Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියා-නවසීලන්ත තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලිය කාගේත් අවධානය යොමුවන තවත් තරගයක් නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ නවසීලන්තය අතර යි. 2003 වසරෙන් පසුව ලෝක කුසලාන තරගයක දී මුණ ගැසීමට නියමිත මෙම කණ්ඩායම් 2ක අතර තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක් වීමට තිබෙන්නේ වැඩි ඉඩක්. බොහෝ විට අවසන් කණ්ඩායම් 4ට එකතු වීමට වැඩි ඉඩක් ඇති මෙම කණ්ඩායම් 2ක අතර තරගය පිළිබඳව ප්‍රේක්ෂක ඔබ උනන්දුවක් දක්වන නිසාම මෙම පෙර විමසුම ඔබ වෙත ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දු-නවසීලන්ත ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථාවන් 7ක දී තරග කර තිබෙනවා. එහි දී නවසීලන්ත කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 3ක් පමණ යි.

මුල්ම වරට මෙම කණ්ඩායම් 2ක ලෝක කුසලාන තරගයක දී මුණගැසුනේ 1975 වසරේ දී යි. එම තරගයේ දී නවසීලන්ත නායක ග්ලේන් ටර්නර් නොදැවී ලබාගත් ලකුණු 114 නිසා තරගයේ ජය හිමිවුණේ  නවසීලන්ත කණ්ඩායමට යි.

ඉන්දියාව- 230/10 (60)

නවසීලන්තය- 233/6 (58.5)

නවසීලන්තයට කඩුලු 4ක ජයක්

ග්ලේන් ටර්නර් පන්දුවට පහරදෙමින් (gettyimages)

නැවතත් 1979 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් 2ක හමුවුණු අවස්ථාවේ බෘස් එඩ්ගාර් ලබාගත් ලකුණු 84 නිසා නවසීලන්ත කණ්ඩායමට හිමිවුණේ පහසු ජයක්.

ඉන්දියාව- 182/10 (55.5)

නවසීලන්තය- 183/2 (57)

නවසීලන්තයට කඩුලු 8ක ජයක්

බෘස් එඩ්ගාර්  පන්දුවට පහරදෙමින් (gettyimages)

1987 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවල දී මෙම කණ්ඩායම් 2ක දෙවරක් තරග වැදුණා. එහිදී එම තරග 2ම ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායම යි. ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ එම තරග 2ක අතුරින් නාග්පූර් නුවර විදර්බා පිටියේ දී පැවති තරගය ලෝක කුසලාන ඉතිහාසයේ වැදගත් තරගයක් බවට පත්වුණා. ඒ ඉන්දීය පන්දු යවන්නෙකු වුණු චේතන් ෂර්මා ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය ලබාගැනීම නිසා යි. ඊට අමතරව එම තරගයේ දී සිදුවුණු අනිකුත් සුවිශේෂී සිදුවීම වුණේ සුනිල් ගවස්කාර් ඔහුගේ එක්දින දිවියේ එකම ශතකය වාර්තා කිරීම යි.

ඉන්දියාව- 252/7 (50)

නවසීලන්තය- 236/8 (57)

ඉන්දියාවට ලකුණු  16ක ජයක්

නවසීලන්තය- 221/9 (50)

ඉන්දියාව- 224/1 (32.1)

ඉන්දියාවට කඩුලු 9ක ජයක්

චේතන් ෂර්මා පන්දු යවමින් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ඉන්දු-නවසීලන්ත තරගයෙන් නවසීලන්තයට ජය හිමිවුණේ මාක් ග්‍රේට්බැච් ලබාගත් වේගවත් ලකුණු 73 නිසා යි.

ඉන්දියාව- 230/6 (50)

නවසීලන්තය- 231/6 (47.1)

නවසීලන්තයට කඩුලු 4ක ජයක්

මාක් ග්‍රේට්බැච් පන්දුවට පහරදෙමින් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 වටයේ තරගයක දී ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම තරග වැදුණා. එහිදී නවසීලන්ත කණ්ඩායම ඉන්දියාව හමුවේ ලබාගත් ජයග්‍රහණය නිසා ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

 1999 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක ලෝක කුසලාන තරගයක දී හමුවුණේ 2003 තරගාවලියේ සුපිරි 6 වටයේ තරගයක දී යි. එම තරගයේ දී සහීර් ඛාන් ලබාගත් කඩුලු 4 නිසා නවසීලන්ත කණ්ඩායමට අත්වුණේ දරුණු පරාජයක්.

නවසීලන්තය- 146/10 (45.1)

ඉන්දියාව- 150/3 (40.4)

ඉන්දියාවට කඩුලු 7ක ජයක්

2003 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටිය පිළිබඳව දත්තයන්

අවසන් වරට මෙම පිටියේ පැවති එංගලන්ත-පාකිස්ථානු තරගයේ දී මෙන් ම ඕස්ට්‍රේලියා-කොදෙව් තරගයේ දීත් පිතිකරුවන්ගේ දස්කම් කැපී පෙණුනා. නමුත් තරගය ආරම්භ කරන අවස්ථාව වන විට අහස වළාකුළුවලින් බරව තිබුණොත් පන්දුවට පහරදෙන කණ්ඩායම යම් පීඩනයකට හසුවීමට ඉඩ තිබෙනවා. පසුගිය ඕස්ට්‍රේලියානු -කොදෙව් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම ඉරණමට ගොදුරු වුණු ආකාරය දක්නට ලැබුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග 2 දීම තරගය ජයග්‍රහණය කළේ කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම යි. එම නිසා මෙම පිටියේ වාසිය තීරණාත්මක සාධකයක් වන්නේ නැහැ. නමුත් කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායමට කාලගුණික තත්වය අනුව යම් වාසියක් ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වසර 15 තුළ මෙම පිටියේ දී පැවති දිවා තරග 9න් 8ක දීම කාසියේ වාසිය දිනූ කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් තණ තීරුවේ විශේෂ වෙනස්කමක් සිදු නොවුණොත් එලෙසම කාසියේ වාසිය දිනාගත් නායකයා කටයුතු කිරීමට ඇති ඉඩ වැඩියි.

ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

අවසන් වසර 5 තුළ ඉන්දීය කණ්ඩායම මෙම පිටියේ පැවති දිවා තරග 2ක දී එංගලන්ත කණ්ඩායම හමුවේ ජයග්‍රහණයන් වාර්තා කර තිබෙනවා. එහිදී මෙම පිටියේ දී වාර්තා වුණු හොඳම පන්දු යැවීම කුල්දීප් යාදෙව්ගේ නම ඉදිරියේ ලියවුණේ ඔහු ලකුණු 25කට ලබාගත් කඩුලු 6 නිසා යි. අවසන් වසර 5 තුළ නවසීලන්ත කණ්ඩායම මෙම පිටියේ දිවා තරග සඳහා සහභාගි නොවුණත්, ඔවුන් සහභාගි වුණු දිවා/රාත්‍රී තරග 2ම පරාජයට පත්වීමත් මෙහිදී සිහිපත් කළ යුතු යි.

ඉන්දීය කණ්ඩායම ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී තරග වදිමින් (gettyimages)

අද පැවැත්වෙන ඉන්දු-නවසීලන්ත තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක එක්දින තරගාවලියක දී මුණගැසුනේ 2019 වසරේ දී යි. එම තරගාවලිය නවසීලන්ත කණ්ඩායම 4-1ක් ලෙසින් පරාජයට පත්වුණේ සිය මව්බිම තුළදීම යි. නමුත් ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවත්වුණු ඉන්දු-නවසීලන්ත පුහුණු තරගයේ ජය හිමිවුණේ නවසීලන්ත කණ්ඩායමට යි. මෙම තරගය සඳහා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් සකස් වුණොත් තරගයේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවීමට තිබෙන්නේ වැඩි ඉඩක්. නමුත් අද තරගය සඳහා වරින් වර වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඉඩ තිබෙන නිසා තරගයේ පන්දුවාර ප්‍රමාණය අඩු වීමට ඉඩ තිබෙනවා. එලෙස කෙටි තරගයක් මෙම කණ්ඩායම් 2ක අතර පැවතුණොත් එය ආකර්ෂණීය තරගයක් වනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles