාගැනීමේ සතුට සමරණ දිල්ෂාන් සහ මහේල (gettyimages)

රාත්‍රී කාලයේ දී ලකුණු 221ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. ඔවුන් අඛණ්ඩව ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාදුන් පීඩනය නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 95ක් තුළ දැවීගියා.

සංගක්කාර දැවීගිය අවස්ථාව (gettyimages)

නමුත් ඉන් නොසැලුණු මහේල සහ චන්දන ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව සටන් කිරීම ආරම්භ කළා. එදා රංගිරි දඹුලු ක්‍රිකට් පිටියට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් පිනවූ මහේල සහ චන්දන ලකුණු 126ක නොබිඳුණු සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වෙමින් මහේල අගනා ලකුණු 94ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් චන්දන ලකුණු 44ක් ලබාගත්තා. 

මහේල සහ චන්දන ශ්‍රී ලංකා ජයග්‍රහණය සමරමින් (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව – 220/8 (50), (ගංගුලී – 51, දිල්ෂාන්  – 29/4 )

ශ්‍රී ලංකාව – 221/6 (48), (මහේල – 94*, චන්දන – 44*,  නෙහෙරා -22/2)

ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා – මහේල ජයවර්ධන

මූලික වටයේ පළමු තරග 3ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව පැවති තරගය ලකුණු 33කින් පරාජය වුණා. නමුත් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණා.

මහේල සහ ආනල්ඩ් අවසන් තරගයේ දී ඉන්දියානුවන්ව මට්ටු කරයි 

ආර් ප්‍රේමදාස පිටියේ පැවති අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නා. එහිදී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට අසමත් වුණත් ජයසූරිය දක්ෂ පිතිහරඹයක නිරත වුණා. එලෙස පිත්තෙන් දස්කම් දැක්වූ ජයසූරියට එදා තරගය අමතක නොවන තරගයක් බවට පත්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 10000 සම්පූර්ණ කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වුණු නිසා යි. ජයසූරිය පන්දු 77කින් ලකුණු 67ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමට උත්සාහ කළත් ඔහු අවාසනාවන්ත අයුරින් දුවද්දී දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 122/4 ලෙසින් දිස්විය.

ජයසූරිය අර්ධ ශතකය ලබාගත් අවස්ථාව  (gettyimages)

ජයසූරියගේ නික්මයාමෙන් පසුව පිටියේ එක්වුණු මහේල සහ ආනල්ඩ් ගොඩනැගූ අගනා ලකුණු 125ක සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ 281/9 ලෙසින්.

ජයසූරිය සහ ආනල්ඩ් පන්දුවට පහරදෙමින් (gettyimages)

ලකුණු 282ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ෂෙවාග් පන්දු 22කින් ලබාගත් ලකුණු 48 නිසා ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටුණා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු වාස් ශ්‍රී ලංකාවට අවශ්‍යම වුණු ෂෙවාග්ගේ කඩුල්ල දවාගත්තේ ඉන්දීය ලකුණු පුවරුව 62/1 බවට පත්කරමින්.

වාස් විසින් ෂෙවාග්ව දවාගත් අවස්ථාව (gettyimages)

නමුත් එම අවස්ථාවේ ඉතාමත් සංයමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් ඔවුන්ගේ ලකුණු පුවරුව 186/2 දක්වා ඉහළ දැමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරසිටම අනතුරු ඇඟවීමක් කරමින්. එහෙත් එම අනතුරු ඇඟවීම තඹ දොයිතුවකට මායිම් නොකළ චන්දන ලකුණු 42ක් ලබාගෙන සිටි යුවරාජ්ව දවාගැනීමත් සමගම ඉන්දීය ඉනිමේ කඩාවැටීම ආරම්භ වුණා. එහිදී තරගයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැවූ නිසාම නියමිත පන්දුවාර 50 තුළ ඉන්දීය කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 263ක් පමණ යි. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව – 281/9 (50), ( මහේල -83, ජයසූරිය -67, ආනල්ඩ් – 64, නෙහෙරා – 59/6)

ඉන්දීයව – 263/9 (50), (ඩ්‍රාවිඩ් – 69, ෂෙවාග් -48, මුරලිදරන් -35/2, වාස්- 38/2)

ශ්‍රී ලංකාවට ලකුණු 18ක ජයක් 

තරගයේ වීරයා – මහේල ජයවර්ධන

තරගාවලියේ වීරයා – මහේල ජයවර්ධන 

මාවන් ජයග්‍රාහී කුසලානය සමග (gettyimages)

කවරයේ ඡායාරූපය - ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම (gettyimages)

Related Articles