Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 7 වැනි තරගය කාඩිෆ් නුවර සොපියා ගාඩ්න්ස් පිටියේ දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර යි. කණ්ඩායම් 2ම ඔවුන් මුහුණදුන් පළමු තරගය පරාජයට පත්ව මෙම තරගයට පිවිසෙන්නේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. එම නිසාම ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන මෙම තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට  ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථානු  ගැටුම්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ දී එකිනෙකා හමුවී ඇත්තේ 2015 ලෝක කුසලාන තරගාවලියේ දී පමණ යි. එදා මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානු කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 128ක් ලබාගනිමින් ප්‍රබල ස්ථානයකට පත්ව සිටියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවමින් පන්දුවාර 49.4ක් තුළ ඇෆ්ගනිස්ථානු ඉනිම ලකුණු 232කට සීමා කළා. ඉන්පසුව ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 51ක් තුළ දැවීගියේ ඇෆ්ගනිස්ථාන් වේග පන්දු යවන්නන්ගේ මනරම් පන්දු යැවීම නිසා යි. නමුත් එම අවස්ථාවේ පිටියේ එක්වුණු මහේල සහ මැතිව්ස් 5වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 126ක අගනා සබඳතාවය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය අසලටම පැමිණියා. ඒ වන විට ඇෆ්ගනිස්ථානය වෙතින් තරගය ගිලිහී යමින් පැවතුණත් මැතිව්ස් සහ මහේල දැවීයාමත් සමගම දෙපිළටම විවෘත වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටී සිටි මොහොතේ ක්‍රියාත්මක වුණු තිසර පෙරේරා පන්දු 26කින් නොදැවී ලකුණු 47ක් ලබාගනිමින් ක්‍රීඩා කළ ප්‍රවේගකාරී ඉනිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසුකළේ පන්දුවාර 48.2ක් අවසානයේ දී යි.

කෙටි ලකුණු පුවරුව

ඇෆ්ගනිස්ථානය – 232/10 (49.4)

අෂ්ගාර් ඇෆ්ගන් – 54

සමියුල්ලා ෂෙන්වාරි – 38

ලසිත් මාලිංග – 41/3

ඇන්ජලෝ මැතිව්ස් – 41/3

ශ්‍රී ලංකාව – 236/6 (48.2)

මහේල ජයවර්ධන – 100

තිසර පෙරේරා – 47*

හමීඩ් හසන් – 45/3

තරගයේ වීරයා – මහේල ජයවර්ධන

2015 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය කාල සමයේ සොෆියා ගාඩ්න්ස් පිටිය පිතිකරුවන්ට තරමක් හිතකර එකක් වුණා. නමුත් මෙම ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ දී පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය සඳහා ලබා දී තිබුණේ වේග පන්දු යවන්නන්ට හිතකර තණකොළ සහිත තණතීරුවක්. මෙම තරගය සඳහාත් එවැනි තණතීරුවක් ලැබුණහොත් මුලින්ම පන්දුවට පහරදෙන කණ්ඩායම අසීරුතාවයකට පත්වීමට ඉඩ වැඩියි. එලෙසම හෙට දිනයේ මෙම තරගයට වර්ෂාවෙන් බාධා වීමටත් ඉඩ තිබෙනවා. අවසන් වරට මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු එක්දින තරග 10 තුළ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 265.7ක් බවට පත්ව තිබුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

සොෆියා ගාඩ්න්ස් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන් තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට, දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 6ක් ජයග්‍රහණය කර ඇත. එම නිසා කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම බොහෝ විට මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩි යි.

සොෆියා ගාඩ්න්ස්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩා පිටියේ දී තරග 5කට සහභාගී වුණත්, ඉන් කිසිම තරගයක් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ වගේම ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම මෙම පිටියේ දී මීට පෙර කිසිදු එක්දින තරගයකට ක්‍රීඩාකර නොමැති නිසා කාඩිෆ් තණතීරුව පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇති අවබෝධය වැඩියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සොෆියා ගාඩ්න්ස් පිටියේ දී තරග වදිමින්

අද පැවැත්වෙන ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන් තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක ආසියානු කුසලාන තරගාවලියේ දී උරෙනුර ගැටුණ අවස්ථාවේ ජයග්‍රහණය හිමිවුණේ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමට යි. නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ලැබෙන තණතිලිවල හැසිරීම ඊට වඩා වෙනස් නිසා මෙය දෙපිලටම විවෘත වුණු තරගයක්. එලෙසම මෙම තරගයේ කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට ලැබෙන අවස්ථාව වැඩියි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles