Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිවර්පූල් කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු සටනේ පෙරමුණට

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය නිසා එංගලන්ත පාපන්දු පිටිය උණුසුම් වී තිබෙනවා. තරග වට 38කින් සමන්විත තරගාවලියේ තරග වට 21ක් අවසන් වන විට ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම පෙරමුණ ගෙන සිටින්නේ පසුගිය වර ශූරතාවය දිනාගත් මැංචෙස්ටර් සිටි කණ්ඩායම තෙවන ස්ථානයට ඇද දමමින්. 

ලිවර්පූල් කණ්ඩායම ප්‍රසාද ලකුණු 58ක් ලබාගෙන පෙරමුණේ පසුවෙයි 

මෙවර එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින ලිවර්පූල් කණ්ඩායම කිසිදු තරගයක් පරාජය නොවී ප්‍රසාද ලකුණු 58ක් ලබාගෙන සිටින්නේ තරග 20කට පමණක් මුහුණදෙමින්. එහි දී ඔවුන් තරග 19ක් ජයග්‍රහණය කරන විට, ජය පැරදුමෙන් තොරව අවසන් කරගත්තේ මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව පැවති තරගය පමණ යි. එලෙස ලිවර්පූල් කණ්ඩායමට සාර්ථකත්වය කරා යාමට සාඩියෝ මානේ සහ මොහොමඩ් සලා යන ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලබාගත් ගෝල වඩාත් උපකාරී වුණා. ඊට අමතරව ඇලෙක්සැන්ඩර් ආනෝල්ඩ්, වර්ජිල් වෑන් ඩයික් සහ ඇන්ඩෘ රොබට්සන් වැනි ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් දැක්වූ සුපිරි දස්කම් ලිවර්පූල් කණ්ඩායමට විශාල ශක්තියක් වුණා. 1989/1990 තරග වාරයෙන් පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු කුසලානය හිමිකර ගෙන නොමැති ලිවර්පූල් කණ්ඩායමට මෙවර එය ලබාගැනීමට හොඳම අවස්ථාවක් ලැබී ඇති බව මෙහි දී සිහිපත් කළ යුතු යි.

ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා සිටින මානේ (gettyimages)

ලෙස්ටෂයර් කණ්ඩායම කලකට පසුව දස්කම් අතරට 

2015/2016 තරගවාරයේ එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාවය දිනාගත්තේ ලෙස්ටර්ෂයර් කණ්ඩායම යි. එදා සියල්ලන්ම මවිත කරමින් ශූරතාවය දිනාගත් ලෙස්ටර්ෂයර් ක්‍රීඩකයන්, ඉන්පසුව පැවති තරග වාරවල දී දස්කම් අතරට පැමිණියේ නැහැ. නමුත්, දිගු කලකට පසුව යළි දස්කම් අතරට පැමිණ සිටින ලෙස්ටෂයර් කණ්ඩායම මෙවර ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රබල කණ්ඩායම් කිහිපයක් අබිබවා යමින්. එලෙස ලෙස්ටෂයර් කණ්ඩායමට තරගාවලිය තුළ වඩාත් සාර්ථක වීමට හැකිව තිබෙන්නේ ජැමී වාර්ඩි සහ අයෝස් පෙරේස් යන ඉදිරිපෙළ ක්‍රීඩකයන් යුගලය දැක්වූ සුපිරි දස්කම් නිසා යි. එසේම මෙවර තරගවාරයේ දී ලෙස්ටෂයර් කණ්ඩායම අමතක නොවන ජයග්‍රහණය වාර්තා කළේ සදම්ප්ටන් කණ්ඩායමට එරෙහිව යි. එහි දී ඔවුන් ගෝල 9-0 ලෙසින් ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදුන්නේ ත්‍රිත්ව ගෝල වාර්තා කළ වාර්ඩි සහ පෙරේස් යන ක්‍රීඩකයන් දෙදෙනා යි. එලෙස ලෙස්ටෂයර් කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය 1995 වසරෙන් පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගයක දී වාර්තා වුණු විශාලතම ජයග්‍රහණය බවට පත් වුණා. එසේම එය තරගාවලි ඉතිහාසයේ යම් කණ්ඩායමක් ප්‍රතිවාදී පිටියක දී ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක් වුණා.

ලෙස්ටෂයර් කණ්ඩායමේ ගෝල මැෂිම වාර්ඩි (gettyimages)

මැංචෙස්ටර් සිටි කණ්ඩායම ප්‍රබල පසුබෑමක 

පසුගිය තරග වාර 2 දී ම එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාවය දිනාගත් මැංචෙස්ටර් සිටි කණ්ඩායම මෙවර ප්‍රබල පසුබෑමක් පෙන්නුම් කරනවා. එහි දී මැංචෙස්ටර් සිටි කණ්ඩායම ජයග්‍රහණ 14ක් සමගින් ප්‍රසාද ලකුණු 44ක් ලබා සිටින්නේ ලිවර්පූල් සහ ලෙස්ටෂයර් කණ්ඩායම්වලට පසුපසින් සිටිමින්. එලෙස මැංචෙස්ටර් සිටි කණ්ඩායම පසුබෑමකට ලක්වීමට හේතු වුණේ, ඔවුන් නෝවිච් සිටි සහ වොල්වර්හැම්ප්ටන් වොන්ඩර්ස් යන  කණ්ඩායම් හමුවේ පරාජය වීම නිසා යි. මෙවර තරග වාරයේ දී මැංචෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කර තිබෙන්නේ රහීම් ස්ටර්ලිං සහ සර්ජියෝ ඇගියුරෝ යන සුපිරි තරු දෙක යි. ඊට අමතරව මැංචෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ කෙවින් ඩි බෘයින් ගෝල් ලබාගැනීම් 12කට සහාය දී තිබෙන්නේ සිය කණ්ඩායමට විශාල සවියක් වෙමින්.

රහීම් ස්ටර්ලිං (gettyimages)

ෂෙෆීල්ඩ් යුනයිටඩ් මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත් වෙයි 

වසර 13කට පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ෂෙෆීල්ඩ් යුනයිටඩ් කණ්ඩායම ලකුණු 29ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රබල කණ්ඩායම්වලට අභියෝග කරමින්. මෙම තරගාවලියේ දී කිසිවෙකු නොසිතූ අයුරින් දස්කම් දැක්වූ ෂෙෆීල්ඩ් යුනයිටඩ් ක්‍රීඩකයන් ආසනල්, චෙල්සි, මැංචෙස්ටර් යුනයිටඩ්, සහ ටොටෙන්හැම් හොට්ස්පර් වැනි ප්‍රබල කණ්ඩායම් සමග කරට කර සටනක නිරත වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. 

ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් පහ 

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන ලිවර්පූල්, ලෙස්ටෂයර් සහ මැංචෙස්ටර් සිටි යන කණ්ඩායම් 3 හිමිකර ගන්නා විට ඔවුන්ට අභියෝගයක් වී ඇත්තේ චෙල්සි සහ මැංචෙස්ටර් යුනයිටඩ් යන ප්‍රබල කණ්ඩායම් දෙක යි. එසේ නම්, පහත දැක්වෙන්නේ තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් පහ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු ලබාගෙන තිබෙන ආකාරය යි. 

ලිවර්පූල්

තරග- 20, ජයග්‍රහණ- 19, ජය පැරදුමෙන් තොර- 1, පරාජ- 0, ප්‍රසාද ලකුණු- 58

ලෙස්ටෂයර් 

තරග- 21, ජයග්‍රහණ- 14, ජය පැරදුමෙන් තොර- 3, පරාජ- 4, ප්‍රසාද ලකුණු- 45

මැංචෙස්ටර් සිටි 

තරග- 21, ජයග්‍රහණ- 14, ජය පැරදුමෙන් තොර- 2, පරාජ- 5, ප්‍රසාද ලකුණු- 44

චෙල්සි 

තරග- 21, ජයග්‍රහණ- 11, ජය පැරදුමෙන් තොර- 3, පරාජ- 7, ප්‍රසාද ලකුණු- 36

මැංචෙස්ටර් යුනයිටඩ් 

තරග- 21, ජයග්‍රහණ- 8, ජය පැරදුමෙන් තොර- 7, පරාජ- 6, ප්‍රසාද ලකුණු- 31

වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයන්

මේ වන විට තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා තිබෙන්නේ ලෙස්ටෂයර් කණ්ඩායමේ ජැමී වාර්ඩි නම් ක්‍රීඩකයා යි. ඔහු ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු අබිබවා යමින් මෙම දස්කම දක්වා තිබීම සුවිශේෂී සිදුවීමක් වනවා.   

ජැමී වාර්ඩි (ලෙස්ටෂයර්)- ගෝල 17

පියරේ අයුබ්මේයෑන්ග් (ආසනල්)- ගෝල 13

ඩැනී ඉන්ග්ස් (සදම්ප්ටන්)- ගෝල 13

ටැමී ඒබ්‍රහම් (චෙල්සි)- ගෝල 12

මාකස් රෂ්ෆෝඩ් (මැංචෙස්ටර් යුනයිටඩ්)- ගෝල 12

හැරී කේන් (ටොටෙන්හැම් හොට්ස්පර්)- ගෝල 11

සාඩියෝ මානේ (ලිවර්පූල්)- ගෝල 11

රහීම් ස්ටර්ලිං (මැංචෙස්ටර් සිටි)- ගෝල 11

සර්ජියෝ ඇගියුරෝ (මැංචෙස්ටර් සිටි)- ගෝල 10

මොහොමඩ් සලා (ලිවර්පූල්)- ගෝල 10 

කවරයේ ඡායාරූපය- ලිවර්පූල් ක්‍රීඩකයන් තරගයක් අතරතුර (gettyimages)

Related Articles