Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2015 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කෙන්යානු පෙරළිය

1983 වසරේ දී ආරම්භ වුණු ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මුල් යුගය වර්ණවත් කළේ නැගෙනහිර ජර්මානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනුයි. නමුත්, 1991 වසරේ සිට ඇමරිකානු ආධිපත්‍යයට නතු වුණු මෙම තරගාවලියේ ශූරතාවය 13 වතාවක්ම ඔවුන් දිනාගනු ලැබුවේ අනිකුත් රටවල්වලට ප්‍රබල අභියෝගයක් වෙමින්. එලෙස ඇමරිකානුවන් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසය තුළ ප්‍රබලම තත්ත්වයක සිටි අවධියේ ඔවුන්ට ශූරතාවය අහිමි වුණු අවස්ථාවන් 2ක් තිබුණා. ඉන් මුල්ම අවස්ථාව 2001 වසරේ දී රුසියාව මෙම තරගාවලියේ ශූරතාවය දිනාගත් අවස්ථාව යි. රුසියාව හමුවේ එලෙස පරාජය වුණු ඇමරිකානුවන් ඉන් අනතුරුව පැවති තරගාවලි 6ක දී ම ශූරතාවය දිනාගෙන සිටි මොහොතක ඔවුන්ගෙන් එම ශූරතාවය 2015 වසරේ දී උදුරාගත්තේ කෙන්යාව යි.

2015 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය 

2015 ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය චීනයේ බීජිං නුවර දී පැවැත්වුණේ රටවල් 205ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1781ක සහභාගිත්වය ඇතිව යි. එලෙස පැවැත්වුණු තරගාවලිය සඳහා ඉසව් 47ක් ඇතුළත් වුණා. එහි දී ශූරතාවය දිනාගැනීම සඳහා තුන්කොන් සටනක් නිර්මාණය වී තිබුණේ ඇමරිකාව, ජැමයිකාව සහ කෙන්යාව අතර යි. එම නිසාම තරගාවලියේ අවසානය තෙක්ම මෙම රටවල් ත්‍රිත්වය ශූරතාවය දිනාගැනීම වෙනුවෙන් ප්‍රබල සටනක නිරත වුණා.

තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් (gettyimages)

කෙටි දුර ධාවන සහ සහාය දිවීමේ තරගවල දී ජැමයිකාව පෙරමුණට 

කෙටි දුර ධාවන ඉසව් සහ සහාය දිවීමේ ඉසව්වල දී වැඩි තරගයක් පැවතුණේ ඇමරිකාව සහ ජැමයිකාව අතර යි. නමුත්, එහි දී ජැමයිකානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 6ක් දිනාගන්නා විට ඇමරිකානුවන්ට දිනාගැනීමට හැකි වුණේ රන් පදක්කම් 2ක් පමණ යි. පහත දැක්වෙන්නේ ජැමයිකාව සහ ඇමරිකාව රන් පදක්කම් දිනාගත් තරග ඉසව් පිළිබඳව තොරතුරු යි. 

මීටර් 100 පිරිමි- උසේන් බෝල්ට් (ජැමයිකාව)

මීටර් 200 පිරිමි- උසේන් බෝල්ට් (ජැමයිකාව)

මීටර් 100 කාන්තා- ෂෙලී ඈන් ෆ්රේසර් (ජැමයිකාව)

මීටර් 400 කාන්තා- ඇලිසන් ෆීලික්ස් (ඇමරිකාව)

මීටර් 4×100 පිරිමි- ජැමයිකාව 

මීටර් 4×100 කාන්තා- ජැමයිකාව 

මීටර් 4×400 පිරිමි- ඇමරිකාව 

මීටර් 4×400 කාන්තා- ජැමයිකාව 

උසේන් බෝල්ට් දස්කම් දක්වමින් (gettyimages)

මැදි දුර සහ දිගු දුර ඉසව්වල දී තුන්කොන් සටනක් 

මැදි දුර සහ දිගු දුර ධාවන ඉසව්වල දී කවදත් දස්කම් දක්වන කෙන්යානු සහ ඉතියෝපියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේ දීත් එම ඉසව්වලින් වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගැනීම සඳහා කරට කර සටනක නිරත වුණා. එසේම සෝමාලියාවේ ඉපිද බ්‍රිතාන්‍යය වෙනුවෙන් තරග කළ මෝ ෆාරා ඔහුගේ ඉසව්වල දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අනුව කෙන්යානුවන්ට එම ඉසව්වලින් රන් පදක්කම් 3ක් හිමි වන විට ඉතියෝපියාවට සහ බ්‍රිතාන්‍යයට රන් පදක්කම් 2ක බැගින් හිමි වුණා. පහත දැක්වෙන්නේ එම රටවල් තුන  රන් පදක්කම් දිනාගත් තරග ඉසව් පිළිබඳව තොරතුරු යි. 

මීටර් 800 පිරිමි- ඩේවිඩ් රුඩීෂා (කෙන්යාව)

මීටර් 1500 පිරිමි- ඇස්බෙල් කිප්‍රොප් (කෙන්යාව)

මීටර් 5000 පිරිමි- මෝ ෆාරා (මහා බ්‍රිතාන්‍යය)

මීටර් 10000 පිරිමි- මෝ ෆාරා (මහා බ්‍රිතාන්‍යය)

මීටර් 1500 කාන්තා- ගෙන්සිබේ ඩිබාබා (ඉතියෝපියාව)

මීටර් 5000 කාන්තා- අල්මාස් අයානා (ඉතියෝපියාව)

මීටර් 10000 කාන්තා- විවියන් චෙරුයොට් (කෙන්යාව)

මෝ ෆාරා දස්කම් දක්වමින් (gettyimages)

කඩුලු පැනීමේ ඉසව්වල දී වැඩි දස්කම් කෙන්යාවෙන් 

කඩුලු පැනීමේ ඉසව් යටතේ රන් පදක්කම් 6ක් පිරිනමනවා. එලෙස පිරිනැමූ රන් පදක්කම් හයෙන් 3ක් ම හිමි වුණේ කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යි. එහි දී කෙන්යානුවන්ට අතීතයේ සිටම වාසිදායක වුණු මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ රන් පදක්කම් යුගලයම ඔවුන්ට හිමි වුණා. එලෙස කෙන්යානුවන් කඩුලු පැනීමේ ඉසව්වලින් දස්කම් දක්වන විට ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියෙකු වුණු ජැමයිකාවටත් කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වේ රන් පදක්කම හිමි වුණා. පහත දැක්වෙන්නේ කඩුලු පැනීමේ ඉසව්වලින් රන් පදක්කම් දිනාගත් කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව යි.

මීටර් 400 කඩුලු පැනීම පිරිමි- නිකොලස් බෙට් (කෙන්යාව)

මීටර් 3000 බාධක දිවීම පිරිමි- එසෙකිල් කිම්බෝයි (කෙන්යාව)

මීටර් 3000 බාධක දිවීම කාන්තා- හයිවින් ජෙප්කෙමෝයි (කෙන්යාව)

නිකොලස් බෙට් රන් පදක්කම දිනාගනිමින් (gettyimages)

පිටියේ ඉසව්වලින් ඇමරිකානුවන්ට වැඩි වාසියක් නොලැබී යයි 

ජවන ඉසව්වල දී කෙන්යාව සහ ජැමයිකාව වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත්ත ද පිටියේ ඉසව්වල දී වැඩි වාසියක් හිමිව තිබුණේ ඇමරිකාවට යි. එම නිසාම ඔවුන් පිටියේ ඉසව්වලින් වැඩි වාසියක් ලබාගනු ඇතැ යි බොහෝදෙනෙකු අපේක්ෂා කළා. නමුත්, එම ඉසව් වෙනුවෙන් පිරිනැමුණු රන් පදක්කම් 16න්  ඇමරිකාව රන් පදක්කම් 3ක් පමණක් දිනාගන්නා විට පෝලන්තයත් රන් පදක්කම් 3ක් දිනාගත්තා. එලෙස පිටියේ ඉසව්වලින් ඇමරිකාව පසුබසින විට ජුලියස් යෙගෝ කෙන්යාව වෙනුවෙන් තීරණාත්මක රන් පදක්කමක් හිමිකර දුන්නේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්. එය තරගාවලි ඉතිහාසය තුළ කෙන්යානු ක්‍රීඩකයෙකු පිටියේ ඉසව්වකින් හිමිකර ගත් මුල්ම මෙන්ම එකම රන් පදක්කම ලෙසින් ඉතිහාසගත වුණා. 

ජුලියස් යෙගෝ (gettyimages)

කෙන්යාව පෙරළියක් කරමින් ශූරතාවය දිනාගනියි 

එලෙස ඇමරිකානුවන් පිටියේ ඉසව්වලින් පසුබෑමකට ලක් වුණත් ඇෂ්ටන් ඊට්න් දශප්‍රයාම ඉසව්වෙන් පිට පිටම දෙවන වරටත් රන් පදක්කමක් දිනාගැනීමට සමත් වුණා. නමුත්, එම රන් පදක්කම තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ඇමරිකාවට ප්‍රමාණවත් වුණේ නැහැ. එම නිසාම ඇමරිකාව රන් පදක්කම් 6ක් දිනාගන්නා විට කෙන්යාව සහ ජැමයිකාව රන් පදක්කම් 7 බැගින් දිනාගෙන තිබුණා. නමුත් කෙන්යාව ඔවුන්ට එරෙහිව කරට කර සටනක් ලබාදුන් ජැමයිකාවට වඩා වැඩි රිදී පදක්කම් ප්‍රමාණයක් හිමිකර ගෙන තිබුණා. ඒ අනුව කෙන්යානුවන් සමස්ත මලල ක්‍රීඩා ලොවම මවිත කරමින් 2015 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාවය දිනාගනු ලැබුවා. පහත දැක්වෙන්නේ පදක්කම් සටහනේ ඉදිරියෙන්ම සිටි රටවල් 5 පදක්කම් ලබාගත් ආකාරය යි.

1) කෙන්යාව- (රන්- 7, රිදී- 6, ලෝකඩ- 3)

2) ජැමයිකාව- (රන්- 7, රිදී- 2, ලෝකඩ- 3)

3) ඇමරිකාව- (රන්-6, රිදී- 6, ලෝකඩ- 6)

4) මහා බ්‍රිතාන්‍ය- (රන්- 4, රිදී- 1, ලෝකඩ- 2)

5) ඉතියෝපියාව- (රන්- 3, රිදී- 3, ලෝකඩ- 2)

කවරයේ ඡායාරූපය- මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ පදක්කම් 3ම කෙන්යාවට (gettyimages)

Related Articles