Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්ටෝක්ස්ගේ ඉනිම එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් වාර්තා අලුත් කරයි

මේ දිනවල ටෙස්ට් ක්‍රිකට් පිටිය උණුසුම් වී ඇත්තේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නිසා යි. එම තරගාවලිය යටතේ පැවැත්වුණු තෙවන ටෙස්ට් තරගය හෙඩිංග්ලි පිටියේ දී නිමාවට පත්වුණේ වසර 90ක් පැරණි එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් අලුත් කරමින්. එහිදී නියත වශයෙන්ම එංගලන්තය පරාජයට පත්වීමට ගිය තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 135ක් ලබාගත්තේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දක්නට ලැබුණු සුපිරිම ඉනිමක් ක්‍රීඩා කරමින්. 

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ලකුණු හඹායෑම මෙයයි 

1928/29 අළුබඳුන තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ මෙල්බර්න් පිටියේ දී යි. එහිදී ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සිය මංගල ටෙස්ට් ශතකය ලෙසින් ලබාගත් ලකුණු 112 නිසා එංගලන්තයට එල්ල වුණු ජයග්‍රාහී ඉලක්කය ලකුණු 332ක්. එදා එංගලන්ත ආරම්භක පිතිකරු හර්බට් සට්ක්ලිෆ් ලබාගත් අගනා ලකුණු 135 නිසා එංගලන්තයට කඩුලු 7ක් දැවී තිබිය දී තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට හැකිවුණා. එලෙස එංගලන්තය හඹාගිය ලකුණු 332 මේ දක්වාම ඔවුන් ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේ දී හඹාගිය ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා වුණා. නමුත් මෙම තරගයේ දී එම වාර්තාව අලුත්කළ එංගලන්තය හඹාගියේ ලකුණු 359ක දැවැන්ත ඉලක්කයක්. එහිදී එංගලන්තය වෙනුවෙන් මනරම් ඉනිමක් ක්‍රීඩාකළ බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 135ක් ලබාගත්තේ ජයග්‍රහණයේ නියමුවා වෙමින්.

හර්බට් සට්ක්ලිෆ් (gettyimages)

මෙම ජයග්‍රහණය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹායෑම් 10 අතරට එක්වුණා 

ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේ දී ලකුණු 350ට වැඩි ඉලක්කයක් හඹායෑම එතරම්ම පහසු කාර්යයක් නොවේ. එම නිසාම එංගලන්තය ලබාගත් මෙම ජයග්‍රහණය ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්නට ලැබුණු හොඳම හඹායෑම් 10 අතරට ඇතුළත් වනවා. 

1) බටහිර ඉන්දීය කොදෙව් – 418/7 ඕස්ට්‍රේලියාවට එරෙහිව 2003 වසරේ දී 

2) දකුණු අප්‍රිකාව – 414/4 ඕස්ට්‍රේලියාවට එරෙහිව 2008 වසරේ දී 

3) ඉන්දියාව – 406/4 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 1976 වසරේ දී 

4) ඕස්ට්‍රේලියාව – 404/3 එංගලන්තයට එරෙහිව 1948 වසරේ දී 

5) ශ්‍රී ලංකාව – 391/6 සිම්බාබ්වේට එරෙහිව 2017 වසරේ දී 

6) ඉන්දියාව – 387/4 එංගලන්තයට එරෙහිව 2008 වසරේ දී 

7) පාකිස්ථානය – 382/3 ශ්‍රී ලංකාවට එරෙහිව 2015 වසරේ දී 

8) ඕස්ට්‍රේලියාව – 369/6 පාකිස්ථානයට එරෙහිව 1999 වසරේ දී 

9) ඕස්ට්‍රේලියාව – 362/7 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 1978 වසරේ දී 

10) එංගලන්තය – 362/9 ඕස්ට්‍රේලියාවට එරෙහිව 2019 වසරේ දී 

බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 418ක් හඹාගිය අවස්ථාව (gettyimages)

කඩුලු 9ක් දැවී ටෙස්ට් තරගයක හඹාගිය ඉහළම ලකුණු ප්‍රමාණය මෙය යි

ටෙස්ට් තරගයක කඩුලු 9ක් දැවී ලකුණු 300කට වැඩි ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ඇත්තේ අවස්ථා 5ක දී පමණ යි. එම නිසාම මෙම ජයග්‍රහණය ඉතාමත් විශිෂ්ඨ ටෙස්ට් ජයග්‍රහණයක් ලෙසින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට එක්වනවා.

1) එංගලන්තය – 362/9 ඕස්ට්‍රේලියාවට එරෙහිව 2019 වසරේ දී 

2) ශ්‍රී ලංකාව – 352/9 දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 වසරේ දී 

3) පාකිස්ථානය – 315/9 ඕස්ට්‍රේලියාවට එරෙහිව 1994 වසරේ දී 

4) බටහිර ඉන්දීය කොදෙව් – 311/9 ඕස්ට්‍රේලියාවට එරෙහිව 1999 වසරේ දී 

5) ශ්‍රී ලංකාව – 304/9 දකුණු අප්‍රිකාවට එරෙහිව 2019 වසරේ දී 

ශ්‍රී ලංකාව ලකුණු 352ක් හඹාගිය අවස්ථාව (gettyimages)

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 1ක ජයග්‍රහණයවල දී දක්නට ලැබුණු සුපිරි ඉනිම් 

ටෙස්ට් තරගයක් කඩුලු 1කින් ජයග්‍රහණය කළ ඇතැම් අවස්ථාවල දී සුපිරි ඉනිම් කිහිපයක් හමුවනවා. එහිදී  පාකිස්ථානු පිතිකරු ඉන්සාමාම් උල් හක් එවැනි අවස්ථාවන් දෙකකට දායක වී තිබෙනවා.

කුසල් පෙරේරා – 153* දකුණු අප්‍රිකාවට එරෙහිව 2019 වසරේ දී 

2019 වසරේ දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කිංග්ස්මීඩ් පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණා. එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 226/9 බවට පත්වුණේ පරාජය අසලටම යමින්. නමුත් එම අවස්ථාවේ දී ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි කුසල් පෙරේරා හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 153ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයමින්. එහිදී කුසල්ට අගනා සහයක් ලබාදුන් විශ්ව ප්‍රනාන්දු පන්දු 27ක් තුළ ලකුණු 6ක් ලබාගනිමින් සිය කඩුල්ල ආරක්ෂා කරගත්තා.

කුසල් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (gettyimages)

බෙන් ස්ටෝක්ස් – 135* ඕස්ට්‍රේලියාවට එරෙහිව 2019 වසරේ දී 

2019 අළුබඳුන තරගාවලියේ තෙවන තරගය හෙඩිංලි පිටියේ දී පැවැත්වුණා. එහිදී එංගලන්තයට ලකුණු 359ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් ලැබුණා. නමුත් එංගලන්ත ලකුණු පුවරුවේ ලකුණු 286 සටහන් වන විට 9 වැනි කඩුල්ලත් දැවීගියේ ඕස්ට්‍රේලියානුවන්ට තරගයේ වාසිය ලබාදෙමින්. එලෙස එංගලන්ත කණ්ඩායම නියත පරාජයක් ලැබීමට ගිය අවස්ථාවේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ ස්ටෝක්ස් අවසන් පිතිකරු ජැක් ලීච් අනිත් අන්තයේ රඳවාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහිදී ලීච් පන්දු 17කින් ලකුණු 1ක් ලබාගන්නා විට ස්ටෝක්ස් හයේ පහර 8ක් සමගින් අගනා ලකුණු 135ක් ලබාගත්තේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින්.

ස්ටෝක්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

බ්‍රයන් ලාරා – 153* ඕස්ට්‍රේලියාවට එරෙහිව 1999 වසරේ දී 

1999 වසරේ දී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති ෆ්රෑන්ක් වොරල් ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය බ්‍රිජ්ටවුන් හි දී පැවැත්වුණා. එම තරගයේ සිව්වන ඉනිමේ දී කොදෙව්වන්ට ලකුණු 308ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා. එම ඉලක්කය හඹාගිය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 248ක් තුළ බිඳවැටුණා. එම අසීරු අවස්ථාවේ දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ බ්‍රයන් ලාරා නොදැවී ලකුණු 153ක් ලබාගත්තේ සිය කණ්ඩායමට කඩුලු 1ක තියුණු ජයක් ලබාදෙමින්.

ලාරාගේ විශිෂ්ඨ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන්සාමාම් උල් හක් – 58* ඕස්ට්‍රේලියාවට එරෙහිව 1994 වසරේ දී 

1994 වසරේ දී පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර කරච්චි පිටියේ පැවති තරගයේ දී පාකිස්ථානයට හඹායාමට සිදුවුණේ ලකුණු 314ක දැවැන්ත ඉලක්කයක්. එම ඉලක්කය හඹාගිය පාකිස්ථානු කණ්ඩායමේ 9 වැනි කඩුල්ල ලකුණු 258ක් වන විට දැවීගියේ ෂේන් වෝන්ගේ මනරම් පන්දු යැවීම නිසා යි. නමුත් ඉන් නොසැලුණු ඉන්සාමාම් නොදැවී 58ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ අවසන් පිතිකරු මුෂ්ටාක් අහමඩ් සමග ගොඩනැගූ අගනා ලකුණු 57ක සබඳතාවය නිසා යි. එහිදී සිය පිත්තෙන් උපරිම දායකත්වය ලබාදුන් අහමඩ් ලකුණු 20ක් ලබාගත්තේ ඉන්සාමාම්ට විශාල සහායක් වෙමින්. 

පාකිස්ථානය තරගය ජයග්‍රහණය කළ අවස්ථාව (gettyimages)

ඉන්සාමාම් උල් හක් – 138* බංග්ලාදේශයට එරෙහිව 2003 වසරේ දී 

2003 වසරේ දී බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර මුල්තාන් හි පැවති ටෙස්ට් තරගයේ දී පාකිස්ථානයට ලැබුණු ඉලක්කය 261ක්. එදා එම ඉලක්කය හඹාගිය පාකිස්ථානු කණ්ඩායමේ කඩුලු 8ක් ලකුණු 205කට දැවීගියා. නමුත් එම අවස්ථාවේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ඉන්සාමාම් නොදැවී ලකුණු 138ක් ලබාගත්තේ සිය කණ්ඩායමට කඩුලු 1ක තියුණු ජයක් උරුමකර දෙමින්. එහිදී ඉන්සාමාම් සිය උපන්බිම වුණු මුල්තාන්හි දී මෙම දස්කම දැක්වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ඉන්සාමාම්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

වන්ගිපුරප්පු ලක්ෂ්මන් – 73* ඕස්ට්‍රේලියාවට එරෙහිව 2010 වසරේ දී 

2010 වසරේ දී ඕස්ට්‍රේලියාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ පළමු  තරගය මොහාලි නුවර දී පැවැත්වුණා. එම තරගයේ සිව්වන ඉනිමේ දී ඉන්දියානුවන්ට ලකුණු 216ක ඉලක්කයක් හිමිවුණා. එම ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 124ක් තුළ බිඳවැටුණා. එම අසීරු අවස්ථාවේ දී දක්ෂ ඉනිමක් ක්‍රීඩාකළ ලක්ෂ්මන් නොදැවී ලකුණු 73ක් ලබාගත්තේ සිය කණ්ඩායමට කඩුලු 1ක තියුණු ජයක් ලබාදෙමින්.

ලක්ෂ්මන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කවරයේ ඡායාරූපය - බෙන් ස්ටෝක්ස් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව  (gettyimages)

Related Articles