Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු තරග බිම වර්ණවත් කරයි

2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය පසුගිය දිනවල නේපාලයේ දී පැවැත්වුණා. එහි දී ඉතාමත් ඉහළ දස්කම් දැක්වීමට සමත් වුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 40ක් සමගින් පදක්කම් 251ක් දිනාගත්තේ, දකුණු ආසියානු තරග ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ වැඩිම පදක්කම් ප්‍රමාණයට උරුමකම් කියමින්. එසේම ශ්‍රී ලංකාව ලබාගත් රන් පදක්කම් 40 විදෙස් රටක පැවති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියක දී ලබාගත් ඉහළම රන් පදක්කම් ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. නමුත් 1991 වසරේ කොළඹ පැවති දකුණු ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් 44 බිඳ දැමීමට ලැබී තිබුණු අවස්ථාව අහිමි වීම අවාසනාවන්ත සිදුවීමක් වුණා. එලෙස ශ්‍රී ලංකාවට එම අවස්ථාව අහිමි වුණේ ලැබීමට තිබුණු නියත රන් පදක්කම් කිහිපයක් අහිමි වුණු නිසා යි. එහි දී ක්‍රිකට් පිරිමි සහ කාන්තා අවසන් තරග 2ම බංගලාදේශය හමුවේ පරාජය වීම කණගාටුදායක සිදුවීමක් වුණා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව දකුණු ආසියාවේ පෙරමුණට එයි 

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමි වුණේ මලල ක්‍රීඩාවෙන්. එහි දී ශ්‍රී ලංකාව ලබාගත් රන් පදක්කම් 15 මෙවර දකුණු ආසියානු තරගාවලියේ යම් රටක් ලබාගත් වැඩිම මලල ක්‍රීඩා රන් පදක්කම් ප්‍රමාණයත් වුණා. එසේම 1991 දකුණු ආසියානු තරගාවලියේ දී මලල ක්‍රීඩා රන් පදක්කම් 15ක් ලබාගැනීමෙන් 28කට වසරකට පසුව නැවතත් රන් පදක්කම් 15ක් හිමිකර ගැනීම කැපීපෙනෙන සිදුවීමක් වුණා. එලෙස ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ අතුරින් නව තරග වාර්තාවක් බිහි කරමින් රන් පදක්කමක් ලබාගත්තේ මීටර් 100 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ දී යි. එසේම දකුණු ආසියානු තරග ඉතිහාසයේ කාන්තා මැරතන් රන් පදක්කම මුල්මවරට ශ්‍රී ලංකාවට හිමිකර දුන් හිරුණි විජයරත්න තරගය ජයග්‍රහණය කළේ සැලකිය යුතු කාල පරතරයක් රඳවා ගනිමින්. ඊට අමතරව මීටර් 400 පිරිමි සහ කාන්තා සහාය දිවීමේ ඉසව්වල දී ශ්‍රී ලංකාව රන් පදක්කම් දිනාගනු ලැබුවේ ප්‍රබල සටනකින් පසුව යි. එහි දී මීටර් 400 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීම සඳහා දිල්ෂි කුමාරසිංහ ලබාදුන් සටන ඉතාමත් විශිෂ්ට එකක් වුණා. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියානු තරගාවලිය තුළ රන් පදක්කම් 15ක් ලබාගත්තේ පහත දැක්වෙන පරිදි යි.

මීටර් 400 පිරිමි- අරුණ දර්ශන 

මීටර් 800 පිරිමි- ඉඳුනිල් හේරත්  

මීටර් 100 සහාය පිරිමි- හිමාෂ ඒෂාන්, චානුක සංදීප, විනෝජ් සුරංජය, යුපුන් ප්‍රියදර්ශන

මීටර් 400 සහාය පිරිමි- අරුණ දර්ශන, සෙනිර ගුණරත්න, රාජිත රාජකරුණා, ලක්මාල් ප්‍රියන්ත 

මීටර් 400 කාන්තා- දිල්ෂි කුමාරසිංහ 

මීටර් 800 කාන්තා- දිල්ෂි කුමාරසිංහ 

මීටර් 1500 කාන්තා- නිලානි රත්නායක

මීටර් 5000 කාන්තා- නිලානි රත්නායක 

මැරතන් කාන්තා- හිරුණි විජයරත්න

මීටර් 100 කඩුලු පැනීම කාන්තා- ලක්ෂිකා සුගන්ධි

මීටර් 100 සහාය කාන්තා- ලක්ෂිකා සුගන්ධි, සාරංගි සිල්වා, සදීපා හෙන්ඩර්සන්, අමාශා ද සිල්වා 

මීටර් 400 සහාය කාන්තා- ඔමායා උදයංගනී, ගයන්තිකා අබේරත්න, කෞශල්‍යා මදුෂානි, දිල්ෂි කුමාරසිංහ

දුර පැනීම කාන්තා- සාරංගි සිල්වා 

තුන් පිම්ම කාන්තා- හසිනි පබෝදා 

හෙල්ල විසි කිරීම කාන්තා- දිල්හානි ලේකම්ගේ 

මීටර් 400 සහ මීටර් 800 ඉසව්වලින් රන් පදක්කම දිනාගත් දිල්ෂි කුමාරසිංහ (gettyimages)

රන් පදක්කම් 7ක් දිනාගත් ශ්‍රී ලංකා දිය කිඳුරා 

මෙවර දකුණු ආසියානු තරගාවලියේ දී මලල ක්‍රීඩාවලට පසුව ශ්‍රී ලංකාවට වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමි වුණේ පිහිනුම් ක්‍රීඩාවෙන්. එහි දී ශ්‍රී ලංකාව ලබාගත් රන් පදක්කම් 7ම දිනාගනු ලැබුවේ සුපිරි පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ විසින්. ඒ අනුව ඔහු දකුණු ආසියානු තරගාවලිය ඉතිහාසය තුළ පිහිනුම් ක්‍රීඩාවෙන් ලබාගෙන ඇති සමස්ත රන් පදක්කම් ප්‍රමාණය 14ක් ලෙස සටහන් වනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දකුණු ආසියානු තරගාවලි හි දී වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගෙන තිබෙන්නේ ජූලියන් බෝලිං නම් ක්‍රීඩකයා යි. එහි දී ඔහුගේ නම ඉදිරියේ සටහන්ව ඇති රන් පදක්කම් 15ක වාර්තාව බිඳ දැමීමට මැතිව්ට විශාල අවස්ථාවක් තිබෙනවා. මෙවර දකුණු ආසියානු තරගාවලියේ දී මැතිව් අබේසිංහ රන් පදක්කම් 7 ලබාගත්තේ පහත දැක්වෙන ඉසව් යටතේ යි.

1) මීටර් 50 නිදහස් ආර 

2) මීටර් 100 නිදහස් ආර 

3) මීටර් 200 නිදහස් ආර 

4) මීටර් 50 සමනල ආර 

5) මීටර් 100 සමනල ආර 

6) මීටර් 200 මෙඩ්ලි ඒකල 

7) මීටර් 100 නිදහස් ආර සහාය 

මැතිව්ස් අබේසිංහ දිනාගත් රන් පදක්කම් 7 සමගින් (Facebook)

ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4ක් දිනාගනියි 

2016 දකුණු ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ ඉසව්වෙන් කිසිදු රන් පදක්කමක් හිමි වුණේ නැහැ. නමුත් මෙවර තරගාවලියේ දී දස්කම් අතරට පැමිණි ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4ක් සමගින් පදක්කම් 26ක් දිනාගනු ලැබුවා. එහි දී ඔවුන් රන් පදක්කම් 4ක් දිනාගත්තේ පහත දැක්වෙන ඉසව් යටතේ යි.  

63 බර පන්තිය පිරිමි- චාලින්ද සම්පත් 

පිරිමි ඒකල (වයස 17-23 අතර)- රනුක ප්‍රභාත් 

මිශ්‍ර යුගල (වයස 17-23 අතර)- රනුක ප්‍රභාත් සහ ඉසුරි සුහාරා 

පිරිමි කණ්ඩායම් (වයස 23ට වැඩි)- නිශ්ශංක ජයසිංහ, ලක්ෂ්මන් ඉලංදාරිගේ, ක්‍රිෂාන්ත වීරසිංහ 

රනුක ප්‍රභාත් රන් පදක්කමක් දිනාගනිමින් (13sagnepal.com)

ක්‍රීඩා 9කින් තවත් රන් පදක්කම් 14ක් හිමි වෙයි

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් ක්‍රීඩා 9කින් රන් පදක්කම් හිමි වුණා. එහි දී බර ඉසිලීම, මල්ලවපොර, වූෂූ, ගොල්ෆ් සහ බීච් වොලිබෝල් යන ක්‍රීඩාවලින් රන් පදක්කම් 2 බැගින් ලබාගන්නා විට බැඩ්මින්ටන්, බොක්සිං, ජූඩෝ, සහ ද්වී ප්‍රයාම යන ක්‍රීඩාවලින් රන් පදක්කම බැගින් දිනාගනු ලැබුවා. එහි දී එක් එක් ක්‍රීඩාවෙන් රන් පදක්කම් ලබාගත්තේ පහත දැක්වෙන ඉසව් යටතේ යි.

මල්ලවපොර කාන්තා 65 බර පන්තිය- දිල්හානි වීරබාහු 

මල්ලවපොර කාන්තා 72 බර පන්තිය- අයෝමි සෙනෙවිරත්න

බර ඉසිලීම පිරිමි 55 බර පන්තිය- වයි.ඩී.අයි කුමාර 

බර ඉසිලීම කාන්තා 87ට වැඩි බර පන්තිය- එන්.බී.ජේ හපුතැන්න 

බීච් වොලිබෝල් පිරිමි- අසංක ප්‍රදීප් සහ අශේන් කුමාර 

බීච් වොලිබෝල් කාන්තා-  මදුෂානි වීරසිංහ සහ දීපිකා 

වූෂූ කාන්තා TAIJI JIan- ටී.ඇස් ගුණසේකර 

වූෂූ පිරිමි TAOLU TAIJI- තරිඳු නාමල් අනුරාධ

ගොල්ෆ් කාන්තා ඒකල- ග්‍රේස් යටවර 

ගොල්ෆ් කාන්තා කණ්ඩායම්- ග්‍රේස් යටවර, තුහාෂිනී සෙල්වරත්නම්, ටානියා බාලසූරිය

බැඩ්මින්ටන් කාන්තා යුගල- තිළිණි හෙන්දහේවා, කවිඳි සිරිමාන්නගේ 

බොක්සිං පිරිමි 81 බර පන්තිය- රුමේෂ් සඳකැළුම් 

ජූඩෝ පිරිමි 73 බර පන්තිය- චාමර ධර්මවර්ධන 

ද්වී ප්‍රයාම කාන්තා- එරංගා දිල්රුක්ෂි 

ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ තෙවන ස්ථානය හිමිකර ගනියි 

2019 දකුණු ආසියානු තරගාවලියේ දී ඉන්දියාව රන් පදක්කම් 174ක් සමගින් පළමු ස්ථානය දිනාගන්නා විට, සත්කාරක රට වුණු නේපාලය රන් පදක්කම් 51ක් දිනාගනිමින් දෙවන ස්ථානයට පැමිණියා. එලෙස ඉන්දියාව සහ නේපාලය මුල් ස්ථාන දෙකට පැමිණෙන විට, රන් පදක්කම් 40ක් දිනාගත් ශ්‍රී ලංකාව තෙවන ස්ථානය දිනාගනු ලැබුවා. ඒ අනුව තරගාවලිය අවසානයේ දී පදක්කම් සටහන දිස් වුණේ මෙසේ යි. 

ඉන්දියාව–  රන්- 174, රිදී- 93, ලෝකඩ- 45  

නේපාලය– රන්- 51, රිදී- 60, ලෝකඩ- 95

ශ්‍රී ලංකාව– රන්- 40, රිදී- 83, ලෝකඩ- 128

පාකිස්ථානය– රන්- 31, රිදී- 41, ලෝකඩ- 59

බංග්ලාදේශය– රන්- 19, රිදී- 32, ලෝකඩ- 87

මාලදිවයින– රන්- 1, රිදී- 0, ලෝකඩ- 4 

භූතානය– රන්- 0, රිදී- 7, ලෝකඩ- 13 

කවරයේ ඡායාරූපය- නව තරග වාර්තාවක් සමගින් පිරිමි මීටර් 100 සහාය දිවීමේ තරගය ජයග්‍රහණය කළ කණ්ඩායම (gettyimages)

Related Articles