Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන බංගලාදේශ කණ්ඩායම

පසුගිය වසර කිහිපය පුරාවටම එක්දින පිටියේ පෙරළිකාර දස්කම් දක්වමින් ඉදිරියට පැමිණි කණ්ඩායමක් ලෙසින් බංගලාදේශ කණ්ඩායමට හැඳින්වීමට පුළුවන්. ටමීම්, ශකීබ්, මුෂ්ෆිකර්, සහ මොර්ටාසා යන අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් සිව්දෙනාගෙන් සවිමත් වන බංගලාදේශ කණ්ඩායම අවසන් වරට පැවති ලෝක කුසලාන තරගාවලියේ දීත් පෙරළිකාර දස්කම් දක්වමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණියා. එම නිසාම මෙවර ලෝක කුසලානය සඳහා පැමිණෙන කණ්ඩායම් අතුරින්, ඔවුන් තරගාවලිය තුළ පෙරළියක් කිරීමට තිබෙන කණ්ඩායමක් බව විචාරකයන්ගේ මතය යි.

බංගලිදේශය ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

1999 වසරේ සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් සඳහාම සහභාගි වුණු බංගලාදේශ  කණ්ඩායම 2011 ලෝක කුසලාන තරගාවලියේ දී සත්කාරක රටක් ලෙසින් කටයුතු කළා. 1999 සිට මේ දක්වා පැවති තරගාවලි 5 තුළ තරග 32කට මුහුණදුන් බංගලාදේශ කණ්ඩායම, ඉන් තරග 11ක් ජයග්‍රහණය කරන විට 20ක් පරාජයට පත්වුණා.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

බංග්ලාදේශ කණ්ඩායම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය වන්නේ 2007 තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීම සහ 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම යි.

2007 තරගාවලියේ දී ඉන්දීයාව පරාජය කළ අවස්ථාව (gettyimages)

තරගාවලි ඉතිහාසයේ බංගලිදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශකීබ් අල් හසන් විසිනුයි. 2007-2015 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ඔහු ඉනිම් 21ක දී අර්ධ ශතක 5ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 540ක්. 30.00ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් ශකීබ්, තරගාවලි ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩා කළේ 2015 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථාන්  කණ්ඩායමට එරෙහිව ලකුණු 63ක් ලබාගනිමින්.

ශකීබ් 2015 තරගාවලියේ දී  ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දුවට පහරදෙමින්  (gettyimages)

තරගාවලි ඉතිහාසයේ බංගලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා  

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ බංගලිදේශය වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ශකීබ් අල් හසන් 2007-2015 කාල සීමාව තුළ පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ලබාගත් කඩුලු ප්‍රමාණය 23ක්. 2015 තරගාවලියේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 55කට කඩුලු 4ක් දවාගනිමින් ශකීබ් තරගාවලි ඉතිහාසය තුළ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ශකීබ් 2015 තරගාවලියේ දී නවසීලන්තයට එරෙහිව පන්දු යවමින්  (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා බංගලිදේශය එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසරේ සිට මේ දක්වා එක්දින තරග 27කට සහභාගි වී ඇති බංගලාදේශ කණ්ඩායම ඉන් තරග 17ක් ජයග්‍රහණය කරන විට පරාජය වුණු තරග ප්‍රමාණය 10ක්. එහිදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2-1ක් ලෙසින් තරගාවලි 2ක් ජයග්‍රහණය කළ බංගලිදේශ කණ්ඩායම, සිම්බාබ්වේ හමුවේ පැවති එක්දින තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළා. ඊට අමතරව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ බංගලිදේශය, ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති අයර්ලන්ත තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළා. එලෙස එක්දින තරගාවලි ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම නවසීලන්තය සමග පැවති එක්දින තරගාවලියේ දී 3-0ක දරුණු පරාජයක් ලැබුවා.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු බංගලාදේශ  පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී  මුෂ්ෆිකර් රහීම්, ටමීම් ඉක්බාල්, සහ ශකීබ් අල් හසන් බංගලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් තිදෙනා යි.

මුෂ්ෆිකර් ලකුණු 144ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු බංගලාදේශ පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී මුස්ටෆිසර් රහමාන්, මෂ්රෆී මොර්ටාසා, සහ රුබෙල් හුසේන් බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන තිබෙනවා.

මුස්ටෆිසර් රහමාන්  (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගි වන බංගලාදේශ සංචිතය

මෂ්රෆී මොර්ටාසා (නායක)

ටමීම් ඉක්බාල්

සෞම්‍ය සර්කාර්

සබ්බිර් රහමාන්

ලිටන් දාස්

මුෂ්ෆිකර් රහීම්

මොහොමඩ් මිතුන්

ශකීබ් අල් හසන්

මහමදුල්ලා රියාද්

මොසඩෙක් හුසේන්

මෙහෙදි හසන් මිරාස්

මුස්ටෆිසර් රහමන්

රුබෙල් හුසේන්

මොහොමඩ් සයිෆුඩීන්

අබූ ජායෙඩ්  

මෙවර බංගලිදේශයේ ලෝක කුසලාන ගමන

මෙවර තරගාවලියේ දී බංගලාදේශ කණ්ඩායම සාර්ථක වීමට නම් ප්‍රබල කණ්ඩායම් සමග තරග කිරීමේ දී පීඩනය දරා ගැනීමට ඔවුන්ට හැකි විය යුතු යි. පසුගිය කාල සමය තුළ බංගලාදේශ කණ්ඩායම තීරණාත්මක තරගවල දී පරාජය වුණු බොහෝ අවස්ථාවල, අවශ්‍යම මොහොතේ තරගයේ පාලනය ඔවුන් අතින් ගිලිහී ගියා. එම නිසාම මෙවර තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට නම් ඔවුන් සියලු අඩුපාඩු සකස් කරගනිමින් තරගාවලිය සඳහා අවතීර්ණ විය යුතු යි.

කවරයේ ඡායාරූපය- බංග්ලාදේශ කණ්ඩායම එක්දින තරගයක් අතරතුර (tigercricket.com.bd)

Related Articles