Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු-පාකිස්ථාන් තරගයේ පෙර විමසුම

ඉන්දියාව සහ පාකිස්ථානය ක්‍රිකට් පිටියේ දී හමුවන සාම්ප්‍රදායික සතුරන් දෙදෙනෙක්. මෙම කණ්ඩායම් දෙක ලෝකයේ කොතැනක එක්දින තරගයක් ක්‍රීඩා කළත් එහි තිබෙන්නේ උද්වේගකර බවක්. එම නිසාම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සහ පාකිස්ථානය අතර මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැත්වෙන තරගය පිළිබඳව ප්‍රේක්ෂකයන් දක්වන්නේ පුදුම උනන්දුවක්. එලෙස උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන් මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන ඉතිහාසයේ තරග වැදී ඇති අන්දම සහ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටිය පිළිබඳව දත්තයන් දැනගැනීමට ප්‍රිය කරන නිසා මෙම පෙර විමසුම ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දු-පාකිස්ථාන්  ගැටුම්

මේ දක්වා පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිවල දී ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අවස්ථාව 6ක දී එකිනෙකා හමුවී තිබෙනවා. නමුත් එම තරග 6 දීම ජයග්‍රහණය හිමිවුණේ ඉන්දීය  කණ්ඩායමට යි. එම නිසාම මෙම තරගය සඳහා පාකිස්ථානු කණ්ඩායම අවතීර්ණ වන්නේ එක්දින ලෝක කුසලාන තරගයක දී ඉන්දීය කණ්ඩායම මුල්ම වරට පරාජය කිරීමේ අභිප්‍රාය ඇතිව යි.

1992 තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක මුල්ම වරට මුණගැසුණු අවස්ථාවේ ඉන්දීය කණ්ඩායමට හිමිවුණේ ලකුණු 43ක ජයක්. එම තරගයේ දී පාකිස්ථානු ක්‍රීඩක ජාවෙඩ් මියැන්ඩාඩ් සහ ඉන්දීය කඩුලු රකින්නෙකු වුණු කිරාන් මෝරේ අතර ඇතිවුණු ගැටුම ලෝක කුසලාන ඉතිහාසයේ දක්නට ලැබුණු රසවත් සිදුවීමක්.

ඉන්දියාව – 216/7 (49)

පාකිස්ථානය – 173/10 (48.1)

ඉන්දියාවට ලකුණු 43ක ජයක්

මියැන්ඩාඩ් සහ මෝරේ ගැටුණු අවස්ථාව (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලියේ 2 වැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව සහ පාකිස්ථානය තරග වැදුණා. එම තරගයේ දී නව්ජෝට් සිධූ ලබාගත් ලකුණු 93 සහ අජේ ජඩේජා පන්දු 25කින් ලබාගත් ලකුණු 45 නිසා ඉන්දීය ඉනිම දුටුවේ 287/8ක් ලෙසින්. ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථානු කණ්ඩායම හොඳ ආරම්භයක් ලබාගත්තත් ඔවුන්ට ලැබී තිබුණු පන්දුවාර 49 තුළ ලබාගැනීමට හැකිවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 248ක් පමණ යි. මෙම තරගය තුළ සිදුවුණු රසවත්ම සිදුවීම වුණේ වෙන්කටේෂ් ප්‍රසාද් සහ අමීර් සොහෙල් අතර ඇතිවුණු ගැටුම යි. එහිදී ප්‍රසාද්ගේ පන්දු හමුවේ පහසුවෙන් ලකුණු රැස්කළ සොහේල්, ප්‍රසාද්ට කළ සරදමට ඔහු  පිළිතුරු දුන්නේ සොහේල්ගේ කඩුල්ල දවාගනිමින්.

ඉන්දියාව – 287/8 (50)

පාකිස්ථානය – 248/9 (49)

ඉන්දියාවට ලකුණු 39ක ජයක්

අමිර් සොහේල් දැවීගිය අවස්ථාව (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 වටය යටතේ පැවති තරගයක දී ඉන්දියානු කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම හමුවුණේ, මෙවර තරගය පැවැත්වෙන ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දීම යි. එදා ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානු කණ්ඩායමට පරාජය උරුම වුණේ වෙන්කටේෂ් ප්‍රසාද් ලකුණු 27ක ට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි.

ඉන්දියාව – 227/6 (50)

පාකිස්ථානය – 180/10 (45.3)

ඉන්දියාවට ලකුණු 47ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක්  (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක හමුවුණු අවස්ථාවේ පාකිස්ථානය වෙනුවෙන් සයිඩ් අන්වර් ලකුණු 101ක් ලබාගත්තා. නමුත් අන්වර්ගේ එම ශතකය අපතේ ගියේ ටෙන්ඩුල්කාර් පන්දු 75කි න් ලකුණු 98ක් ලබාගෙන ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නිසා යි.

පාකිස්ථානය – 273/7 (50)

ඉන්දියාව – 276/4 (45.4)

ඉන්දියාවට කඩුලු 6ක ජයක්

2003 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක්  (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී නැවතත් මෙම කණ්ඩායම් දෙක උරෙනුර ගැටුණා. එහිදී පාකිස්ථානය වෙනුවෙන් වහාබ් රියාස් ලකුණු 46කට කඩුලු 5ක් ලබාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීමට සාධාරණයක් ඉටු නොවුණේ ඔවුන්ගේ පිතිකරුවන් අපේක්ෂිත දස්කම් නොදැක්වීම නිසා යි.

ඉන්දියාව – 260/6 (50)

පාකිස්ථානය – 231/10 (49.5)

ඉන්දියාවට ලකුණු 29ක ජයක්

2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-පාකිස්ථාන් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක්  (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක මුණ ගැසුණේ 2015 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී යි. එම තරගයේ දී පාකිස්ථානය වෙනුවෙන් සොහේල් ඛාන් ලකුණු 55කට කඩුලු 5ක් ලබාගත්තත් විරාට් කෝලි ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 107 නිසා ජය හිමිවුණේ ඉන්දියාවට යි.

ඉන්දියාව – 300/7 (50)

පාකිස්ථානය – 224/10 (47)

ඉන්දියාවට ලකුණු 76ක ජයක්

2015 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක්  (gettyimages)

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්  පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 10 තුළ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පවත්වා ඇත්තේ දිවා තරග 5ක් පමණ යි. එම තරග 5 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අගය 228ක් වීමෙන් පෙනීයන්නේ මෙම තණතීරුව පිතිකරුවන්ට එතරම්ම යෝග්‍ය නොවන එකක්  බව යි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 5  සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන ඉන්දු-පාකිස්ථාන් තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති අවසන් දිවා තරග 5 දී කාසියේ වාසිය දිනූ කණ්ඩායම අවස්ථාවන් 3ක දී මුලින්ම පන්දුවට පහරදීම තෝරාගෙන තිබෙනවා. නමුත් මෙම දිනවල එංගලන්තයේ පවතින කාලගුණික තත්ත්වයත් සමගින් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දු යැවීම තෝරාගැනීමට තිබෙන ඉඩ වැඩියි.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම කණ්ඩායම් දෙක 1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ දී තරග වැදුණු අවස්ථාවේ ජය හිමිවුණේ ඉන්දියාවට යි. එසේම ඉන්දීය කණ්ඩායම 1983 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත කණ්ඩායමත් පරාජය කළේ මෙම පිටියේ දී යි. නමුත් ඉන්දීය කණ්ඩායම 1979 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා හමුවේ පරාජය වෙමින් අපකීර්තියට පත්වීම නිසා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටිය ඉන්දියානුවන්ට අමතක නොවන තැනක්. පාකිස්ථානු කණ්ඩායමට ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටිය සුවිශේෂී ස්ථානයක් වන්නේ ඔවුන් 1999 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය නවසීලන්තයට එරෙහිව ජයග්‍රහණය කළේ මෙහි දී වීම යි.

අද පැවැත්වෙන ඉන්දු-පාකිස්ථාන් තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක 2018 ආසියානු කුසලාන තරගාවලියේ දී උරෙනුර ගැටුණු අවස්ථාවේ දී ජයග්‍රහණය හිමිවුණේ පාකිස්ථානු කණ්ඩායමට යි. නමුත් 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම පාකිස්ථානුවන් හමුවේ දරුණු පරාජයක් ලැබුවේ එංගලන්ත බිමේදී ම යි. මෙම තරගය ආරම්භ කරන විට ඉන්දීය කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් උද්ගත වී තිබුණත් පාකිස්ථානු කණ්ඩායම සුපුරුදු රිද්මයට පැමිණියහොත් ඔවුන්ව පරාජය කිරීම එතරම් පහසු නොවනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles