Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු-ඇෆ්ගනිස්ථාන් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 28 වැනි තරගය සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටියේ දී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර යි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින රටක් වන ඉන්දියාවට තරගාවලිය තුළ ඉදිරියට යාම සඳහා මෙම ජයග්‍රහණය වැදගත්. එසේම එංගලන්ත පිතිකරුවන් ඉදිරියේ අසරණ වුණු ඇෆ්ගනිස්ථානු කණ්ඩායමට මෙම තරගයේ දී ලැබෙන ප්‍රබලම අභියෝගය වන්නේ ඉන්දීය පිතිකරුවන් මර්ධනය කිරීම යි. නමුත් අවසන් වරට මෙම කණ්ඩායම් දෙක හමුවුණු එක්දින තරගය නිමාවුණේ ලකුණු සමවුණු තරගයක් ලෙසින්. එසේ නම් මෙම පෙර විමසුම ඉන්දු-ඇෆ්ගනිස්ථාන් තරගය පිළිබඳව යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දු-ඇෆ්ගනිස්ථාන්  ගැටුම්

2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලෝක කුසලාන තරගයක දී තවමත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව තරග වැදී නැහැ. එම නිසාම මෙම කණ්ඩායම් දෙක හමුවන මෙම තරගය කණ්ඩායම් දෙකටම සුවිශේෂී තරගයක් බවට පත්වනවා ඇති.

2015 ලෝක කුසලාන තරගාවලියේ දී තරග වැදුණු ඇෆ්ගනිස්ථානු කණ්ඩායම (gettyimages)

සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටිය පිළිබඳව දත්තයන්

මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර පසුගිය වසර 10 ඇතුළත රෝස් බෝල් පිටියේ පවත්වා ඇති දිවා තරග ප්‍රමාණය 6ක්. එම තරගවල දී පිතිකරුවන්ට වඩාත් උචිත අයුරින් හැසිරී ඇති මෙම තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දී ඇති කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අගය 325ක්. නමුත් මෙම ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ පැවති තරග 2 දීම මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායමට හොඳින් ලකුණු රැස් කිරීමට හැකිවුණේ නැහැ. එම නිසා මුලින්ම පන්දුවට පහරදෙන කණ්ඩායම යම් පීඩනයකට හසුවීමට ඉඩ තිබෙනවා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා තරග 8න් 6ක් ජයග්‍රහණය කර තිබෙන්නේ කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම යි. එම නිසා මෙම තරගයේ තීරණය සඳහා කාසියේ වාසියෙන් කෙරෙන බලපෑම අඩු යි.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වරට මෙම පිටියේ දී පැවති දිවා තරග 8 දී කාසියේ වාසිය දිනූ කණ්ඩායම අවස්ථා 4ක දී මුලින්ම පන්දුවට පහර දී ඇති අතර, ඉතිරි අවස්ථාවන් 4 දී ප්‍රතිවාදී කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා. නමුත් මෙම තරගාවලිය යටතේ රෝස් බෝල් පිටියේ දී පැවති තරග 2 දීම ජයග්‍රහණය කර තිබෙන්නේ දෙවනි වර පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසාම කාසියේ වාසිය දිනාගන්නා නායකයා මුලින්ම පන්දුවට පහරදීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩි යි.

රෝස් බෝල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ඇෆ්ගනිස්ථානය රෝස් බෝල් පිටියේ දී තරග කරන මුල්ම අවස්ථාව මෙය යි. නමුත් ඉන්දීය කණ්ඩායම රෝස් බෝල් පිටියේ දී දිවා තරග 2ක් ක්‍රීඩාකර තිබෙනවා. එහිදී එම තරග 2න්ම ජයග්‍රහණය කර තිබෙන්නේ ඉන්දීය කණ්ඩායම යි. එම ජයග්‍රහණ දෙක අතුරින් ඉන්දීය කණ්ඩායමට අමතක නොවන ජයග්‍රහණය වන්නේ 2019 ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්‍රහණය යි. එම තරගයේ දී රෝහිට් ෂර්මා ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ශතකයක් ලබාගනිමින්.

රෝහිට් ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පවත්වා ඇත්තේ එක්දින තරග 2ක් පමණයි

ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම එක්දින තරගවල දී හමුවී ඇත්තේ අවස්ථාවන් 2ක දී පමණ යි. 2014 සහ 2018 ආසියානු කුසලාන තරගාවලි යටතේ පැවැත්වුණු එම තරගවල දී වැඩි දස්කම් දක්වනු ලැබුවේ ඉන්දීය කණ්ඩායම යි. නමුත් 2018 වසරේ ආසියානු කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී ඇෆ්ගනිස්ථානු ආරම්භක පිතිකරු මොහොමඩ ෂසාඩ් ශතකයක් ලබාගත්තා. එහිදී ඔහු ලබාගත් එම ශතකය මෙම කණ්ඩායම් දෙක අතර පැවති එක්දින තරගයක දී වාර්තා වුණු එකම ශතකය යි.

2014 ආසියානු කුසලාන තරගාවලිය

ඇෆ්ගනිස්ථානය – 159/10 (45.2)

ඉන්දියාව – 160/2 (32.2)

ඉන්දියාවට කඩුලු 8ක ජයක්

2018 ආසියානු කුසලාන තරගාවලිය

ඇෆ්ගනිස්ථානය – 252/8 (50)

ඉන්දියාව – 252/10 (49.5)

තරගයේ ලකුණු සමවුණා

2014 ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දු-ඇෆ්ගනිස්ථාන් තරගයේ අවස්ථාවක්  (gettyimages)

අද පැවැත්වෙන ඉන්දු-ඇෆ්ගනිස්ථාන් තරගය පිළිබඳව

ඉන්දියානුවන් මෙම තරගාවලිය තුළ මේ දක්වා පැමිණ ඇති ගමන ඉතාමත් විශිෂ්ඨ යි. දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, සහ පාකිස්ථානය යන ප්‍රබල කණ්ඩායම් පරාජය කළ ඉන්දීය කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවන්නේ ජයග්‍රාහී මානසිකත්වයක පසුවෙමින්. නමුත් ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සහභාගි වුණු තරග 5ම පරාජයට පත්වුණේ දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින්. එම නිසාම මෙම තරගය ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකිවනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය-  Roar සිංහල

Related Articles