Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත-නවසීලන්ත අවසන් තරගය පිළිබඳ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ දී පැවැත්වෙන්නේ එංගලන්ත කණ්ඩායම, සහ නවසීලන්ත කණ්ඩායම අතර යි. අවසන් පූර්ව තරගවල දී ප්‍රබල කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව පරාජයට පත්කරමින් මෙම කණ්ඩායම් 2ක අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. මීට පෙර එංගලන්තය සහ නවසීලන්තය කිසිම අවස්ථාවක එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කර නොමැති නිසා මෙම අවසන් තරගය ඉතාමත් උද්වේගකර එකක් වීමට ඇති ඉඩ වැඩියි. එම නිසාම ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එංගලන්තය සහභාගි වී ඇති එක්දින ලෝක කුසලාන අවසන් තරග 

එංගලන්තය 1979, 1987, සහ 1992 එක්දින ලෝක කුසලාන අවසන් තරග සඳහා සහභාගි වී තිබෙනවා. නමුත් ඔවුන් එම අවසන් තරග 3ම පරාජයට පත්වීම අවාසනාවන්ත සිදුවීමක් වුණා. 

1979 එක්දින ලෝක කුසලාන අවසන් තරගය 

1979 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ලෝඩ්ස් පිටියේ දී  පැවැත්වුණේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 99ක් තුළ දැවීගියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු විවියන් රිචඩ්ස් සහ කොලිස් කිං ගොඩනැගූ ලකුණු 138ක අගනා සබඳතාවය නිසා කොදෙව්වන්ට නියමිත පන්දුවාර 60 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 286ක් ලබාගැනීමට හැකිවුණා. එහිදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ රිචඩ්ස් පන්දු 157කින් නොදැවී ලකුණු 138ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් කිං පන්දු 66කින් ලකුණු 86ක් ලබාගත්තා. ඉන් අනතුරුව ලකුණු 287ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුණු බෙයාර්ලි සහ බෝයිකොට් ලකුණු 129ක සබඳතාවයක් ගොඩනැගුවත් එය මන්දගාමී එකක් වුණා. එම නිසාම ගුච් වේගයෙන් පන්දුවට පහරදෙමින් එංගලන්ත ඉනිම 183/2 බවට පත්කළා. නමුත් එම අවස්ථාවේ දී කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු ජොයෙල් ගානර් ලකුණු 38කට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා එංගලන්ත ඉනිම ලකුණු 194කට සීමාවුණා.

බටහිර ඉන්දීය කොදෙව් – 286/9 (60)

එංගලන්තය – 194/10 (51)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 92ක ජයක් 

1979 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

1987 ලෝක කුසලාන අවසන් තරගය 

1987 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ඊඩ්න් ගාඩ්න්ස්  පිටියේ දී පැවැත්වුණේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර යි. මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන් නිසා එක් අවස්ථාවක ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 151ක් ලබා සිටියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු එංගලන්ත පන්දු යවන්නන් ලකුණු 17කට කඩුලු 3ක් දවාගත් නිසා ඕස්ට්‍රේලියානු ඉනිම අඩපණ වුණා. එහෙත් 5 වැනි කඩුල්ල වෙනුවෙන් බෝඩර් සහ වැලේටා ගොඩනැගූ ලකුණු 73ක අගනා සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 253ක් ලබාගත්තා. ඉන් පසුව ලකුණු 254ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 135ක් ලබා සිටියේ තරගයේ පාලනය ඔවුන් අතට ගනිමින්. එම අවස්ථාව වන විට පන්දුවට පහරදෙමින් සිටි බිල් ඇතී සහ මයික් ගැටිං එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන යමින් සිටියේ ලකුණු 69ක අගනා සබඳතාවයක් ගොඩනගමින්. නමුත් එම ජයග්‍රාහී සබඳතාවයට ඉතාමත් අවාසනාවන්ත ආකාරයට නැවතීමේ තිත තැබූ ගැටිං අනවශ්‍ය රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් දැවීගියා. එදා ගැටිංගේ කඩුල්ල දැවීයාමත් සමගම එංගලන්ත ඉනිම කඩා වැටුණු නිසාම ඔවුන්ට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 246ක් පමණ යි. 

ඕස්ට්‍රේලියාව – 253/5 (50)

එංගලන්තය – 246/8 (50)

ඕස්ට්‍රේලියාවට ලකුණු 7ක ජයක් 

1987 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

1992 ලෝක කුසලාන අවසන් තරගය 

1992 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය මෙල්බර්න් පිටියේ දී පැවැත්වුණේ එංගලන්තය සහ පාකිස්ථානය අතර යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායමේ පළමු කඩුලු 2ම ලකුණු 24කට දැවීගියා. නමුත් ඉන් පසුව පිටියේ එක්වුණු ඉම්රාන් ඛාන් සහ මියැන්ඩාඩ් 3 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 124ක අගනා සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 249ක් ලබාගැනීමට ඔවුන්ට හැකිවුණා. අනතුරුව ලකුණු 250ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 69ක් තුළ දැවී ගියා. නමුත් ඉන් නොසැලුණු නීල් ෆෙයාබ්‍රදර් සහ ඇලන් ලෑම්බ් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් එකතු කළේ තරගය දෙපිලටම විවෘත කරමින්. එහෙත් එම තීරණාත්මක අවස්ථාවේ ක්‍රියාත්මක වුණු වසීම් අක්‍රම් එකම පන්දුවාරයක් තුළ ලබාගත් කඩුලු 2 නිසා කඩා වැටුණු එංගලන්ත ඉනිම ලකුණු 227 දී නිමාව දුටුවා.

පාකිස්ථානය – 249/6 (50)

එංගලන්තය – 227/10 (49.2)

පාකිස්ථානයට ලකුණු 22ක ජයක්  

1992 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages) 

නවසීලන්තය සහභාගි වී ඇති එක්දින ලෝක කුසලාන අවසන් තරග 

නවසීලන්ත කණ්ඩායම එක්දිනලෝක කුසලාන අවසන් තරගයක් සඳහා ක්‍රීඩාකළේ 2015 වසරේ දී පමණ යි. නමුත් එම තරගයේ දී නවසීලන්තය දරුණු පරාජයක් ලැබුවා.

2015 ලෝක කුසලාන අවසන් තරගය 

2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය මෙල්බර්න් පිටියේ දී පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර යි. එම තරගයේ මුලින්ම පන්දුවට නවසීලන්තය එක් අවස්ථාවක කඩුලු 3ක් දැවී ලකුණු 150ක් ලබාගනිමින් ප්‍රබල ස්ථානයක පසුවුණා. නමුත් එහිදී ක්‍රියාත්මක වුණු ජොන්සන් සහ ෆෝක්නර් මනරම් පන්දු යැවීමක නිරත වෙමින් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 33කට දවාගත්තේ කිවි ඉනිම ලකුණු 183කට සීමා කරමින්. ඉන් පසුව ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක පහසු ජයක් ලැබුවේ ක්ලාක් සහ ස්මිත් ලබාගත් අර්ධ ශතක නිසා යි. 

නවසීලන්තය – 183/10 (45)

ඕස්ට්‍රේලියාව – 186/3 (33.1)

ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක් 

2015 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages) 

මෙම තරගාවලිය තුළ ලෝඩ්ස් පිටියේ දත්තයන් 

මෙම තරගාවලිය තුළ ලෝඩ්ස් තණතීරුව හැසිරුණේ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය අයුරින්. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 288ක්. මූලික වටයේ තරගවල දී මෙම කණ්ඩායම් 2ම ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වුණේ ලෝඩ්ස් පිටියේ දී යි. ඊට අමතරව මෙම පිටියේ පැවති එම තරග 4 තුළ දක්නට ලැබුණු සුවිශේෂීම සිදුවීම වුණේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම් එම තරග ජයග්‍රහණය කර තිබීම යි.

2019 ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳව 

මෙම කණ්ඩායම් දෙක අතර පැවති මූලික වටයේ තරගය ලකුණු 119කින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වුණා. එහිදී බෙයාස්ට්‍රෝ ලකුණු 106ක් සහ ජේසන් රෝයි ලකුණු 60ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වුවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වා පැමිණීම සඳහා එංගලන්තයට වැඩි සවියක් ලබාදුන්නේ ඔවුන්ගේ කණ්ඩායමේ පිටින පිතිකරුවන් විසිනුයි. නමුත් නවසීලන්තය මෙවර ලෝක කුසලාන අවසන් තරගය දක්වා රැගෙන ඒමට වැඩි දායකත්වයක් ලබාදුන්නේ ඔවුන්ගේ කණ්ඩායමේ පන්දු යවන්නන් විසින්. එම නිසාම මෙම අවසන් තරගය  එංගලන්ත පිතිකරුවන් සහ නවසීලන්ත පන්දු යවන්නන් උරෙනුර ගැටෙන ද්වන්ධ සටනක් වීමට ඇති ඉඩ වැඩියි. එසේම කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම බොහෝ විට මුලින්ම පන්දුවට පහරදෙනු ඇති. එසේම සත්කාරක කණ්ඩායම වීමේ වාසිය සහ දක්ෂතා සංසන්දනය කරන බලන විට මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි ඉඩක් තිබෙන්නේ එංගලන්ත කණ්ඩායමට යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles