Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටහිර ඉන්දීය කොදෙව්-එංගලන්ත තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටියේ දී පැවැත්වෙන්නේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර යි. වසර 40කින් ලෝක කුසලාන තරගයක දී එංගලන්තය හමුවේ ජයග්‍රහණයක් ලබා නොමැති කොදෙව්වන්, මෙවර සටන් බිමට පිවිසෙන්නේ එම පැතුම ඉටුකර ගැනීමට යි. නමුත් සත්කාරක එංගලන්ත කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා එක්ව තිබෙන ප්‍රබලම කණ්ඩායමක් නිසා කොදෙව්වන්ට එම පැතුම ඉටුකර ගැනීමට ප්‍රබල සටනක් ලබාදීමට සිදුවනු ඇති. එම නිසාම ඉතාමත් උද්වේගකර තරගයක් වීමට ඉඩ තිබෙන මෙම තරගය පිළිබඳව මෙම පෙර විමසුම කියවා බලමු.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කොදෙව්-එංගලන්ත ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී 6 වරක් එකිනෙකා හමුවී තිබෙනවා. එහිදී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණ 5ක් ලබාගන්නා විට කොදෙව්වන්ට ජයග්‍රහණය කිරීමට ලැබුණේ එක් අවස්ථාවක දී පමණ යි.

මෙම කණ්ඩායම් 2ක මුලින්ම ලෝක කුසලාන තරගයක දී මුණගැසුණේ 1979 තරගාවලියේ අවසන් තරගයේ දී යි. කොදෙව් කණ්ඩායම සත්කාරක එංගලන්තය පරදවා එම තරගය ජයග්‍රහණය කළේ විවියන් රිචඩ්ස් ලබාගත් ලකුණු 138 සහ ජොයෙල් ගානර් ලබාගත් කඩුලු 5 නිසා යි.

බටහිර ඉන්දීය කොදෙව්- 286/9 (60)

එංගලන්තය- 194/10 (51)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 92ක ජයක්

රිචඩ්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

1987 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී මෙම කණ්ඩායම් 2ක දෙවරක් තරග වැදුණා. එහිදී එම තරග 2ම එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළේ ඇලන් ලෑම්බ් සහ ග්‍රැහැම් ගුච් ඉතාමත් හොඳින් ලකුණු රැස්කළ නිසා යි.

බටහිර ඉන්දීය කොදෙව්- 243/7 (50)

එංගලන්තය- 246/8 (49.3)

එංගලන්තයට කඩුලු 2ක ජයක්

එංගලන්තය- 269/5 (50)

බටහිර ඉන්දීය කොදෙව්- 235/10 (48.1)

එංගලන්තයට ලකුණු 34ක ජයක්  

ඇලන් ලෑම්බ් කොදෙව්වන්ට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක තරග වැදුණු අවස්ථාවේ එංගලන්ත කණ්ඩායමට පහසු ජයක් හිමිවුණේ කොදෙව් පිතිකරුවන් අසාර්ථක වුණු නිසා යි.

බටහිර ඉන්දීය කොදෙව්- 157/10 (49.2)

එංගලන්තය- 160/4 (39.5)

එංගලන්තයට කඩුලු 6ක ජයක්

1992 තරගාවලියේ එංගලන්ත-කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී කොදෙව් කණ්ඩායම පරදවා කඩුලු 1ක තියුණු ජයක් ලැබීමට එංගලන්තයට හැකිවුණේ කෙවින් පීටර්සන් ලබාගත් අගනා ශතකය නිසා යි.

බටහිර ඉන්දීය කොදෙව්- 300/10 (49.5)

එංගලන්තය- 301/9 (49.5)

එංගලන්තයට කඩුලු 1ක ජයක්

2007 තරගාවලියේ එංගලන්ත-කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2011 ලෝක කුසලාන තරගාවලියේ දී තරග වැදුණු අවස්ථාවේ ජයග්‍රහණය හිමිවුණේ එංගලන්ත කණ්ඩායමට යි. එහිදී කොදෙව්වන්ට පහසුවෙන්ම  ජයග්‍රහණය කිරීමට තිබුණු අවස්ථාව අහිමිව ගියේ ග්‍රැහැම් ස්වොන් සහ ජේම්ස් ට්‍රෙඩ්වෙල් විසින් සිදුකළ මනරම් දඟ පන්දු යැවීම නිසා යි.

2011 තරගාවලියේ එංගලන්ත-කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 10 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා තරග ප්‍රමාණය 6ක්. එම තරගවල දී පිතිකරුවන්ට වඩාත් උචිත අයුරින් හැසිරී ඇති මෙම තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දී ඇති කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අගය 325ක්. නමුත් මෙම ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ පැවති ඉන්දු-දකුණු අප්‍රිකා තරගයට ලබා දී තිබුණු තණතීරුව පිතිකරුවන්ට එතරම් යෝග්‍ය එකක් වුණේ නැහැ. නමුත් සත්කාරක එංගලන්ත කණ්ඩායම මෙම තරගය සඳහා ක්‍රීඩා කරන නිසා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලබාදීමට ඇති ඉඩ වැඩියි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා තරග 7න් 5ක් ජයග්‍රහණය කර තිබෙන්නේ කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම යි. එම නිසා මෙම තරගයේ තීරණය සඳහා කාසියේ වාසියෙන් කෙරෙන බලපෑම අඩු යි.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වරට මෙම පිටියේ දී පැවති දිවා තරග 7 දී කාසියේ වාසිය දිනූ කණ්ඩායම අවස්ථා 4ක දී මුලින්ම පන්දුවට පහර දී ඇති අතර, ඉතිරි අවස්ථාවන් 3 දී ප්‍රතිවාදී කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා.

රෝස් බෝල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

අවසන් වසර 10 තුළ එංගලන්තය රෝස් බෝල් පිටියේ දී පරාජය වී ඇත්තේ දිවා තරග 2ක් පමණ යි. එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම 2012 වසරේ දී තරග වැදුණු අවස්ථාවේ ජයග්‍රහණය හිමිවුණේ එංගලන්ත කණ්ඩායමට යි.

එංගලන්තය -288/6 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 172/10 (33.4)

එංගලන්ත කණ්ඩායමට ලකුණු 114ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

එංගලන්ත කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම රෝස් බෝල් පිටියේ දී තරග වදිමින් (gettyimages)

අද පැවැත්වෙන කොදෙව්-එංගලන්ත තරගය පිළිබඳව

අවසන් වරට 2019 වසරේ මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු එක්දින තරගාවලිය 2-2ක් ලෙසින් අවසන් වුණා. එවර තරගාවලියේ දී කොදෙව් කණ්ඩායම ප්‍රබල තරග රටාවක නිරත වුණත් මෙම තරගයේ වාසිය සත්කාරක එංගලන්ත කණ්ඩායමට හිමිවනවා. තරගාවලියේ ප්‍රබලම පිතිකරු ලැයිස්තුව සිටින රට බවට පත්ව සිටින එංගලන්තය පරාජය කිරීමට නම් කොදෙව් පන්දු යවන්නන්ට ප්‍රබල සටනක් ලබාදීමට සිදුවනු ඇති. නමුත් අවසන් වරට එංගලන්තය ට එරෙහිව පැවති එක්දින තරගාවලියේ දී ලකුණු 424ක් ලබාගත් ක්‍රිස් ගේල්, මෙම තරගයේ දීත් සුපුරුදු දස්කම් දැක්වුවොත් වසර 40කට පසුව එංගලන්තය හමුවේ ලෝක කුසලාන තරග ජයක් ලැබීමට කොදෙව්වන්ට අවස්ථාවක් උදාවනවා.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය-  Roar සිංහල

Related Articles