Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා-ඇෆ්ගනිස්ථාන් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රේක්ෂක අවධානය දිනාගන්නා තවත් තරගයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්ටල් හී දී යි. පසුගිය කාලයේ පෙරළිකාර කණ්ඩායමක් ලෙසින් පෙරට පැමිණි ඇෆ්ගනිස්තානු කණ්ඩායම, ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ගැටෙන මෙම තරගය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් තරගයේ පෙර විමසුම අප මෙලෙස ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියා-ඇෆ්ගනිස්ථාන්  ගැටුම්

එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම එකිනෙකා හමුවී ඇත්තේ එක් අවස්ථාවක දී පමණයි. 2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ පර්ත් නුවර වැකා පිටියේ දී පැවති එම තරගයෙන්, ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළේ ලෝක කුසලාන වාර්තා 2ක් අලුත් කරමිනුයි. එහි දී මුලින්ම පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 417ක් ලබාගත්තේ ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. එහි දී ඔවුන් බිඳ දැමුවේ 2007 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම බර්මියුඩාවට එරෙහිව වාර්තා කර තිබූ ලකුණු 413ක වාර්තාව යි. ඊට අමතරව එදා තරගය ලකුණු 275කින් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානුවන් ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක් වැඩිම පරතරයක් සහිත ව ජයග්‍රහණය කළ කණ්ඩායම බවට ද  පත්වුණා.

ඕස්ට්‍රේලියාව- 417/6 (50)

ඇෆ්ගනිස්තානය- 142 (37.3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 275ක ජයක්

ඕස්ට්‍රේලියාව-ඇෆ්ගනිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

බ්‍රිස්ටල් පිටිය පිළිබඳ ව දත්තයන්

එංගලන්තයේ තිබෙන ක්‍රිකට් ක්‍රීඩා පිටි අතුරින් එතරම් ම ප්‍රසිද්ධ පිටියක් නොවන බ්‍රිස්ටල් පිටියේ දී අවසන් වසර 10 තුළ පවත්වා ඇත්තේ එක්දින තරග 6ක් පමණ යි. එහි දී එම තරග 6 අතුරින් ප්‍රතිඵලයක් ලැබුණු තරග 5 පමණක් සැලකූ විට මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 249.8ක් වුණා. නමුත්, අවසන් වරට මෙම පිටියේ පැවති එක්දින තරග ද්විත්වයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම් 2ම ලකුණු 350 ඉක්මවා ලබාගත් අතර, පුහුණු තරගයේ දී කොදෙව්වන් මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 421ක් ලබාගත්තා. එම නිසා ම මෙම තරගයේදීත් බ්‍රිස්ටල් පිටිය පිතිකරුවන්ට යෝග්‍ය එකක් බවට පත්වීමට තිබෙන ඉඩ වැඩි යි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ඉහත සඳහන් කළ බ්‍රිස්ටල් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 5 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා බ්‍රිස්ටල් පිටියේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා-ඇෆ්ගනිස්ථාන් තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 5 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කර ඇත. එම නිසා කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම බොහෝ විට මුලින්ම පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩි යි.

බ්‍රිස්ටල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම ක්‍රීඩා පිටියේ දී ඇෆ්ගනිස්තානු කණ්ඩායම කිසිදු එක්දින තරගයක් ක්‍රීඩා කර නොතිබුණත්, ඕස්ට්‍රේලියානුවන් මෙහි දී තරග 2කට සහභාගි වී ඉන් එකක් ජයග්‍රහණය කර ඇත. එලෙස  ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම පිටියේ දී තරග වැදුණේ, 2001 සහ 2005 නැට්වෙස්ට් තරගාවලි හි දී එංගලන්තය සමග පැවති තරග 2ක්.

2001 නැට්වෙස්ට් තරගාවලියේ තරගය

එංගලන්තය- 268/4 (50)

ඕස්ට්‍රේලියාව- 272/5 (49.3)

ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්

2001 දී ඕස්ට්‍රේලියානුවන් මෙම පිටියේ දී තරග වැදුණු අන්දම (gettyimages)

2005 නැට්වෙස්ට් තරගාවලියේ තරගය

ඕස්ට්‍රේලියාව- 252/9 (50)

එංගලන්තය- 253/7 (47.3)

එංගලන්තයට කඩුලු 3ක ජයක්

2005 දී ඕස්ට්‍රේලියානුවන් මෙම පිටියේ දී තරග වැදුණු අන්දම (gettyimages)

අද පැවැත්වෙන ඕස්ට්‍රේලියා-ඇෆ්ගනිස්ථාන් තරගය පිළිබඳ ව

ඇෆ්ගනිස්තානය සහ ඕස්ට්‍රේලියාව එක්දින පිටියේ දී එකිනෙකා හමුවී තිබෙන්නේ අවස්ථා 2ක දී පමණයි. එලෙස හමුවුණු අවස්ථා දෙකේ දී ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. නමුත්, පසුගිය සමයේ එක්දින ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් ලෙසින් ඉදිරියට පැමිණි ඇෆ්ගනිස්තානය මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානුවන්ට යම් තර්ජනයක් එල්ල කිරීමට ඉඩ තිබුණත්, තරගයේ වාසිය පැහැදිලිව ම ඕස්ට්‍රේලියානුවන් සතු යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles