Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන ඕස්ට්‍රේලියානු කණ්ඩායම

2015 වසරේ ලෝක ශූරයන් ලෙසින් මෙවර තරගාවලියට පිවිසෙන ඕස්ට්‍රේලියානුවන්, අවසන් වරට එංගලන්තයේ පැවති 1999 ලෝක කුසලාන තරගාවලියේදීත් ශූරතාවය දිනාගත් රට යි. එම නිසාම මෙවරත් ශූරතාවය දිනාගැනීමට ඉදිරියෙන්ම සිටින රටක් වන ඕස්ට්‍රේලියාව තරග තහනමකට පසුව කණ්ඩායමට එක්වුණු ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් නිසා තවත් ශක්තිමත්ව තරගාවලියට පිවිසෙන්නේ 6 වන වරටත් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීම සඳහා ස්ථිර අධිෂ්ඨානයකින්.

ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

1975 වසරේ සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් සඳහා ම සහභාගී වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම, 1992 සහ 2015 ලෝක කුසලාන තරගාවලි හි සත්කාරක රටක් ලෙසින් කටයුතු කළා. 1975 සිට මේ දක්වා පැවති තරගාවලි 11 තුළ තරග 85කට මුහුණදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන් තරග 61ක් ජයග්‍රහණය කරන විට 21ක් පරාජයට පත්වුණා.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම දස්කම් දක්වා ඇති කණ්ඩායම වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1987, 1999, 2003, 2007 සහ 2015 වසරවල දී ලෝක කුසලානය දිනාගත් අතර, 1975 සහ 1996 වසරවල ලෝක කුසලාන අනුශූරයන් බවට පත්වුණා.

1987 වසරේ ඕස්ට්‍රේලියානුවන් මුල්ම වරට ලෝක ශූරයන් වුණු අවස්ථාව (gettyimages)

තරගාවලි ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ, රිකී පොන්ටිං විසිනුයි. 1996-2011 කාලසීමාව තුළ පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ඔහු, ඉනිම් 42ක දී ශතක 5ක් සහ අර්ධ ශතක 6ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 1743ක්. එහි දී 45.87ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් පොන්ටිං, තරගාවලි ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩා කළේ 2003 ලෝක කුසලාන අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 140ක් ලබාගනිමිනුයි.

2003 ලෝක කුසලාන අවසන් තරගයේ දී පොන්ටිං පන්දුවට පහරදෙමින් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් ග්ලේන් මැග්‍රාත්, 1996-2007 කාලසීමාව තුළ පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් කඩුලු 71ක් ලබාගත්තා. එහි දී 2003  තරගාවලියේ දී නැම්බියාවට එරෙහිව ලකුණු 15කට කඩුලු 7ක් දවාගනිමින් මැග්‍රාත් තරගාවලි ඉතිහාසය තුළ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ග්ලේන් මැග්‍රාත් නම් මෙම සුවිශේෂී පන්දු යවන්නා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා පොත් අතරට එක්වන්නේ තනි තරගාවලියක වැඩිම කඩුලු, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු, සහ තරගාවලි ඉතිහාසයේ හොඳම පන්දු යැවීම යන වාර්තා 3ම ඔහුගේ නම ඉදිරියේ සටහන් වී තිබීම නිසා යි.

මැග්‍රාත් 2003 තරගාවලියේ නැම්බියානු තරගයේ පන්දු යවමින් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියාව එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා ඕස්ට්‍රේලියාව සහභාගී වුණු එක්දින තරග 26න් 11ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර, එහි දී ඔවුන් තරග 15ක් පරාජය වුණා. 2018 වසරේ එංගලන්ත කණ්ඩායම හමුවේ මව්බිමේ දී පැවති එක්දින තරගාවලිය 4-1ක් ලෙසින් පරාජය වුණු ඕස්ට්‍රේලියානුවන්, එංගලන්ත බිමේ දී පැවති එක්දින තරගාවලිය 5-0ක් ලෙසින් පරාජය වුණා. ඉන් අනතුරුව මව්බිමේ දී නැවතත් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හමුවේ 2-1ක් ලෙසින් එක්දින තරගාවලි පරාජය වුණු ඔවුන්, ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති එක්දින තරගාවලි 2ක මව්බිමින් පිටත දී  පිළිවෙලින් ඉන්දියාව සහ පකිස්තානය හමුවේ 3-2 සහ 5-0ක් ලෙසින් ජයග්‍රහණය කළා.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇරොන් ෆින්ච්, ෂෝන් මාෂ්, සහ උස්මාන් කවාජා වැඩිම ලකුණු ලබාගෙන තිබෙනවා.

ෆින්ච් පකිස්තානයට එරෙහිව ලකුණු 153ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී පැට් කමින්ස් සහ මාකස් ස්ටොයිනිස් කඩුලු 20ක් ඉක්මවා ලබාගෙන ඇත.

                                                       

පැට්කමින්ස් (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගී වන ඕස්ට්‍රේලියානු සංචිතය

ඇරොන් ෆින්ච් (නායක)

ඩේවිඩ් වෝනර්  

ෂෝන් මාෂ්

උස්මන් කවාජා  

ස්ටීව් ස්මිත්

ග්ලේන් මැක්ස්වෙල්

මාකස් ස්ටොයිනිස්

ඇලෙක්ස් කේරි

මිචෙල් ස්ටාක්

ඇඩම් සැම්පා

පැට් කමින්ස්

නේතන් ලයන්

ජේසන් බෙහන්ඩෝෆ්

නේතන් කෝල්ටර්-නයිල්

කේන් රිචඩ්සන්

තරග තහනමකට ලක්ව සිටි වෝනර් සහ ස්මිත් සංචිතයට ඇතුළත් වුණත්, නායකත්වය ඇරොන් ෆින්ච්ට ලබා දී ඇත.

මෙවර ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලාන ගමන

තරගාවලියට පෙර එක්දින පිටියේ දී එතරම් දස්කම් නොදැක්වුවත්, එක්වරම සුපුරුදු දක්ෂතා අතරට අවතීර්ණ වීම ඕස්ට්‍රේලියානුවන්ට ම ආවේණික ගුණයක් නිසා, මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත. පසුගිය කාල සමයේ තරග තහනමකට ලක්ව සිටි වෝනර් සහ ස්මිත් නැවත පැමිණීමත් සමග ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව වඩාත් ශක්තිමත් වී තිබීම නිසා පිතිකරුවන්ට යෝග්‍ය එංගලන්ත තණතීරුවල ඕස්ට්‍රේලියානුවන්ට වැඩි වාසියක් නිසැකව ම අත්වනු ඇත. එම නිසා ම මෙවර ලෝක ශූරයන් වීමට ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 3 අතුරින් 1ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කළ හැක.

කවරයේ ඡායාරූපය- ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයක් අතරතුර (cricket.com.au)

Related Articles