Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2007 ලෝක කුසලාන තරගාවලියේ මහේලගේ සුපිරි දස්කම්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම පිතිකරුවන් කිහිපදෙනාගෙන් කෙනෙකු වන මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා පිල ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා ගත් බොහෝ ජයග්‍රහණවල කොටස්කරුවෙකු විය. 1998 වසරේ මුලින්ම ශ්‍රී ලංකා එක්දින පිලට එක් වූ මහේල, 1999 වසරේ ලෝක කුසලාන තරගාවලිය තුළ තරග 4ක දී ලකුණු 102ක් ලබා ගත්ත ද, 2003 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ මහේල තරග 7ක් තුළ ලබා ගත්තේ ලකුණු 21ක් පමණි. එම නිසාම 2007 ලෝක කුසලාන තරගාවලියට මහේල ජයවර්ධන අවතීර්ණ වූයේ, සිය සුපුරුදු දස්කම් දැක්වීමේ අරමුණෙනි. ඒ වන විට කණ්ඩායමේ නායකත්වය ද මහේලට හිමිව තිබුණු බැවින්, පසුගිය ලෝක කුසලාන තරගාවලිවලට වඩා වැඩි වගකීමක් ඔහුට 2007 ලෝක කුසලාන තරගාවලිය තුළ පැවරුණි.

මූලික වටයේ තරගවල දී මහේලගෙන් දස්කම්

2007 ලෝක කුසලාන තරගාවලිය මූලික වටයේ දී B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා පිල එහි දී බර්මියුඩාව, බංගලාදේශය, සහ ඉන්දියාව සමග තරග වැදුණේ ය. මෙම තරගාවලියට පෙර පැවති නවසීලන්ත හා ඉන්දියා එක්දින තරගාවලිවල දී එතරම් ලකුණු අතර නොසිටි මහේලට මූලික වටයේ තරග නැවතත් ලකුණු අතරට පැමිණීම සඳහා වැදගත් විය.

බර්මියුඩාවට එරෙහිව

බර්මියුඩාවට එරෙහිව තරගය ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ මහේල එහි දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 90ක් තුළ අගනා ලකුණු 85ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා ද වෙමිනි. ඊට අමතරව මහේලට එම ඉනිම වැදගත් වූ අනිත් කාරණය වූයේ, එය මහේල එක්දින ලෝක කුසලාන දිවියේ ලබාගත් මුල්ම අර්ධ ශතකය වීම යි. එදා මහේලගේ එම ඉනිම නිසාම ලෝක කුසලාන තරගයක මුල්මවරට තරගයේ වීරයා සම්මානයක් හිමිකර ගැනීමට ද ඔහුට හැකි විය.

මහේල බර්මියුඩාවට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

බංගලාදේශයට එරෙහිව

බංගලාදේශයට එරෙහිව තරගයේ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 70ක දී ලකුණු 46ක් ලබාගත් මහේල, ජයසූරිය සමග ලකුණු 104ක වටිනා සබඳතාවයක් පැවැත්වූයේ ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් කරමිනි.

මහේල බංගලාදේශයට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

ඉන්දියාවට එරෙහිව

ඉන්දියාවට එරෙහිව තරගයේ දී පන්දු 20කින් ලකුණු 7ක් පමණක් ලබා ගත් මහේලට සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වුව ද ශ්‍රී ලංකා පිල B කාණ්ඩයේ ප්‍රථමයා වෙමින් ප්‍රසාද ලකුණු ද සමග සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවේ ය.

සුපිරි 8 දෙනාගේ  වටයේ දී මහේලගෙන් සුපිරි දස්කම්

සුපිරි 8 දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකා පිලට දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්,

එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා අයර්ලන්තය යන කණ්ඩායම් සමග තරග වැදීමට සිදුවිය. මූලික වටයේ තරග 3ම ජයග්‍රහණය කර තිබූ ශ්‍රී ලංකා පිල සුපිරි වටයට අවතීර්ණ වූයේ එම ජයග්‍රාහි මානසිකත්වයෙනි.

දකුණු අප්‍රිකාවට එරෙහිව

තරගාවලියේ ශ්‍රී ලංකා පිල පරාජය වූ මුල්ම තරගය වූ දකුණු අප්‍රිකානු තරගයේ දී මහේලට ද ලබා ගත හැකි වූයේ පන්දු 31කින් ලකුණු 12ක් පමණි. මෙම තරගය ශ්‍රී ලංකා පිල පරාජය වුව ද ලසිත් මාලිංග, පන්දු 4කින් කඩුලු 4ක් ලබා ගනිමින් පෙන්වූ සටන්කාමී ක්‍රීඩා විලාශය ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තේ ය.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව

මෙම ලෝක කුසලාන තරගාවලියේ දී මහේල යළි පිබිදුණු තරගය ලෙස මෙම කොදෙව් තරගය හැඳින්විය හැකි අතර, එදා මහේල පන්දු 113කින් ලකුණු 82ක් ලබා ගනිමින් ජයසූරිය සමග ගොඩනැගූ ලකුණු 183ක අගනා සබඳතාවය නිසා මහේලට තරගාවලිය තුළ විශාල ගමනක් යාමට පන්නරය ලැබුණි.

කොදෙව්වන්ට එරෙහිව මහේල ක්‍රීඩා කරමින් (gettyimages)

එංගලන්තයට එරෙහිව

ශ්‍රී ලංකා පිලට මෙම තරග වටයේ තීරණාත්මක තරගයක් වූ මෙම තරගයේ දී මහේල, පන්දු 61කින් ලබා ගත් වේගවත් ලකුණු 56 ශ්‍රී ලංකා පිලට විශාල සවියක් විය. මෙම තරගය තියුණු අවසානයකින් පසුව ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කිරීම නිසා ඔවුන්ට තරගාවලියේ ඉදිරි ගමන පැහැදිලි විය.

එංගලන්තයට එරෙහිව මහේල පන්දුවට පහරදෙමින් (gettyimages)

නවසීලන්තයට එරෙහිව

සුපිරි 8 වටයෙන් අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව ගෙන යාම සඳහා මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා පිලට වැදගත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත පිල ලබා ගත් 219/7ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල 130/2 ලෙස ප්‍රබල තත්ත්වයක සිටිය දී පිටියට පිවිසි මහේල, පන්දු 16කින් ලකුණු 15ක් ලබා සිටිය දී දැවී ගිය ද ශ්‍රී ලංකා පිල කඩුලු 6ක පහසු ජයක් අවසානයේ දී ලබාගත්තේ ය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව  

සුපිරි 8 වටයේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් දෙක වූ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව උරෙනුර ගැටුණු මෙම තරගය සුපිරි 8 වටයේ සියල්ලන්ගේ ම අවධානය යොමු වූ තරගයක් විය. මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 3ම ලකුණු 27ක් තුළ බිඳවැටුණු අවස්ථාවේ චාමර සිල්වා සමග එක් වූ මහේල, ලකුණු 140ක අගනා සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිල අවමානයෙන් බේරා ගත්තේ ය. එදා හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් පන්දු 88ක් තුළ ලකුණු 72ක් ලබාගත් මහේලගේ ඉනිම සැබවින්ම සුපිරි ඉනිමක් විය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව මහේල ක්‍රීඩා කළ අගනා ඉනිමේ අවස්ථාවක් (gettyimages)

අයර්ලන්තයට එරෙහිව

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ අන්ත අසරණ වූ අයර්ලන්ත ඉනිම පන්දුවාර 27.4ක දී ලකුණු 77කට සීමා විය. ඉන් අනතුරුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහේල පන්දු 27ක දී නොදැවී ලකුණු 39ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළේ ය.

මහේල අයර්ලන්තයට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

මහේල ශ්‍රී ලංකා පිල අවසන් තරගයට ගෙන ගිය ආකාරය

2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා පිලට නැවතත් නවසීලන්ත පිලට එරෙහිව ක්‍රීඩා කිරීමට සිදුවිය. එදා කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහේල, හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 109ක් තුළ නොදැවී ලබාගත් ලකුණු 115 නිසා ලකුණු 289ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. එදා මහේලගේ එම සුපිරි ඉනිම වසර 11කට පසු ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන අවසන් තරගයක් කරා කැඳවාගෙන ගියේ, මහේලට තරගයේ වීරයා සම්මානය ද උරුම කර දෙමිනි.

මහේල නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

අවසන් තරගයේ දී මහේල අසාර්ථක විය

අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල පන්දුවාර 38ක් තුළ ලකුණු 281ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලට ප්‍රබල පීඩනයක් එල්ල කළේ ය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ජයසූරිය සහ සංගක්කාර ලකුණු 116ක වටිනා සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිල තරගය තුළ රඳවා තැබීය. නමුත්, ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානුවන් සංගක්කාරව ලකුණු 54කට දවා ගැනීමෙන් පසු වේගයෙන් ලකුණු ලබා ගැනීමට අවශ්‍ය මොහොතක පිටියට පිවිසි මහේල පන්දු 19කින් ලකුණු 19ක් ලබා ගත්ත ද එම ඉනිම  තීරණය වෙනස් කිරීමට අසමත් විය.

ඔහු විශිෂ්ටයන් අතරට එකතු විය

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ තනි තරගාවලියක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූයේ 2003 ලෝක කුසලාන තරගාවලිය තුළ 61.18ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 673ක් ලබා ගත් සචින් ටෙන්ඩුල්කාර් නම් සුපිරි ඉන්දීය පිතිකරුවා ය. එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන්නේ 2007 ලෝක කුසලාන තරගාවලියේ 73.22ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු 659ක් රැස් කළ මැතිව් හේඩ්න් නම් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා ය. එවැනි සුපිරි පිතිකරුවන් දෙදෙනෙකුට පසුව මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසු වන්නේ 2007 ලෝක කුසලාන තරගාවලිය තුළ 60.89ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු 548ක් ලබා ගත් ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන නම් සුපිරි පිතිකරුවා ය.

කවරයේ ඡායාරූපය- මහේල තරගාවලිය තුළ දස්කම් දක්වමින් (gettyimages)

මූලාශ්‍රයයන්:

ESPNcricinfo

Related Articles