Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත-බංගලාදේශ තරගයේ පෙර විමසුම

මෙවර ලෝක කුසලානය දිනාගැනීමට ඉදිරියෙන්ම සිටින රටක් වන එංගලන්ත කණ්ඩායම පෙරළිකාර බංග්ලාදේශ කණ්ඩායම හමුවන්නේ, කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් පිටියේ දී යි. ආසියානු කණ්ඩායම්වලට තරමක් අභියෝගාත්මක තණතීරුවක් වන කාඩිෆ් තණතීරුවේ දී එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කිරීම බංගලාදේශ පිතිකරුවන් මුහුණ දීමට නියමිත ප්‍රබල ම අභියෝගය යි. එම නිසා ම මෙම පෙර විමසුම ගෙන එන්නේ, මෙම තරගය පිළිබඳව උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන් වෙනුවෙනුයි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්ත-බංගලාදේශ ගැටුම්

එංගලන්ත කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම ලෝක කුසලාන තරග 3ක දී එකිනෙකා හමුවී තිබෙනවා. ඉන් තරග 2ක් බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරන විට එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළේ එක් තරගයක් පමණයි.

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී මෙම කණ්ඩායම් 2ක මුල්මවරට එකිනෙකා හමුවුණා. කණ්ඩායම් දෙකේ ම පන්දු යවන්නන්ගේ අණසකට නතුවුණු එම තරගයේ ජය හිමිවුණේ, එංගලන්ත කණ්ඩායමට යි.

බංගලිදේශය- 143/10 (37.2)

එංගලන්තය- 147/6 (44.5)

එංගලන්තයට කඩුලු 4ක ජයක්

2007 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් 2ක නැවතත් හමුවුණා. එම තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 226ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලබා සිටියත්, අවසානයේ දී ඔවුන් තරගය ජයග්‍රහණය කළේ සටන්කාමී තරග රටාවක නිරත වෙමින්.

එංගලන්තය- 225/10 (49.4)

බංගලිදේශය- 227/8 (49)

බංගලාදේශයට කඩුලු 2ක ජයක්

2011 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක තරග වැදුණේ 2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇඩිලේඩ් ඕවල් පිටියේ පැවති තරගයක දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 275ක් ලබාගත්තා. එහි දී බංගලාදේශ ඉනිමේ නැංගුරම බවට පත්වුණු මහමදුල්ලා, ලකුණු 103ක් රැස් කරන විට ඔහුට අනගි සහායක් ලබාදුන් මුෂ්ෆිකර් රහීම්, පන්දු 77කින් ලබාගත් ලකුණු ප්‍රමාණය 89ක්. ඉන්පසුව ලකුණු 276ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බෙල් සහ බට්ලර් අර්ධ ශතක ලබාගත්තත්, රුබෙල් හුසේන් කඩුලු 4ක් දවා ගනිමින් බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

බංගලාදේශය- 275/7 (50)

එංගලන්තය- 260/10 (48.3)

බංගලාදේශයට ලකුණු 15ක ජයක්

2015 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය කාල සමයේ සොෆියා ගාඩ්න්ස් පිටිය පිතිකරුවන්ට තරමක් හිතකර එකක් වුණා. නමුත් මෙම ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ දී පැවති තරග දෙක සඳහා ලබා දී තිබුණේ වේග පන්දු යවන්නන්ට හිතකර තණකොළ සහිත තණතීරුවක්. මෙම තරගය සඳහාත් එවැනි තණතීරුවක් ලැබුණහොත් මුලින්ම පන්දුවට පහරදෙන කණ්ඩායම අසීරුතාවයකට පත්වීමට ඉඩ වැඩි යි. එලෙසම අද දිනයේ මෙම තරගයට වර්ෂාවෙන් බාධා වීමටත් ඉඩ තිබෙනවා. අවසන් වරට මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු එක්දින තරග 10 තුළ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 263.1ක් බවට පත්ව තිබුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

සොෆියා ගාඩ්න්ස් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 6ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන එංගලන්ත-බංගලාදේශ තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට, දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර ඇත. පසුගිය තරගවල දී කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම බොහෝ අවස්ථාවල මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කර ඇති නිසා මෙම තරගයේ දීත් එසේ වීම ඇති ඉඩ වැඩි යි.

සොෆියා ගාඩ්න්ස්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම පිටියේ එංගලන්ත කණ්ඩායම අවසන් වරට සහභාගි වී ඇති දිවා තරග 6න් ජයග්‍රහණය කර ඇත්තේ තරග 3ක් පමණයි. ඔවුන් අවසන් වරට මෙම පිටියේ දී සහභාගි වුණු තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ජයග්‍රහණය කළා. බංගලාදේශ කණ්ඩායමත් 2017 වසරේ දී නවසීලන්තය හමුවේ සොෆියා ගාඩ්න්ස් පිටියේ පැවති තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

අද පැවැත්වෙන එංගලන්ත-බංගලාදේශ තරගය පිළිබඳව

අවසන් වරට 2016 වසරේ දී මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු එක්දින තරගාවලිය එංගලන්තය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළා. නමුත් මේ වන විට බංගලාදේශ කණ්ඩායම එක්දින පිටියේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව තිබෙන නිසා මෙවර ඔවුන් එංගලන්තයට යම් අභියෝගයක් එල්ල කිරීමට ඉඩ තිබෙනවා. නමුත් මෙම තරගාවලිය යටතේ සොෆියා ගාඩ්න්ස් පිටියේ පැවති මුල් තරග දෙකේ දී මෙන්ම තණකොළ සහිත තණතීරුවක් මෙවරත් සැකසුණොත්, තරගයේ වාසිය එංගලන්තය සතු වීම වැළැක්විය නොහැකි යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles