Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු අප්‍රිකා-ඇෆ්ගනිස්ථාන් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 21 වැනි තරගය කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් පිටියේ දී පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අතර යි. මේ වන විට ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන දෙකේ සිටින්නේ මෙම කණ්ඩායම් දෙක යි. එම නිසාම මෙම තරගය  කණ්ඩායම් 2ටම තීරණාත්මක එකක් වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට යාම සඳහා ලැබෙන හොඳ අවස්ථාවක් නිසා යි. එසේම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් හඳුන්වනු ලබන දකුණු අප්‍රිකානු කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්යෙන්ම ලබාගත යුතු යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකා-ඇෆ්ගනිස්ථාන් ගැටුම්

2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් ක්‍රීඩාකර ඇති ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලෝක කුසලාන තරගයක දී තවමත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව තරග වැදී නැහැ. එම නිසාම මෙම කණ්ඩායම් දෙක හමුවන මෙම තරගය කණ්ඩායම් දෙකටම සුවිශේෂී තරගයක් බවට පත්වනවා ඇති.

2015 ලෝක කුසලාන තරගාවලියේ දී තරග වැදුණු ඇෆ්ගනිස්ථානු කණ්ඩායම (gettyimages)

කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය කාල සමයේ සොෆියා ගාඩ්න්ස් පිටිය පිතිකරුවන්ට තරමක් හිතකර එකක් වුණා. නමුත් මෙම ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ දී පැවති මුල් තරග දෙක සඳහා ලබා දී තිබුණේ වේග පන්දු යවන්නන්ට හිතකර තණකොළ සහිත තණතීරුවක්. නමුත් අවසන් වරට මෙම පිටියේ පැවති එංගලන්ත-බංගලාදේශ තරගය සඳහා තණකොළ රහිත තණතීරුවක් ලබාදුන් නිසා කණ්ඩායම් දෙකේම පිතිකරුවන් ලකුණු අතරට පැමිණියා. නමුත් බොහෝ විට මෙම තරගය සඳහා පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් ලැබීමට ඇති ඉඩ වැඩියි. එලෙසම අද දිනයේ මෙම තරගයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා වීමටත් ඉඩ තිබෙනවා. අවසන් වරට මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු එක්දින තරග 10 තුළ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 271ක් බවට පත්ව තිබුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

සොෆියා ගාඩ්න්ස් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 6ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන දකුණු අප්‍රිකා-ඇෆ්ගනිස්ථාන් තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට, දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර ඇත. පසුගිය තරගවල දී කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම බොහෝ අවස්ථාවල මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කර ඇති නිසා මෙම තරගයේ දීත් එසේ වීම ඇති ඉඩ වැඩියි.

සොෆියා ගාඩ්න්ස්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට මෙම පිටියේ දී දිවා තරගයක් සඳහා සහභාගි වුණේ 2013 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී යි. එම තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව  පැවති තරගය පරාජය වුණු දකුණු අප්‍රිකානු කණ්ඩායම, කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයේ ලකුණු සම කරගත්තා. නමුත් ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම 2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ක්‍රීඩා කළේ මෙම පිටියේ දී යි. එම තරගය සඳහා ලබා දී තිබුණු තණකොළ සහිත තණතීරුවේ ඇෆ්ගනිස්ථාන් පිතිකරුවන් අසාර්ථක වීම නිසා ඔවුන්ට උරුම වුණේ ලකුණු 34ක පරාජයක්.

2013 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අප්‍රිකා-කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages)

අද පැවැත්වෙන දකුණු අප්‍රිකා-ඇෆ්ගනිස්ථාන් තරගය පිළිබඳව

මෙම කණ්ඩායම් දෙක එක්දින තරගයක දී මුල්ම වරට හමුවන්නේ මෙම තරගයේ දී යි. එම නිසා කණ්ඩායම් දෙකටම මෙය සුවිශේෂී තරගයක්. අද දිනය පුරාවටම කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න් පිටියට වර්ෂාව පතිත වීමට ඉඩ තිබෙන නිසා මෙම තරගය කෙටි තරගයක් වීමට තිබෙන ඉඩ වැඩියි. යම් ආකාරයකින් එවැනි තරගයක් පැවතුණොත් 20/20 පිටියේ දස්කම් දක්වන ඇෆ්ගනිස්ථානු කණ්ඩායමෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles