Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බංගලාදේශ-දකුණු අප්‍රිකා තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 5 වන තරගය කෙනිංටන් ඕවල් පිටියේ දී පැවැත්වෙන්නේ බංගලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර යි. පසුගිය කාල සමයේ එක්දින පිටියේ දී පෙරළිකාර දස්කම් දක්වමින් ඉදිරියට පැමිණි බංගලාදේශ කණ්ඩායම, දකුණු අප්‍රිකානුවන් හමුවන මෙම තරගය පිළිබඳව පෙර විමසුමක් අපි ඔබ වෙත මෙලෙස ගෙන එනවා. මෙම පෙර විමසුම තුළින් තරගය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් ඔබට දැනගැනීමට හැකියාව ලැබෙනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ බංගලාදේශ-දකුණු අප්‍රිකා ගැටුම්

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී මුල්ම වරට මෙම කණ්ඩායම් 2ක එකිනෙකා හමුවුණේ 2003 ලෝක කුසලාන තරගාවලියේදී යි. එදා ක්‍රිකට් පිටියේ සිටි කෝඩුකාර කණ්ඩායමක් වුණු බංගලාදේශ කණ්ඩායම අප්‍රිකානුවන් හමුවේ ලැබුවේ දරුණු පරාජයක්.

බංගලාදේශය- 108/10 (35.1)

දකුණු අප්‍රිකාව- 109/0 (12)

දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක්

2003 තරගාවලියේ බංගලාදේශ-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 තරගාවලියට පසුව නැවතත් මෙම කණ්ඩායම් 2ක 2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී හමුවුණ අවස්ථාවේ බංගලාදේශය හමුවේ දකුණු අප්‍රිකානුවන් පරාජයට පත්වුණා.

බංගලාදේශය- 251/8 (50)

දකුණු අප්‍රිකාව- 184/10 (48.4)

බංගලාදේශයට ලකුණු 67ක ජයක්

2007 තරගාවලියේ බංගලාදේශ-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

නැවතත් 2011 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක මුණගැසුණු අවස්ථාවේ දී බංගලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් හමුවේ උරුමකර ගත්තේ ලැජ්ජා සහගත  පරාජයක්

දකුණු අප්‍රිකාව- 284/8 (50)

බංගලාදේශය- 78/10 (28)

දකුණු අප්‍රිකාවට ලකුණු 206ක ජයක්

2011 තරගාවලියේ බංගලාදේශ-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් පිටිය පිළිබඳව දත්තයන්

මෙම තරගය පැවැත්වෙන කෙනිංටන් ඕවල් පිටියේ දී 2019 ලෝක කුසලාන තරගාවලියේ මුල්ම තරගය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණා. එහිදී පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් දක්නට ලැබුණත් මෙම පිටියේ පැවති පුහුණු තරග 2කේ දී ලැබී තිබුණු තණතීරුවල දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායමට  වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් පසුගිය කාල සමයේ පිතිකරණයට වඩාත් උචිත වුණු මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු අවසන් එක්දින තරග 10 තුළ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 303.8ක් වුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

කෙනිංටන් ඕවල් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම ඕවල් පිටියේ පැවැත්වෙන බංග්ලාදේශ-දකුණු අප්‍රිකා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවිද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුනු අවසන් එක්දින තරග 10 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය ඇත. එසේම  මෙම ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය මෙම පිටියේ පැවති අවස්ථාවේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානුවන් මුලින්ම පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළත් ලකුණු 300ට වැඩි ඉලක්කයක් හඹාගිය අප්‍රිකානුවන් තරගය පරාජයට පත්වුණා. නමුත් ඕවල් පිටිය සාමාන්‍යයෙන් ලකුණු හඹායාමට හැකි පිටියක් බවට මතයක් තිබෙන නිසා බොහෝ විට කාසියේ වාසිය දිනූ නායකයා ප්‍රතිවාදීන්ට මුලින්ම පන්දුවට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩියි.

කෙනිංටන් ඕවල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

බංගලාදේශ කණ්ඩායම මෙම ක්‍රීඩා පිටියේදී තරග 3කට සහභාගි වී ඉන් කිසිදු තරගයක් ජයග්‍රහණය කර නැහැ. එසේම දකුණු අප්‍රිකානු කණ්ඩායම ද මෙම පිටියේ දී තරග 10ක් ක්‍රීඩාකර ජයග්‍රහණය කර ඇත්තේ තරග 3ක් පමණ යි. එහිදී ඔවුන් අවසන් වසර 20 තුළම මෙම පිටියේ දී ජයග්‍රහණය කර ඇත්තේ එක එක්දින තරගයක් පමණක් වීම විශේෂ සිදුවීමක්

ඕවල් පිටියේ දී අප්‍රිකානුවන්ට බංගලාදේශය හමුවන්නේ මුල්ම වරට යි  

මෙම ක්‍රීඩා පිටියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම මීට පෙර එකිනෙකා හමු වී නැහැ. එම නිසාම මෙම තරගය කණ්ඩායම් 2ටම අමතක නොවන තරගයක් වනු ඇත.

අද පැවැත්වෙන බංගලාදේශ-දකුණු අප්‍රිකා තරගය පිළිබඳව

අවසන් වරට 2017 වසරේ දී මෙම කණ්ඩායම් 2ක එක්දින තරගාවලියක දී එකිනෙකා හමුවුණු අවස්ථාවේ අප්‍රිකානුවන් 3-0 ලෙසින් එම තරගාවලිය ජයග්‍රහණය කළා. නමුත් එම කාල සමයට වඩා වර්තමානයේ දී බංගලාදේශ කණ්ඩායම තරගකාරී ක්‍රීඩා රටාවක නිරත වෙනවා. බංගලාදේශය සතුව සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිපදෙනා වන ශකීබ්, ටමීම්, මුෂ්ෆිකර්, මොර්ටාසා, සහ මහමදුල්ලා ක්‍රියාත්මක වුවහොත් අප්‍රිකානුවන්ට මෙම තරගය ලෙහෙසි පහසු එකක් නොවනු ඇති.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles