Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2006 හොඳම ලෝක කුසලානයද?

එතෙක් මෙතෙක් පැවති ලෝක කුසලාන අතරින් හොඳම පාපන්දු ලෝක කුසලානය කුමක්ද? යැයි කිසිවෙකු ඔබගෙන් පැනයක් ඇසුවොත් ඔබ එයට ලබාදෙන පිළිතුර කුමක්ද? එසේත් නැතිනම් ඔබ මෙතෙක් නරඹන ලද පාපන්දු ලෝක කුසලාන අතරින් හොඳම ලෝක කුසලානය කුමක්දැයි කිසිවෙකු ඔබගෙන් විමසුවහොත්? ඇතැම් විට එය 2006 වීමට ඉඩ තිබේ. ඉතාලිය විසින් ජයග්‍රහණය කරන ලද 2006 පාපන්දු ලෝක කුසලානය මෙතෙක් පැවති හොඳම හොඳම පාපන්දු ලෝක කුසලානයක් බවට පත්වන්නේ මන්ද යන්න පිළිබඳයි අද “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් ගෙන එන්නේ.

තරඟාවලියට හොඳ ආරම්භයක් ලැබීම

“පිලිප් ලාම් විසින් ගෝලය වාර්තා කල ආකාරය” (bbc.com)

2006 පාපන්දු ලෝක කුසලාන පැවැත්වුනේ 2006 ජූනි මස 9 වැනි දින සිට 2006 ජූලි මස 9 වැනිදා දක්වයි. ඒ ජර්මනියේ ක්‍රීඩාංගන 12 දීය. එය 18 වැනි පාපන්දු ලෝක කුසලානයයි. තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය පැවැත්වුනේ සත්කාරක ජර්මනිය සහ කොස්ටරිකාව අතරයි. ඒ ජර්මනියේ මියුනික් නුවරදීය. තරඟාවලියට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් තරගයේ 6 වැනි මිනිත්තුවේ දී ජර්මනියේ පිලිප් ලාම් විසින් විශිෂ්ට ගෝලයක් රැස් කිරීමට සමත්විය. ඉන්පසු තරඟය පුරාවටම දෙපිලම හොඳින් ක්‍රීඩා කල අතර අවසානයේ සත්කාරක ජර්මනියට 4-2 ක ජයක් හිමිවුණි. ජර්මනිය වෙනුවෙන් ගෝල දෙකක් රැස් කිරීමට මිරොස්ලෆ් ක්ලෝසට හැකිවිය. එම තරඟය බොහෝ ජනප්‍රිය තරගයක් බවටද පත්වුණි.

සුපිරි ක්‍රීඩකයින්

2006 පාපන්දු ලෝක කුසලානයට තරම් වෙනත් කිසිදු ලෝක කුසලානයට එතරම් සුපිරි ක්‍රීඩකයින් සහභාගී නොවන්නට ඇති. සියලුම ප්‍රබල කණ්ඩායම් වල සියලුම ක්‍රීඩකයින් පාහේ ඉතා දක්ෂ, ජනප්‍රිය ක්‍රීඩකයින් විය.

“සිඩාන් සහ ලුයිස් ෆිගෝ අවසන් පූර්ව තරඟයේ දී” (Getty Images)

නිදසුන් කිහිපයක් ලෙසින් ජර්මනියේ මයිකල් බැලැක් සහ මිරොස්ලෆ් ක්ලෝස, එංගලන්තයේ ඩේවිඩ් බෙකම්, ස්ටීවන් ජෙරාඩ් සහ ෆ්‍රෑන්ක් ලැම්පාර්ඩ්, ස්වීඩනයේ ස්ලාතන් ඊබ්‍රහිමොවිච්, ආර්ජෙන්ටිනාවේ හර්නන් ක්‍රෙස්පො සහ හුවාන් රිකෙල්මේ, අයිවරි කෝස්ට් දේශයේ ඩිඩියර් ඩ්‍රොග්බා, නෙදර්ලන්තයේ එඩ්වින් වැන් ඩර් සාර් සහ රූඩ් වෑන් නිස්ටල්රූයි, සර්බියා සහ මොන්ටෙනෙග්‍රෝ හි නෙමන්යා විඩිච්, පෘතුගාලයේ ලුයිස් ෆිගෝ සහ ඩෙකෝ, චෙක් ජනරජයේ පවෙල් නෙඩ්වඩ් සහ පීටර් චෙක්, ඉතාලියේ ජන්ලුයිජි බුෆ්ෆොන්, ෆැබියෝ කැන්නවාරෝ, ෆ්රැන්චෙස්කෝ තොත්ති සහ අන්ද්‍රේ පිර්ලෝ, ඇ.එ.ජ ක්ලින්ට් ඩෙම්ප්සි, බ්‍රසීලයේ රොනාල්ඩෝ, රොනාල්ඩීනියෝ, අද්‍රියානෝ, කෆූ සහ රොබර්ටෝ කාර්ලොස්, ප්‍රංශයේ සිනෙඩින් සිඩාන් සහ තියරි හෙන්රි, ස්පාඤ්ඤයේ ඊකර් කැසියස්, රවූල් ගොන්සාලෙස්, ක්ශාවී සහ කාල්ස් පුයොල්, යුක්රේනයේ අන්ද්‍රේ සෙව්චෙන්කෝ දැක්විය හැක.

“නෙදර්ලන්තයේ රොබින් වැන් පර්සි (දකුණේ), ආයන් රොබ්බෙන් (වමේ) සහ මාක් වැන් බොම්මෙල් (මැද)” (Getty Images)

ඔබ දැඩි පාපන්දු ලෝලියෙකු වූවත්, නොවූවත් ඉහත සඳහන් නම් වලින් කිහිපයක් හෝ මෙයට පෙර අසා ඇති. එපමණක්ද නොවේ. මෙම ක්‍රීඩකයින්ට අමතරව එවකට ඉතා තරුණ වූත් පසුකලෙකදී පාපන්දු ක්‍රීඩාවේ තරු බවට පත්වූ ලාබාල ක්‍රීඩකයින් රැසක්ද 2006 පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කල අතර එම තරගාවලියෙහි විශේෂත්වය වැඩිවීමට එය විශාල හේතුවක් ද වේ. (මෙහි නම් සඳහන් සමහර ක්‍රීඩකයින් එයට පෙර ලෝකයේ යම් නමක් දිනාසිටියත් ඔවුන් එම අවදියේදී ඉතා තරුණ වයසෙහි පසුවිය.)

ජර්මනියේ පිලිප් ලාම් සහ ලූකස් පොඩොල්ස්කි, එංගලන්තයේ වේන් රූනි, ආර්ජෙන්ටිනාවේ කාර්ලෝස් ටෙවේස් සහ ලියනල් මෙස්සි, නෙදර්ලන්තයේ රොබින් වැන් පර්සි, ආයන් රොබ්බෙන් සහ වෙස්ලි ශ්නයිඩර්, පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ඉතාලියේ ඩැනියෙල් ඩි රොස්සි, බ්‍රසීලයේ කකා සහ රොබීනියෝ, ක්‍රොයේශියාවේ ලූකා මොඩ්රිච්, ප්‍රංශයේ ෆ්‍රෑන්ක් රිබරි, ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ ටොරෙස්, ඩාවීඩ් වියියා සහ සර්ජියෝ රාමෝස් එලෙස 2006 ලෝක කුසලානයට ක්‍රීඩා කල තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විය.

කණ්ඩායම් වල ශක්තිය එකම මට්ටමෙන් පැවතීම

“එංගලන්ත පාපන්දු කණ්ඩායම” (AP files)

2006 පාපන්දු ලෝක කුසලානයට​ සහභාගී වූ සියලුම ප්‍රබල කණ්ඩායම් පාහේ ඉතා ශක්තිමත්, සමබර කණ්ඩායම් විය. එම ප්‍රබල කණ්ඩායම් සියල්ල එකිනෙකට නොදෙවෙනි කණ්ඩායම් විය. 2010 පාපන්දු ලෝක කුසලානයේ දී ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ ආර්ජෙන්ටිනාව කැපී පෙනුණි. 2014 දී ජර්මනිය, ආර්ජෙන්ටිනාව සහ බ්‍රසීලය කැපී පෙනුණි. නමුත් 2006 දී එලෙස කණ්ඩායම් කිහිපයක් පමණක් කැපී නොපෙනුණි. එය එසේ සිදුවූයේ සියලුම කණ්ඩායම් වලට පාහේ ඉතා දක්ෂ ක්‍රීඩකයින් සිටි නිසාය.

ප්‍රබල කණ්ඩායම් මූලික වටයෙන් ඉවතට විසි නොවීම

“රොනාල්ඩෝ (වමේ), රොනාල්ඩීනියෝ (මැද) සහ සිඩාන් (දකුණේ) (Getty Images)

2006 ලෝක කුසලානයට සහභාගී වූ ප්‍රබල රටවල් අතරින් එකදු රටක් හෝ මූලික වටයෙන් තරඟාවලියෙන් ඉවතට විසිවූයේ නැත. ප්‍රංශය හැර අනෙකුත් සියලුම කණ්ඩායම් පාහේ ඔවුන්ගේ කාණ්ඩය ද ජයගැනීමට සමත්විය. එය ඉතාම විශේෂයකි. පසුගිය ලෝක කුසලාන කිහිපය සැලකූ කල 2002 වසරේදී ප්‍රංශය, 2010 දී ඉතාලිය සහ ප්‍රංශය, 2014 දී ඉතාලිය, ස්පාඤ්ඤය සහ එංගලන්තය මූලික වටයෙන්ම ඉවත් විය. මෙවර 2018 තරඟාවලිය ගලාගෙන යන ආකාරයට මෙවරද යම් යම් සිදුවීම් සිදුවිය හැක. එක අතකින් එය යහපත්ය. කුඩා කණ්ඩායම් වලට අවස්ථා වැඩි වශයෙන් ලැබෙන බැවින්. නමුත් අනෙක් අතින් ප්‍රබල කණ්ඩායම් උපරිම දස්කම් දක්වන විට එයටත් වඩා යහපත්ය.

2006 පාපන්දු ලෝක කුසලානයේ දී ප්‍රබල කණ්ඩායම් 7 ක්ම අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට සමත්විය. එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, බ්‍රසීලය, පෘතුගාලය, ජර්මනිය සහ ආර්ජෙන්ටිනාව එම කණ්ඩායම් 7 වේ. ඉතින් ජාත්‍යාන්තර මට්ටමෙන් පැවැත්වෙන ඉහළම තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී මෙවැනි කණ්ඩායම් එකිනෙක ගැටෙන විට එය කෙතරම් නම් තරඟකාරීත්වයක් ද? 2002 වසරේ දී සත්කාරක දකුණු කොරියාව සහ තුර්කිය අවසන් පූර්ව වටය දක්වා ද 2010 දී ඝානාව සහ පැරගුවේ රාජ්‍යය අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද 2014 දී කොස්ටාරිකාව අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද පැමිණීමට සමත් විය. එවිට සිදුවන්නේ තරඟාවලියේ හොඳම කොටස වන අවසාන කොටසට තරඟාවලිය ඇදී යන විට පූර්ව නිගමන වලට එළඹීමේ හැකියාව වැඩි වීමයි.

ඒ අනුව තරඟාවලියේ අවසාන භාගයේදී හොඳ මට්ටමේ තරග​ කිහිපයක් දැකබලාගැනීමට හැකිවිය. සත්කාරක ජර්මනිය සහ ඉතාලිය අතර පැවති අවසන් පූර්ව වටයේ තරඟය 2006 පාපන්දු ලෝක කුසලානයේ පමණක් නොව පසුගිය ලෝක කුසලාන කිහිපයේදීම පැවති හොඳම තරඟය ලෙසින් ද හැඳින්වීමට හැක. අර්ධ අවසන් පූර්ව වටයේ ජර්මනිය සහ ආර්ජෙන්ටිනාව අතර පැවති තරග​ය 16 දෙනාගේ වටයේ දී ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර පැවති තරඟය මෙන්ම 16 දෙනාගේ වටයේ පෘතුගාලය සහ නෙදර්ලන්තය අතර පැවති තරඟයද ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නොවන තරග​ ලෙසින් හැඳින්විය හැක.

ගෝල අඩුවෙන් වාර්තා වීම

“ආර්ජෙන්ටිනාවේ හර්නන් ක්‍රෙස්පෝ” (Getty Images)

2006 ලෝක කුසලානයේ දී සාපේක්ෂව ගෝල අඩු සංඛ්‍යාවක් වාර්තා වීම සහ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳෙන ගෝල අඩු වශයෙන් වාර්තා වීම 2006 ලෝක කුසලානය සම්බන්ධයෙන් තිබෙන එක්තරා ගැටලුවකි. එවකට FIFA හි මුලසුන දැරූ සෙප් බ්ලැටර් මහතාද තරඟාවලියේ වාර්තා වූ ගෝල සංඛ්‍යාවේ අඩු බව පිලිබඳ කරුණු දක්වා තිබුණි. මේ ආකාරයට තරඟ 64 කින් යුතු තරඟාවලියක් පැවැත්වෙන්නේ 1998 වසරේ සිට වන අතර,

1998 – 171

2002 – 161

2006 – 147

2010 – 143

2014 – 171

ලෙසින් ඒ ඒ තරඟාවලි වලදී ගෝල වාර්තා කර තිබුණි. නමුත් බොහෝ කණ්ඩායම් වඩාත් ආරක්ෂාකාරී ලෙසින් ක්‍රීඩා කරන්නේ නම් වාර්තා වන ගෝල සංඛ්‍යාවද සාපේක්ෂව අඩුවේ.

2010 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දී නෙදර්ලන්තයේ ජිවානි වැන් බ්‍රොන්කොස්ට් විසින් උරුගුවේ දේශයට එරෙහිව ලබාගත් විශිෂ්ට ගෝලය, 2010 ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලද උරුගුවේ දේශයේ ඩියේගෝ ෆෝර්ලෑන් විසින් අවස්ථා කිහිපයක දී ලබාගත් විශිෂ්ට ගෝල ඇතුළු තවත් බොහෝ ගෝල ප්‍රමාණයක් 2010 තරඟාවලියේ දී දැකගත හැකි වූවත් 1998 සිට මේ දක්වා ගෝල අඩුවෙන්ම වාර්තා වී තිබෙන්නේ 2010 බව ඉහත දත්ත වලින් පෙනී යනු ඇත.

“ෆැබියෝ ග්‍රොස්සෝ විසින් ජර්මනියට එරෙහිව වාර්තා කල ගෝලය සැමරූ ආකාරය” (Goal.com)

2006 පාපන්දු ලෝක කුසලානයේදී ද සැලකිය​ යුතු මට්ටමේ හොඳ ගෝල රාශියක් වාර්තා විය. තරඟාවලියේ විවිධ අවස්ථාවලදී ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින් විසින් ලබාගත් ගෝල, තරඟාවලියේ පළමු තරඟයේ දී ජර්මනියේ පිලිප් ලාම් සහ ටෝස්ටන් ෆ්‍රින්ග්ස් විසින් ලබාගත් ගෝල, එංගලන්තයේ ජෝයි කෝල් විසින් ස්වීඩනයට එරෙහිව ලබාගත් විශිෂ්ට ගෝලය ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නොවනු ඇත. එයට අමතරව අවසන් පූර්ව වටයේ දී ඉතාලියේ ෆැබියෝ ග්‍රොස්සෝ විසින් ජර්මනියට එරෙහිව ලබාගත් විශිෂ්ට ගෝලය සහ ඔහු ඇතුළු කණ්ඩායම් සගයින් එම ගෝලය සැමරූ ආකාරය නම් අති විශිෂ්ටය. එම අවස්ථාව​ 2006 පාපන්දු ලෝක කුසලානයේ හොඳම අවස්තාව ලෙසින්ද හැඳින්වූවාට වරදක් නැත.

තවද සුපිරි ක්‍රීඩක ප්‍රංශයේ සිනෙඩින් සිඩාන් විසින් අවසාන මහා තරඟයේ දී ඉතාලියේ මාර්කෝ මටරස්සිට හිසෙන් එල්ල කල පහර සහ ඉන්පසු ඔහුට රතු කාඩ්පතක් ලැබීම ඉතා කනගාටුදායක සිද්ධියක් වූවත් එම සිද්ධිය ද බොහෝ ප්‍රේක්ෂකයින්ගේ මතකයෙහි රැඳුන සිද්ධියකි. එසේනම් ඉහත කරුණු දෙස බැලූ විට 2006 පාපන්දු ලෝක කුසලානය එතෙක් මෙතෙක් පැවති හොඳම පාපන්දු ලෝක කුසලානයක් ලෙසින් හැඳින්වීමෙහි කිසිදු වරදක් නොමැති බව පෙනී යයි.

Cover – Shaun Botterill/Getty Images

Related Articles