Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන එංගලන්ත කණ්ඩායම

2019 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට ලෙසින් මෙවර තරගාවලියට එක්වන එංගලන්තය ලෝක කුසලානය දිනා ගැනීමට ඉදිරියෙන්ම සිටින රටක්. 2015 තරගාවලියේ දී නොසිතූ පරාජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම මෙවර තරගාවලියට අවතීර්ණ වුණේ ජයග්‍රාහී එක්දින  තරගාවලි රැසක් අවසන් කිරීමෙන් පසුව යි.

1999 වසරේ අවසන් වරට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය දැරූ එංගලන්තයට එවර පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවුණත්, එදා ඔවුන් අතින් සිදුවූ වැරැද්ද නිවැරදි කරගැනීමට මෙවර ඔවුන්ට ලැබී ඇත්තේ හොඳම අවස්ථාවක්.

එංගලන්තය ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

1975 වසරේ සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් සඳහාම සහභාගි වුණු එංගලන්ත කණ්ඩායම 1975, 1979, 1983, සහ 1999 ලෝක කුසලාන තරගාවලීන්වල සත්කාරක රට ලෙසින් කටයුතු කළා.1975 සිට මේ දක්වා පැවති  තරගාවලි 11 තුළ තරග 73කට මුහුණදුන් එංගලන්ත කණ්ඩායම ඉන් තරග 41ක් ජයග්‍රහණය කරනවිට 30ක් පරාජයට පත්වුණා.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

1979, 1987, සහ 1992 ලෝක කුසලාන අවසන් තරග සඳහා සුදුසුකම් ලැබීම එංගලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙසින් සඳහන් කිරීමට පුළුවන්.

1)1992 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ග්‍රැහැම් ගුච් විසිනුයි. 1979, 1987, සහ 1992 ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ඔහු ඉනිම් 21ක දී ශතකයක් සහ අර්ධ ශතක 8ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 897ක්. එහිදී 44.85ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් ගුච්, තරගාවලි ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩාකළේ 1987 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 115ක් ලබාගනිමින්. එදා ගුච් ලබාගත් එම ශතකයේ සුවිශේෂී ලක්ෂණය වුණේ ඉන්දීය දඟ පන්දු යවන්නන්ට මුහුණ දීම සඳහා ඔහු ස්වීප් පහර උපක්‍රමයක් ලෙසින් භාවිතා කිරීම යි.

ගුච් ඉන්දියාවට එරෙහිව 115ක් ලබාගත් ඉනිමේ  අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා  

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් බොතම් 1979, 1983, සහ 1992 ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ලබාගත් කඩුලු ප්‍රමාණය 30ක්. එහිදී 1992 තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 31කට කඩුලු 4ක් දවාගනිමින් බොතම් තරගාවලි ඉතිහාසය තුළ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

බොතම් ඕස්ට්‍රේලියාවට එරෙහිව 31/4ක් ලබාගත් තරගයේ අවස්ථාවක් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා එංගලන්තය එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා එංගලන්තය සහභාගි වුණු එක්දින තරග 35න් 24ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර එහිදී ඔවුන් පරාජය වුණු තරග ප්‍රමාණය 8ක්. මෙම කාල සමය තුළ වත්මන් එක්දින ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියාව මව්බිමේ දී 5-0ක් සහ ඔවුන්ගේ බිමේ දී 4-1ක් ලෙසින් පරාජය කළ එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්ථානය මව්බිමේ දී පිළිවෙලින් 2-1 සහ 4-0ක් ලෙසින් පරාජය කළා. ඊට අමතරව නවසීලන්තය සහ ශ්‍රී ලංකාව පිළිවෙලින් 3-2 සහ 3-1 ලෙසින් ඔවුන්ගේ රටවල දීම පරාජය කළ එංගලන්තය, කොදෙව් දේශයේ දී එක්දින තරගාවලිය 2-2 ලෙසින් අවසන් කළා. එලෙස එම කාල සමය තුළ ප්‍රබල රටවල් පරාජය කළ එංගලන්තය අයර්ලන්තය හමුවේ එක්දින තරගයක් පරාජය වීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ එංගලන්තය ලකුණු 481ක් ලබාගත්තේත් මෙම කාල සමය තුළම යි.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු එංගලන්ත පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී  ජොනී බෙයාස්ට්‍රෝ, ජෝ රූට්, සහ ජේසන් රෝයි වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවන් තිදෙනා වන අතර, ඔවුන්ට අමතරව ඔයින් මෝගන්, සහ ජෝස් බට්ලර් ද ලකුණු 1000 ඉක්මවා ඇත.

බෙයාස්ට්‍රෝ ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව 139ක් ලබාගෙන දැවීගිය අවස්ථාව (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු එංගලන්ත පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී අඩිල් රෂීඩ්, ක්‍රිස් වෝක්ස්, සහ මොයින් අලී කඩුලු 30 ඉක්මවා ලබාගෙන ඇත.

අඩිල් රෂීඩ් (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගි වන එංගලන්ත සංචිතය

ඔයින් මෝගන් (නායක)

ජෝ රූට්

ජොනී බෙයාස්ට්‍රෝ

ජේසන් රෝයි

ජේම්ස් වින්ස්

ජෝස් බට්ලර්

බෙන් ස්ටෝක්ස්  

මොයින් අලී

ක්‍රිස් වෝක්ස්

ලියාම් ප්ලන්කට්

ජොෆ්රා ආචර්  

ටොම් කරන්

මාක් වුඩ්

අඩිල් රෂීඩ්

ලියාම් ඩේව්සන්  

මෙවර එංගලන්තයේ ලෝක කුසලාන ගමන

පිතිකරුවන්ට උචිත අයුරින් හැසිරෙනු ඇතැයි බලාපොරොත්තු වන එංගලන්ත තණතීරුවල රෝයි, බෙයාස්ට්‍රෝ, රූට්, මෝගන්, සහ බට්ලර් වැනි පිතිකරුවන් උපරිම දස්කම් දැක්වුවහොත් මෙවර ලෝක කුසලානය එංගලන්ත සතුවීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි. නමුත් පිතිකරුවන්ට සාපේක්ෂව එංගලන්ත පන්දු ඇණිය ශක්තිමත් නොවුණත් ජොෆ්රා ආචර්ව එංගලන්ත සංචිතයට එක්වීම අනිත් කණ්ඩායම්වලට අභියෝගයක් වනු ඇත. 1992 වසරෙන් පසුව ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකටවත් සුදුසුකම් නොලැබූ එංගලන්ත කණ්ඩායමට ඔවුන්ගේ ශක්තිය පෙන්වීමට හොඳම අවස්ථාව මෙවර උදා වී ඇත.

කවරයේ ඡායාරූපය-එංගලන්තය කණ්ඩායම තරගයක් අතරතුර (Cricket Australia)

Related Articles